2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ආණ්ඩු දෙකක් අගමැතිවරු දෙදෙනෙක්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිදැසක් සොයා ක්‍රියාත්මක වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය විධායක බලය භාවිතයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ එම ධුරයේ පිහිටුවීය. එතැන් පටන් තවමත් පාර්ලිමේන්තුව කැඳවීමක් සිදුනොකළ පසුබිමක මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ නමින් ආණ්ඩු දෙකක් පවතින බවට ප්‍රදර්ශනය වෙන තත්ත්වයක් උදා වී තිබේ. මේ හරහා ගොඩනැගී තිබෙන වර්තමාන දේශපාලන අස්ථාවරත්වය රටට විකෘතියකි. උද්ගතව ඇති තත්ත්වයට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති හෝ නැති බවට නිර්වචන නැති තරම්ය.

ජනපතිවරයාගේ අභියෝගයට හෝ ඊට විරුද්ධ වෙමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තවමත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත. මේ ආකාරයට වර්තමාන ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා දැක්වූ අදහස මෙසේය.

ලංකාවේ මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් කතාබහක් කාලයක සිට ඇතිව තිබේ. ඒ පිළිබඳ ඇතිවූ වාද විවාද අනන්තය. දැනටමත් රටේ පළාත් සභා නවයකින් හයක මැතිවරණය පැවැත්වීමට කාලය එළැඹී ඇත. ඒ අනුව මේ වනවිට ඌව, බස්නාහිර සහ දකුණු පළාත යන පළාත් සභා තුනේ පමණක් මහජන නියෝජිතයෝ සිටිති. සෙසු පළාත් සභාවල මහජන නියෝජිතයන් ඇත්තේ නැත. ඒ අනුව එම පළාත් සභාවල පාලනය ඇත්තේ ආණ්ඩුකාරවරුන් සහ සෙසු නිලධාරීන් යටතේය.

එවැනි තත්ත්වයක් මත පාලනය වන පළාත් සභා කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක රටක පවතින පළාත් සභාවක් වශයෙන් පිළිගත නොහැකිය. එබැවින් එය මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පළාත් සභාවක් වශයෙන් පිළිගැනීමට නොහැක.

ක්‍රමවත් පරිදි පවතින රජයක් විසින් රටේ මැතිවරණයක් පැවැත්විය යුතුය. පැවති ආණ්ඩුවත්, නොබෝදා ඇති කරගත් ආණ්ඩුවත් ලංකාවේ ආණ්ඩුක්‍රමය උල්ලංඝනය කරමින් නියමිත පරිදි මැතිවරණ පැවැත්වූයේ නැත. මැතිවරණ කල් යවන අතරතුර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේය. අනතුරුව ඊට විරුද්ධව උසාවි යනු ලැබීය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා තිබුණේ මෙකී සංශෝධනයට තුනෙන් දෙකක බලය තිබිය යුතු බවය. එම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළායින් පසුව ඊටද අවනත නොවෙමින් පළාත් සභාව කල්දැමීම සිදුකෙරිණි.

මෙය ආණ්ඩුක්‍රමය උල්ලංඝනය කළ පළමු අවස්ථාවය. එතැන් සිට සීමානිර්ණය කමිටුව, සීමානිර්ණය පාර්ලිමේන්තුවේ සම්මත නොකර සිටීම සහ සීමානිර්ණය පිළිබඳ සමාලෝචන කමිටුව ආදී සියලු ස්ථානවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බවට සාධක තිබේ. මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ කතිකා ඇතිවූයේ මේ අතරය. එයද අත්‍යාවශ්‍ය කරුණු කාරණා කිසිවක් ඉටු නොකළ පසුබිමකය.

රටේ පවතින 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අවුරුදු හතරහමාරකට පෙරාතුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය  නොහැකිය. 2020 වර්ෂයේ මාර්තු 14 දින අවසාන වශයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. ඊට කළින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව විසුරුවා හැරීමට බැරි බව අදහසක් හා මතයකි. වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය මැද ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විනා වෙනත් විකල්පයක් නැත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාටද ඊට වඩා වෙනත් විකල්පයක් නැති බවකි.

