
මේ වෙනවිට ලංකාවේ වැඩියෙන්ම විකිණෙමින් තිබෙන්නේ අල, ලූනු, පරිප්පු, සීනී නොවේය. එහෙමත් නැති නම් යාන වාහන නොවේ. කනගාටුවෙන් වුවත් මේවන විට වැඩියෙන්ම විකිණෙමින් තිබෙන්නේ මිනිස් ජීවිතය. ඒ අමු අමුවේ එළිපිටය. මිනිසාට හිමි පරමාධිපත්‍යය බලයෙන් ජනතා නියෝජිතයකු ඡන්දයෙන් තෝරාගෙන පාර්ලිමේන්තු ගියත් උන් කිසිදිනෙක ඊට වටිනාකමක් නොදුන් බව එදත් අදත් හෙටත් එකී ඡන්දය දුන් ජනතාව විසින්ම පිළිගන්නා දෙයකි.
පාර්ලිමේන්තුවෙන් අඩු මිලට කෑමය. කෝටි ගාණක් වටිනා වාහන බලපත්‍රය, කාර්ය මණ්ඩලවලට පඩිය, ආරක්ෂකයෝ ද එමටය. මේ සියල්ල අපේ ඡන්දය නිසා ඔවුන් විඳිනා වරප්‍රසාදය. එහෙත් එතරම් සැප වින්දත් ඔවුහු අපේ ඡන්දය දෙකේ කොළයට දමා තවත් වරදාන වරප්‍රසාදවලට පක්ෂය, කණ්ඩායම මාරු කරති. ඇතැම් මාරුවීම් මුදලටය. තවත් ඒවා ඇමැතිකම්වලටය. මේ හැමදේම වාසියටය.ඒත් නිකන් හෝ පක්ෂය මාරැ කරන්නේ ඇයිදැයි ඇසූ විට ඔවුන් කියන්නේ මේ රට වෙනුවෙන් ගත් තීරණයක් බවය.
එසේ නම් අපට ප්‍රශ්න කීපයක් ඇත. රට වෙනුවෙන් නම් ඇයි මීට පෙර එම පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත් නොවුණේ යන්නත්, ජනතාවගේ තේරීම තවත් පක්ෂයකට මෙසේ පාවා දෙන්නේ කෙසේද යන්නත්, ඊට ඇති අයිතිය කුමක්ද යන්නත්ය. කෙසේ වෙතත් අද වන විට පොළේ පොල් ගෙඩි විකුණන හා සමානව මන්ත්‍රීවරු විකිණෙන්නට පටන් ගෙන ඇත. මේ එකී විකිණීමේ වසන්ත කාලයයි.
පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරැම් දීමෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග කළේය. ඒ නිසා දැන් යන්නේ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බා ගැනීමේ මෙහෙයුම්ය. ඒ සඳහා කෝටි ගණන් දෙන බවත් ඇමැතිකම් දෙන බවත් රට පුරා ප්‍රචාරය විය. එහෙත් ඒවා සත්‍ය අසත්‍යදැයි දන්නේ නැත. ඒත් අසත්‍යතාවයක් ද නැත්තේ ද නැත. මේ ඊට කදිම නිදසුනකි. අමාත්‍ය එස්. බී. දිසානයක මහතා විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර වෙත ලබාදුන් දුරකථන ඇමතුමකි. මෙය සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ වූ එකකි.
පාලිත:- හලෝ
එස්.බී :- රංගෙද
පාලිත:- ආ...ඔව්
එස්.බී:- රංගේ කොහෙද ඉන්නේ?
පාලිත :-මං දැන් ඇවිල්ලා.... මේ හරිය.. කොටදෙනියාවේ
එස්.බී:- ආහ්...එන්නේ නැද්ද ඔයා?
පාලිත:- ආ...කොහෙද..? කොළඹද?
එස්.බී:- නෑ..බං අපට.
පාලිත:- මං ඊයෙත් එච්.ඊ (ජනාධිපති) එක්ක කතා කරගත්තා
එස්.බී:- ඔව්
පාලිත:- එච්.ඊ කතා කළා මට
එස්.බී.:- නෑ ඔයාලට තිබ්බ බය අපේ ටීම් එකක් යු.ඇන්.පී යයි කියලනේ.
පාලිත:- ඔව්
එස්.බී:- දැන් එකෙක්වත් යන්නේ නෑ.
පාලිත:- ආහ් හා...හා...
එස්.බී:- අද ඒ ටික සේරම දිවුරනවා. අපි හදාගෙන හිටියනේ පස් හයදෙනෙක්. උනුත්
දිවුරනවා හෙට.
පාලිත:- හා හා....
එස්.බී:- මේ.. මේ... වෙලා තියෙන්නේ රංගේ ඔයා දැන් ආවොත් ඔයාට කැබිනට් පොසිෂන් එකක් දෙන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් නැති වෙයි. ඔයාලගේ නොහිතන තව තුන්දෙනෙක් එන්න ඉන්නවා.
පාලිත:- හා හා....
