2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මහින්දලාගේ ආණ්ඩුව ගැන ජ.වි.පෙ. කියන දේ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ජනතා විමුක්ති පෙරමුණ කුමක් කරාවිද? එය බල පෙරළිය අතරතුර බොහෝදෙනාගේ සිතේ කුහුලක් ඇති කිරීමට සමත් පැනයක් විය. ඔවුන් දරන මතය ද ඔවුන්ගේ දේශපාලන හැසිරීමද රටේ බල තුලනය කෙරෙහි බලපාන බවට දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි. ඒ හේතුවෙන් රටේ සිදු වූ දේශපාලන අලකලංචිය මැද වුවද බොහෝ දෙනා ඔවුන් දෙස නෙත් අයා බලා සිටියහ. අපද ඒ අතර විය. ඒ අනුව අපි ඔබට මේ කතාව කියමු. බල පෙරළියේදී ජවිපය කළ කී දෑත් කරන්නට යන දෑත් පිළිබඳව මෙසේ සොයා බලමු.

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදු වූ සිදුවීම රටට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් මවිත කරවනසුළු සිදුවීමක් වන්නට ඇත. ඒ හෙයින් ඔවුන් ඒ සම්බන්ධ මතය ප්‍රකාශය කිරීමට පෙර විවිධ ආරංචි රට පුරා පැතිර යන්නට විය. ඒ අනුව බල පෙරළියට එරෙහිව ජවිපය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව කියවුණි. තවත් විටක ඔවුන් මේ ගැටලුවේදී පාර්ලිමේන්තුවේදී ස්වාධීනව සිටීමට අදහස් කරන බව සඳහන් විය. මේ සියල්ල පිළිතුරු ලෙස ජනතා විමුක්ති පෙරමුණ 27 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානයක මහතා පවසා තිබුණේ බල පොරය වෙනුවෙන් කොටස්කරුවකු නොවන බවත් කිසිවකුට සහයෝගය නොදෙන බවත්ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගල කණ්ඩාම්වල සහය කාට ලැබේවිදැයි ජනතාව මාධ්‍ය දෙස කුතුහලයකින් යුතුව බලා සිටි පසුබිමක ඉහත ප්‍රකාශයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීන වෙතැයි යන හැඟීම බොහෝ දෙනා තුළ විය. නොවැම්බර් පළමු වැනිදා වන විට දැවැන්ත ජන රැලියක් ජවිපෙ පැවැත්වූයේ බල පෙරළියෙන් සතියක් ගෙවෙන්නට පෙර ඇතුවය. "සැබෑ ජන පවුරක් ගොඩනගමු" යන තේමාව යටතේ මෙම රැළිය නුගේගොඩදී පැවැත්විණි. මෛත්‍රී මහින්ද පාර්ශ්වයට හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරැ විකිණෙන්නේ නැති බව මෙහි දී ප්‍රකාශය විය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමු.

පසුගිය සිකුරාදා සිදු වුණේ දේ‍‍‍‍ශපාලන කුමන්ත්‍ර‍ණයක්. මේ දේ‍ශපාලන කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි. නාටකය කුමක්ද? අපේ රටේ ජනවරම‍, ප්‍රජාතන්ත්‍රවාදය‍, ව්‍යවස්ථාව, මහජන නියෝජිතයන්, පාර්ලිමේන්තුව, ජනාධිපතිධූරය, අග්‍රාමාත්‍යධූරය, දේශපාලන සදාචාරය මේ සියල්ල මහ උත්තුංග වාක්‍ය වැකි ලෙස තිබෙනවා. මේ සංකල්ප, මේ ආයතන, මේ වගකීම් නිසි බරකින් යුතුව සමාජයේ ඇගයීමකට ලක්වී තිබුණා. මේ පාලකයන් හැමදාමත් තමන්ගේ කැත ශරීරය වසා ගැනීම සඳහා කසී සලු බවට මේ සංකල්ප උපයෝගි කරගත්තා.

ජනතා විමුක්ති පෙරමුණේ අදහස එසේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වඩා විරෝධය ආකල්පයෙන් ක්‍රියා කළේ අභිනව ආණ්ඩුවේ ආධාරකරුවන්ය. ඔවුනට අනුව එජාපය සමඟ ජවිපයේ ඩීල් එකක් අති බවත් දිගින් දිගටම ඔවුන් රනිල් ආරක්ෂා කරන බවත් කියවුණි. සමාජ ජාල මාධ්‍ය තුළින් මෙම ගැටුම මනාව නිරූපණය විය. දින දින ගතවෙමින් විවිධ පිරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලන උණුසුම් වැඩි වනවිට තවත් බොහෝ කටකතා රට තුළ පැතිර යන්නට විය. අරයා පනිනවා මෙයා පනිනවා ආදී වූ එවන් කටකතා අතර ජවිපය සම්බන්ධයෙන් ද කියවුණු දෙයක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර මත ගැටුමක සිටින බවය. ඒ කවර පාර්ශ්වයකට සහාය පළකරන්නේ ද යන්න පිළිබඳවයි.

කෙසේ හෝ වේවා මේ සියල්ල අතරේ අද ජනතා විමුක්ති පෙරමුණ බල පෙරළිය සම්බන්ධ දරන මතය කුමක්ද? දැන් අප විමසීමට යන්නේ ඒ සම්බන්ධවයි. අපි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇමතුවෙමු. ඉන් දෙදෙනෙක්  සම්බන්ධ වූහ. 

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකරන්නේ මෙවන් කරුණකි.

මෙම බල පෙරළිය සිද්ධවෙන්නේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නෙවෙයි. ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නෙවෙයි. රටේ ජාතික ප්‍රශ්න විසඳන්න නෙවෙයි. තනිකරම මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ කියන තුන්දෙනාගේ පටු බල උවමනා වෙනුවෙන් තමා මේ රටේ දේශපාලනය බිල්ලට දීලා තියෙන්නේ. ඒ නිසා ජනතාව ප්‍රශ්න විසඳනවා වෙනුවට තමන්ගේ බල උවමනාවන් වෙනුවෙන් සිදු කළ මේ දේශපාලන කුමන්ත්‍රණය අපි දැඩිව හෙළාදකිනවා.

ඒ අනුව මෙහි දී කියවුණු තවත් වැදත් කරුණු නම්, සිදුවූ බල පෙරළිය ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි. තවද ජනාධිපති ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති තමන්ට ඕනෑ විදිහට අරැත් දක්වාගෙන කටයුතු කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් කෝටි ගණන් මුදල් දී බහුතරය සකසා ගැනීමට උත්සාහ කිරීම ජනතා පරමාධිපත්‍යය දැයි නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න කරයි. මෙහිදී ඔහු සදහන් කළ තවත් කරුණක් අපි මතුකරමු.

මේ ඔක්තෝබර් 26 වැනිදා සිදුවෙච්ච කුමන්ත්‍රණය පරාජය කරන්නට අපට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. පාර්ලිමේන්තුවේදීත් පිටතත් මෙය පරාජය කිරීමට ලැබෙන පළමු අවස්ථාවේදීම කටයුතු කරනවා.

මෙම ප්‍රකාශයන් හරහා අපට වඩා පැහැදිලි වන්නේ ඉදිරි පාර්ලිමේන්තු සැසියකදී ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය දැක්වීමකට සහය පළ කරනු ඇති බවයි. නමුත් එය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සිදුකරනු ලබන්නක් නොවන බව ද ඔවුහු පහදති.

මේ අතර විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පසුගිය 5 වැනිදා සිදුවිය. ඒ රටේ මතුව ඇති අස්ථාවර දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් සංවිධානය නියෝජිතයන් හමුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයක් අනුව එම සාකච්ඡාව සිදුවූ බව පසුව කියැවුණි.

ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මතය තවත් පැහැදිලි කර ගැනීමට මීළඟට අප සම්බන්ධ කර ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාය.

ඒ මහතාට අනුව මෙය බල පෙරළියක් නොවේ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කුමන්ත්‍රණවලින් ආණ්ඩුව මාරු කිරීම බලපෙරළීන් නොවේ. ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතා පරමාධිපත්‍යය ජනතාව කෙරෙයි පිහිටා ඇත්තේ කියාය. ජනතාව පරමාධිපත්‍යය මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි පිහිටා ඇත්තේය කියා ව්‍යවස්ථාවේ නොමැත. ඒ නිසා මෙය බල පෙරළිය නොව ව්‍යවස්ථාපිත කුමන්ත්‍රණයකි. පළමු පියවර හැටියට මේ කුමන්ත්‍රණය පරාජය කිරීම සිදුකළ යුතුය. අපේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අඹ මල් රේණුවක තරම් විශ්වාස කරන කවුරුත් වුවද සිදුකළ යුත්තේ එයයි. මෙහිදී සිදුවන්නේ තමන් හට බහුතරය පෙන්වා දිවුරුම් දීමට නොහැකි නිසා දිවුරැම් දී කළු සල්ලිවලින් ඉතා පහත් විදිහට මන්ත්‍රීවරැන් ඩැහැගෙන බහුතරය පෙන්වීමේ උත්සාහයකි.

දැන් අපට කරුණු පැහැදිලි වෙයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සෘජුවම වර්තමානයේ පත්වී සිටින අගමැතිවරයා බලයෙන්  පහ කිරීමට පාර්ලිමේන්තු තුළදී කටයුතු කිරීමට තීරණය කොට අවසන්ද? මේ පැනය සාකච්ඡා අවසානයේදී ඔබට ඇතිවනු නිසකය. එම නිසා අපි හඳුන්නෙත්ති මහතාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළෙමු.

මේ කුමන්ත්‍රණය පරාජය කරන්න පාර්ලිමේන්තුවේදී ගන්න පුළුවන් ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි සහාය පළකරනවා. ඒ ක්‍රියාමාර්ග අතර අය - වැය පරාජය කිරීම වෙන්න පුළුවන්, කුමන්ත්‍රණකාරී ලෙස නම් කරපු අගමැතිවරයා විරුද්ධව එන විශ්වාසභංගයක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයකට සහය පළකරනවා. අපිට මහින්ද රාජපක්ෂට විශ්වාස පළකරන්නත් බෑ. රනිල් වික්‍රමසිංහට විශ්වාස පළකරන්නත් බෑ. හැබැයි මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට අපිට සහය පළකරන්න පුළුවන්.
බල පෙරළිය පිළිබඳව සමස්ත නාටකය තවම අවසන් නැත. තවත් ජවනිකා කිහිපයක් ඉතිරිව පවතී. අප සාකච්ඡා කළේ එහිදී ජනතාව විමුක්ති පෙරමුණේ හැසිරීම හා මතය පිළිබඳවය. ඔබට දැන්‍ එය කුමක් දැයි පැහැදිලි වන්නට ඇත. විචාරය විවේචන හෝ ඇගයුම ඔබ සතුය.

 චමිඳු නිසල් ද සිල්වා