මේ වනවිට රටේ මහජනතාවගේ විශ්වාසය පාර්ලිමේන්තුව කෙරෙන් ගිලිහෙමින් පවතී. එහි වැඩි ප්‍රමාණයක් දැනටමත් සිදුව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී තිබෙන තීන්දුවට අනුව ජනපතිවරයාගේ ධුර කාලය වසර පහකි. එසේ නම් 2019 දෙසැම්බර් 8 වැනිදාට ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ඊට හේතුව වන්නේ ලංකාවේ අවසන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2015 ජනවාරි 8 වැනිදා වීමයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දක්වන්නේ වසර පහක් ගතවන්නට මාසයකට කළින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය. ඒ අනුව මෙරට ජනපතිවරණය පැවැත්විය යුතු නියමිත හා අවසාන දිනය 2019 දෙසැම්බර් 8 වැනිදාය. මේ අනුව රටේ මැතිවරණය පැවැත්විය හැකි ආසන්නතම දිනය එය බවට විශ්වාස කළ හැකිය.

මේ හැර ව්‍යවස්ථා ප්‍රතිපාදන නැතැයි කීමද නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ කරුණු පිළිබඳ නිශ්චිත නිර්වචනයක් නොමැති අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ විධායක අභිමතය ක්‍රියාත්මක කළ හැකිය. වර්තමාන ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය එවැන්නකි. මේ කරුණු අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන්නේ අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන ලෙස කියමිනි. 

මේ අනුව ගම්‍ය වන්නේ ව්‍යවස්ථාවේ හිදැසක් මතින් ජනාධිපතිවරයා එළියට පැමිණ ක්‍රියාකර ඇති බවය. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන්ද තත්ත්වය මෙය බවත් එසේම සිදුවිය හැකි බවත් සාමාන්‍ය බුද්ධි මට්ටම යටතේ තේරැම් ගැනීමට හැකියාව පවතී.

දැනට ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය අස්ථාවර එකකි. ඉන් ගොඩයාම සඳහා වන සුදුසුම ක්‍රමය ඡන්දයකට යාමය. මේ ගැටලුවටත් යාම හේතුවක් වන්නේ නියමිත කාලයට ලංකාවේ මැතිවරණය නොපැවැත්වීමය. නියමිත කාලයට මැතිවරණය පැවැත්වූයේ නම් මහජන මතය හා අදහස දැනගැනීමට හැකියාව තිබුණි. එසේනම් ජනතාව පිට්ටනිවලට හෝ මහපාරට ගෙන්වා බලය පිරික්සීම අවශ්‍ය නැත. ව්‍යවස්ථානුකූලව නියමිත මැතිවරණය පැවැත්වූයේ නම් ජනමතය දැනගැනීමට හැකිව තිබුණි. එසේ නොවුණු වටපිටාවක ලංකා පාර්ලිමේන්තුව විකෘති තත්ත්වයකට පත්ව ඇති බව දකින්නට ලැබේ.

ආණ්ඩු පෙරළියක් සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ විපක්ෂයයි. වර්තමාන විපක්ෂය ආණ්ඩු පෙරළියට කැමැත්තක් නැති තරම්ය. අතීතයේ ආණ්ඩු පෙරළීම කළේ විපක්ෂයයි. අද ආණ්ඩුව පෙරළා ඇත්තේ ආණ්ඩුව විසින්මය. මෙය ලෝකයේ පළමු වතාවට වූ සිදුවීමකි. විපක්ෂයට ආණ්ඩු පෙරළීමක් අවශ්‍ය නැතැයි කියන ලොව පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂය ලංකාවේ සැබෑ විපක්ෂය නොවන බවද පැහැදිලිය. උතුරු නැගෙනහිර ඇතුළුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට විපක්ෂ නායක වරයා කියන්නේද නැත. මෙහිදී පෙනෙන්නේ විපක්ෂ නායකවරයා සිය විපක්ෂයේ භූමිකාව නොකරන බවය.

අද මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ නමින් පවත්නා ආණ්ඩු දෙකක තත්ත්වයක් ප්‍රදර්ශනය වෙයි. පවතින දේශපාලන අර්බුදය මැද ඇත්තේ මහා විකෘතියකි. එය නැතිකළ හැකි එකම මග මැතිවරණයකට යාමය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැනටමත් ප්‍රමාදව තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කාලයක් පුරාවට පෙන්වා දෙමින් ආණ්ඩුවට බලකරන්නේද එයයි.

කතාව / සේයාරුව - සමන්ත ප්‍රදීප් විල්තෙර