එස්.බී:- ඒ අය කැබිනට් අය.. ඔයා ඉක්මන් වුණොත් හොඳයි රංගේ ඇත්‍තටම. මේ... මේ... ඔයා ජනාධිපතිතුමාට කියලා තියෙනවා අද එනවා කියලා.
පාලිත:- නෑ නෑ ජනාධිපතිතුමා කිව්වා මට කතා කරන්නම් කියලා. හම්බවෙන්න ඕන කියලා කිව්වා. මේ... මම කිව්වා කලම්බු ඉන්නවා නම් කියන්න වෙලාවට එන්නම් කියලා. නැත්තන් කලින් කියන්න කියලා.
එස්.බී:- මට කිව්වා ඔයා එනවා කිව්වා කියලා.
පාලිත:- ආ කිව්වද? නෑ නෑ එතුමා මට කතා කළා. කතා කරපු වෙලාවේ කිව්වා.
එස්.බී:- නෑ මමයි කතා කරන්න කිව්වේ.
පාලිත:- හා එහෙමද?
එස්.බී:- ඔයාට කතා කරන්න කියලා මට තව කවුරුහරි කිව්වා. ජනාධිපති ලව්වා කතා කරන්න රංගෙට කියලා. ජනාධිපති කෝල් එකක් දුන්නොත් රංගේ එයි කියලා කිව්වා. රංගේ මේ වගේ වෙලාවට තමයි ඔයාලා අඩිය ඉස්සරහට තියන්න ඕනේ.
පාලිත:- හ්ම්... හ්ම්...
එස්.බී:- හ්ම්... හ්ම්... මේ මේ අඩිය පස්සට ගන්න ගන්න පාඩුව ඔයාට.
පාලිත:- හ්ම්....
එස්.බී:- අපේ 113 ගැන අපිට ප්‍රශ්නයක් නෑ රංගේ. මම ඔයාව රවටන්න බොරු කියනවා නෙමෙයි.
පාලිත:- ඔව්
එස්.බී:- ගිය සැරෙත් වෙච්ච පාඩුව තමයි 117 ක් හදාගෙන හිටියා. ඒත් ප්‍රශ්නය වුණේ අපේ ටීම් එකක් යන්න ගියානේ.
පාලිත:- ඔව්
එස් බී:- මේ සැරෙත් ඒ දේම වෙන්න ගියා හැබැයි දැන් අදින් ඒ ප්‍රශ්නය ඉවරයි. ඔයා බලන්නකෝ.
පාලිත:- එහෙමද? දැන් ඒ අය සෙට්ල්ද?
එස්.බී:- ඔව් සෙට්ල්. අද දිවුරනවා.
පාලිත:- හා.
එස්.බී:- හ්ම් හ්ම්....
පාලිත:- හ්ම්
එස්.බී :- ඒ සියලු දෙනා දිවුරනවා. හැබැයි ඒ දිවුරම ගන්නේ පහුගිය ජාතික රජය වගේ හතළිස් ගණන්වලට යන්න බෑනේ රංගේ. යන්න පුළුවන් තිහට.
පාලිත:- ම්. තිහට...
එස්.බී:- හිතන්න... බලලා මට කතා කරන්නකෝ.
පාලිත:- හා.
එස්.බී:- ඩිසිෂන් එකක් අරන් අදම වුණත් කරලා දාන්නම්.
පාලිත:- හ්ම්...හ්ම්..
එම සංවාදය එසේ නිම වෙයි. මේ සංවාදය තුළ මුදල් හුවමාරුවක් නැත. එසේම රංගේ බණ්ඩාර ගියේද නැත. එහෙත් ඇමැති පට්ටමක් අල්ලස් ලෙස ලබාදීමක් ඇත. මෙලෙස ඇමැතිකම් ලබා දෙන්නේ අපිට රටේ ජනතාවට වැඩ කරන්නද? නැත. මේ තුරුම්පුව ඔවුන්ගේ කණ්ඩායමේ බලය වැඩි කරගන්නටය. එසේ නොමැතිව මේ රටටවත් අපටවත් ආදරේට නොවේ. එහෙත් මේ මජර දේශපාලනයේ අවසානය කවද්ද? අල්ලසට ආත්මයත්, ඡන්ද දායකයත් පාවා දෙන මේ කුණු ගඳ ගහන දේශපාලනයේ අවසානයක් සිදුකළ හැක්කේ මහජනතාව වන අපටය. ඒ නිසා ඔබේ ඡන්දය නිවැරදි පුද්ගලයන් හට භාවිතා කරන්න පුරුදු වන්න. එය ඔබේත් මගේත් අයිතිය සුරක්ෂිත වනු ඇත.
කෙසේ වෙතත් මේ එක ඩීල් එකකි. මෙවැනි ඩීල් අනන්ත අප්‍රමාණ ඉදිරියේදීත් සිදුවනු ඇත. දැනටත් සිදුවී ඇත. පුදුමය නම් පුන පුනා අප නැවතත් මේ පිරිස්ම අපේ නායකයන් ලෙස තෝරා ගැනීම නොවේද?
►ගයාන් ගාල්ලගේ