2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මේ කරපු වැඩේ පාවා දීමක්: ද්‍රෝහිකමක්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

- ගාමිණී වියන්ගොඩ

“අද වෙද්දී  යහපාලනය කියන එක  මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔලුවෙන් හිටවලා තියෙනවා. 2015 ජනවාරි 8 වෙනිදා තැබුණු සෑම යහපාලනික ප්‍රතියකටම පස්ස හරවාලා ඒවට පයින් ගහලා කුණු කූඩෙට දාලා තියෙනවා.”

ගාමිණී වියන්ගොඩ නම් ඔහු 2015 වසරේ යහපාලනය වෙනස පිටුපස සිටි සිවිල් සංවිධායක ක්‍රියාකාරීන් අතරින් ප්‍රමුඛයෙකි. යහපාලන වෙනුවෙන් තැනූ ජාතික ආණ්ඩුව බිඳ වැටී ඇත. එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රී ජනපති විරසකව ඇත. ගතවූයේ වසර තුනක් පමණි සිදුවූයේ කුමක්ද? ජනපති කළදේ සාධාරණද? බොහෝ ප්‍රශ්න ඉතිරිව පවතී. අපි ඊට පිළිතුරු පතා ඔහු ඇමතුවෙමු. ඔහු අපට කිවූ දෑ සමඟ ගලපා මෙය ලියැවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනපති බලයට ගෙන ඒමට එදා 2015 දී එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධායක ක්‍රියාකාරීන් විසින් විසල් දායක්වයක් ලබාදුන් බව අපි දනිමු. දින සීයේ වැඩපිළිවෙළ, විධායක ජනපති ධූරය අහෝසි කිරීම, යහපාලනය ඇතිකිරීම වැනි බලාපොරොත්තු ගොන්නක් එදා ඔවුන් සතුවිය. ඒ නමුත් යහපාලනය ආණ්ඩුව බලයට ගෙනවිත් වසර තුනක් ඇවෑමෙන් සිදුවූ විපර්යාසය ඔවුන්ගේ සියලු සිහින අළු කර දැමීය. සිද්ධ වුණේ මොකක්ද? අප ඒ පැනයට පළමුව පිළිතුරු සොයමු.

එදා ඔහු කිවූ දේවල් නැවත සිහිකරන්නේ නම් අද ඔහු ඒ සියල්ලට පිටුපා ඇති බව වැටහෙනු ඇත. එමෙන්ම එදා මෛත්‍රීපාල සිරිසේන ඇතුළු යහපාලනය විශ්වාස කළ ප්‍රජාව විසින් පරාජය කළ බලවේගය අද ඔහු විසින්ම නැවත බලයට ගෙනවිත් තිබේ. මෙය මහා පාවාදීමක් මෙන්න තුච්ච ද්‍රෝහීකමකි.

මෙම ආණ්ඩුව කඩාවැටීමේ බීජය රෝපණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය මෛත්‍රීපාල සිරිසේන පත්වීමත් සමඟයි. මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙන බව පවසමිනි. නමුත් බලයට පත්වී දින කිහිපයක් ඇතුළත ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබාගනී. ඉන්පසුව එකවිට කාර්යයන් දෙකක් සිදුකිරීමට ඔහුට සිදුවෙයි. ඉන් එකක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් තමා වෙත ලබාගන්නේ කෙසේද යන්නය. අනෙක් පසින් එක්සත් ජාතික පක්ෂ සමඟ යම් යම් පෞද්ගලික කාරණාවන් විසඳා ගැනීමේ අවශ්‍යතාවක්ද මතු වූයේය. වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයට පත්වූ පසුව ඔහු යහපාලනය ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුද්‍රාව තැබීමට උත්සාහ කළේය. එහෙත් යහපාලනය ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුද්‍රාව හෝ එක්සත් ජාතික පක්ෂ මුද්‍රාව තැබීම නොවේ. පැවති යහපාලන ප්‍රතිපදා සමුදාය සාර්ථකව ජයග්‍රහණය කරා මෙහෙය වීමයි.

මෙම කරුණු සියල්ල මනාකොට අධ්‍යනයේදී අපට පැහැදිලි වන්නේ  එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම්කිසි මැද තැනකට පැමිණීමේ අවශ්‍යතාවක් ගෙවුණු කාලයේ වූ බවයි. නමුත් ඊට බාධාවක් විය. ඒ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපතීත්වය ලබාගැනීමය. පක්ෂය තුළ මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමඟ වූ බල අරගල ජයග්‍රහණය කිරීමට ඔහුට යම් එක්සත් ජාතික පක්ෂ විරෝධී වැඩපිළිවෙළකට යාමට සිදුවූයේය. දෙදහස් පහළොවේදී එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේන අතර ඇති කරගෙන තිබූ සම්මුතිය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටීමට පටන් ගත්තේ ඒ අතරය. එය නවතාගත නොහැකි ලෙස අවසානයේ දී එය වර්ධනය විය. එය මේ පුපුරායාම පිටුපස වන ප්‍රධාන කරුණයි.

මීළඟට අප අවධානයට ලක්කරන්නේ බැඳුම්කර වංචාව පිළිබඳව කාරණාවයි. ජාතික ආණ්ඩුවේ බිඳවැටීම පිටුපස බැඳුම්කර වංචාවද ප්‍රබල ලෙස වූ බව බලපෙරළියෙන් පසුව ජනාධිපතිවරයා විසින් රට හමුවේ කළ ප්‍රකාශයෙන් ගම්‍යවිය. එසේනම් එය සත්‍යයක් ද අප විමසා බැලිය යුතුය. එය එක් හේතුවක් විය හැකිමුත් ජාතික ආණ්ඩුවේ බිඳවැටීමට ප්‍රමුඛම හේතුව ලෙස දැක්වීම සාධාරණ නොවේ. බැඳුම්කර වංචාවක් සිදුවිය. ඒ පිළිබඳව විමර්ශන ආරම්භ වූ අතර ජනාධිපතිවරයා විසින්ම ඊට කොමිසමක් පත්කරනු ලැබීය. ඒ අනුව එහි වාර්තාව නිකුත්වීමත් සමඟ ඒ හා පදනම් වී හිටපු මුදල් ඇමතිවරයාද ඉවත්කිරීම සිදුවිය. ප්‍රධාන චූදිතයන්ද සිරභාරයට ගෙන ඔවුන්ගේ දේපළද වත්කම් ද අත්තිටුවා තිබේ. ඒ අනුව බලන කළ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කටයුතු රාශියක් සිදුකර තිබේ. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සමඟ කෝන්තරයක් සාදා ගැනීමට තරම් කාරණාවක් මේ තුළ නොවේ.

ඝාතන කුමන්ත්‍රණය ද පට්ටපල් බොරුවකි. එය ජනාධිපතිවරයා ද මැදිහත් වී කළ කුමන්ත්‍රණයක්ය. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් එවැනි ඝාතන කුමන්ත්‍රයණක් සිදුව නැත. මේ ඝාතන කුමන්ත්‍රණය හෙළිකරන පුද්ගලයා මාධ්‍ය හරහා අනාවරණය කළ ඩී.අයි.ජී.වරයාගේ ප්‍රකාශ කිසිදු තැනක සටහන්ව නොමැත. ඔහු දැන් එය මකා දැමූ බව පවසයි. එවිට අපිට පිළිගන්නට සිදුව ඇත්තේ ඔහු කියවූ වචන පමණි. ඩී.අයි.ජී.වරයාද අත්අඩංගුවට ගෙන ඇත්තේද ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නොවේ. තවත් එස්.එස්.පී.වරයෙක්ව ඝාතනය කිරීමට කතාබස් කිරීමක් සම්බන්ධයෙනි. පටිගත වූ හඬපට ඇත්තේ එයට පමණි. කුමන්ත්‍රණය හෙළිකළ පුද්ගලයා ඔත්තුකරුවෙකි. ජනාධිපතිවරයාට සම්බන්ධ ආයතනයකින් වැටුප් ලබපු කෙනෙකි. එවන් අයෙකුගේ කට වචනයට කියන යමක් හරහා ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බව පිළිගත නොහැක. එම නිසා ඝාතන කුමන්ත්‍රණය යනු ගොතන ලද කතාවට අනුව දේශපාලන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමකි.

ජනාධිපතිවරයා පසුගියදාක තමන් අගමැති ධූරය බාරගන්නා ලෙස කරු ජයසූරිය මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළ බව පැවසීය. ඉන්පසු විකල්පයක් නොවූ තැන මෙම තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය. නමුත් එවැන්නක් සිදුකිරීම ව්‍යවස්ථාවේ බලයක් නැත. ඒ අනුව බලනවිට කරු ජයසූරියට හෝ සජිත් ප්‍රේමදාසට අගමැති ධූරය භාරගැනීම ආරාධනා කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි. දැනුදු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත්කර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව යමිනි.

ජනාධිපතිවරයාගේ තීරණය සමඟ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඔහුව බලයට ගෙන ඒමට කටයුතු කළ සිවිල් සංවිධානවලට හා මහජනයාට අසාධාරණයක් වී යැයි කියැවේ. එහෙත් මෙය පක්ෂයකට වූ අසාධාරණයක් ලෙස සැළකිය යුතු නොවේ. මෙය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට සිදුවූ අසාධාරණයකි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවූ අසාධාරණත්වයකි. එනිසාවෙන්ම සිවිල් ව්‍යාපාර කටයුතු කරන්නේ අසාධාරණයට ලක්ව ඇති ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ නැවත ස්ථාපිත කිරීමටය. මෙය එක්සත් ජාතික පක්ෂය හෝ අගමැතිවරයාට සම්බන්ධ ගැටලුවක් නොවේ. එම පිරිස මෙහි පාර්ශ්වකරුවන් හා නිමිති බවට පත්වී සිටින බව සැබෑවකි.

තව එක අඩියක් එහාට ගියාට පස්සේ අපට හම්බවෙන්නේ ඒකාධිපතියෙක්‍. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බැහැර කරන ඒකාධිපතියෙක් අපට හම්බවෙයි. දැන් ඒ පාරේ එයා සෑහෙන්න දුරක් ඇවිල්ලා තියෙනවා. අගමැතිවරයා ඉවත් කිරීම හා තවත් අයෙක් ඊට පත්කිරීම ඒකට නිදසුනක්. ඊළඟට යන්න තියෙන්නේ පූර්ණ ඒකාධිපතිත්වයට. දැන් ඒ අවධානම අපි ඉදිරියේ තියෙනවා. අපි සිවිල් ව්‍යාපාරයක් විදිහට ඒකට විරුද්ධයි. ඒකයි මේ වෙලාවේ සටන් කරන්නේ.”

►ගාමිණී වියන්ගොඩ සමඟින් සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා