2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

1. 2014 නොවැම්බර් මාසයේ ශ්‍රීලනිපයේ හිටපු සභාපතිවරයා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ශ්‍රීලනිප ලේකම් වූ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන් වෙනවා. 2018 නොවැම්බර් මාසය වනවිට මේ දෙදෙනා නැවතත් රට රකින ජන මහිම වේදිකාවෙදි එකට එක්වෙනවා. මේ සිදුවූ දේශපාලන පෙරළිය ගැන මොකද කියන්න තියෙන්නෙ?

2. බලපෙරළිය එක්ක එන ඊළඟ ප්‍රශ්නය තමයි රටේ ගොඩනැගී තිබෙන ජනතාවට බලපාන ප්‍රශ්න. විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න. මේ බලපෙරළිය ඒකට විසඳුමක් වෙයිද?

3. රටේ තිබෙන ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයකුට තමන් සිටින පක්ෂය අතහැර ආණ්ඩුවට හෝ විපක්ෂයට සහාය පළකරන්න පුළුවන්ද? මේ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද?

4. මේ රටේ සිදුවූ බලපෙරළිය පිටිපස්සෙ විදේශීය බලපෑම් තිබෙන බවට චෝදනා එල්ලවෙනවා. යහපාලන ආණ්ඩුව හදද්දිත් එවකට විපක්ෂයේ සිටි පක්ෂ මේ විදියටම චෝදනා කළා. ඇයි මෙහෙම ආණ්ඩු පිහිටුවන විට එකිනෙකාට චෝදනා කරගන්නෙ?

 

ලෝකෙම තරහ කරගෙන රටක් පාලනය කරන්න පුළුවන්ද?
කම්කරු ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්

1. ඇත්තටම මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. 2014දී ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල තමයි වත්මන් ජනාධිපතිවරයා ඒ පක්ෂයෙන් එළියට ආවේ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න තමයි ඔහු ආවේ. නමුත් ආයෙම එතුමා අර ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියපු කඳවුරටම ගිහින් තියෙනවා. ඒක හිතාගන්න බැහැ. රනිල් වික්‍රමසිංහද, මහින්ද රාජපක්ෂද, මෛත්‍රීපාලද නෙවෙයි අපිට ප්‍රශ්නය තියෙන්නෙ. කවුරු ආවත් ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතුයි කියන පදනමේ තමයි අපි ඉන්නෙ.

2. මම හිතන විදියට මොවුන්ට මේකට විසඳුමක් හොයන්න බැරිවෙයි. මුළු ලෝකෙම තරහ කරගෙන කොහොමද මොවුන් විසඳුම් සොයන්නෙ. මේ විදියට ගියාම ලෝකයේ කිනම් රටකින්වත් අපිට උදව් ලබාගන්න බැරිවෙයි. චීනය පමණක් උදව් කරයි. හැබැයි චීනයත් නිකම් උදව් කරන්නෙ නැහැ. එහෙම බැලුවම අපේ රට නන්නත්තාර වෙන්න පුළුවන් කාගෙන්වත් උදව් ලැබෙන්නෙ නැතිව ගියාම.

3. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මතයේ මම නම් ඉන්නවා. මොකද, මේ මන්ත්‍රීවරු ඉන්නෙ මහජනතාවට වැඩ කරන්න. නමුත් මේ විදියට ජනතාවගේ ඡන්දයෙන් බලයට එන මන්ත්‍රීවරු පැති මාරු කළාම ඒ ඡන්දය දීපු ජනතාව අසරණ වෙනවා. මේ විදියට මන්ත්‍රීවරු හිටිහැටියේම පක්ෂ මාරු කළාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න බැහැ.

4. මේවට විදේශීය බලපෑම් එල්ල වුණාද නැද්ද කියන්න අපි දන්නෙ නැහැ. නමුත් ජාත්‍යන්තරය තරහ කරගෙන මොනවත් කරගන්න බැහැ. ඒක තමයි යථාර්ථය. සමහර දේශපාලකයන්ට ඕවා තේරෙන්නෙ නැහැ. ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ බලපෙරළි පිටිපස්සෙ විදේශීය බලපෑම් තිබුණා කියලා විශ්වාස කරන්න බැහැ.

 

මැතිසබය කල්තැබීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසුවා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරැණා

1. ඉතා පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාරාත්මක නැති ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුත්තක් තමයි මේ සිදුවෙලා තියෙන්නෙ. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත්ත මේ ක්‍රියාවලිය දෙස මහජනතාව සමස්තයක් හැටියට පිළිකුළෙන් තමයි බලන්නෙ. මෙය බරපතළ තත්ත්වයක්. එවැනි තත්ත්වයක් උදාවීම හොඳ නැහැ. අගමැතිවරයකු එහෙම පත්කිරීම පමණක් නෙවෙයි පාර්ලිමේන්තුව කල්තැබීම ඊටත් වඩා දරුණුයි. දැන් මේ පිරිස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැතිකරලා තියෙන්නෙ. ඉතින් එය නැවත යථා තත්ත්වයට පත් කරන්න ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. මේ වෙනුවෙන් තමයි දැන් අපි මේ සටන් කරන්නෙ.

2. මේ අවිනිශ්චිතතාවය රටේ ආර්ථිකයට ඉතා අහිතකරයි. මේ වෙනකොට විශාල ආදායමක් ලැබෙන යාන්ත්‍රණයක් තමයි සංචාරක ව්‍යාපාරය. දැන් රටවල් ගණනාවක් සංචාරකයන්ට තහනම් දාලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ ලැබෙන ආධාර නතරවෙලා තියෙනවා. උදාහරණයක් විදියට ජී.එස්.පී.ප්ලස් සහනය අපි ලබාගත්තා. දැන් ආයේ යුරෝපීය සංගමය අනතුරු අඟවනවා නැවතත් එය අහිමිවෙයි කියලා. මෙහෙම තත්ත්වයක් ඇතිවෙනකොට රටේ ආර්ථිකය නැවත වරක් කඩාවැටෙනවා.

3. ඉතා පැහැදිලිවම තමන්ට ඡන්දය ලබාදෙන පක්ෂය රැකගැනීම තමයි ඒ මන්ත්‍රීවරයාගේ වගකීම වෙන්නෙ. මේ විදියට පක්ෂයක සිට තවත් පැත්තකට යන එක නීති විරෝධීයි. ඒකෙ සදාචාරාත්මක බවක් නැහැ. ඒ වගේම තමයි මේ ඡන්දය දීපු ඡන්දදායකයන් පාවාදීලා තමයි මොවුන් විවිධ වරප්‍රසාදවලට බලලෝභීව මේ විදියට පක්ෂ මාරු කරන්නෙ. එවැනි තත්ත්වයක් තමයි අද උදාවෙලා තියෙන්නෙ. මෙය සමාජයේ පිළිකුළට ලක්විය යුතුයි.

4. කිසිදු විදේශීය බලපෑමක් ඇත්තටම මේ අවස්ථාවේදී නම් සිදුවෙලා නැහැ. ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයා ලක්ෂ 62ක ජනතාව අතරමං කිරීමක් මෙතන සිදුවෙලා තියෙන්නෙ. අපි මීට කලින් ජනාධිපතිවරයෙක් පිල් මාරු කරනවා දැක්කෙ නැහැ. මුල් වතාව තමයි මේක. මේක ඇත්තටම දේශීය දේශපාලන කුමන්ත්‍රණයක්.

 

පක්ෂ මාරු කිරීම ජනතාව පාවාදීමක්
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නවවි

1. මේ දේශපාලන පෙරළිය ගැන තවමත් නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි. අපි බලමු ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සෙ මේක මොනවා වෙයිද කියලා.

2. රටේ ආර්ථික ප්‍රශ්නයට මේ බලපෙරළියෙන් විසඳුමක් සොයන්න අමාරුයි. මුළු ලෝකෙම දැන් මේ රටේ වෙන ප්‍රශ්නය දිහා අවධානයෙන් බලන් ඉන්නවා. ඒ වගේම තමයි මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නයත් එක්ක අපේ රටට උදව් කරන බටහිර රටවල් නැවත එම උදව් කරයි කියලා හිතන්න අමාරුයි.

3. මේ ක්‍රමය අපි අනිවාර්යයෙන් වෙනස් කළ යුතුයි. කුමන හෝ පක්ෂයකින් ඡන්දය ඉල්ලලා ජනතාව මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුවට පත්කර එවන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට පිළියමක් ලෙස. නමුත් මේ විදියට ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පක්ෂ මාරුකිරීම හා එක් පක්ෂයක සිට අනිත් පක්ෂයට සහාය පළකිරීම සදාචාරාත්මක නැහැ. ඔවුන් ඒ කරන්නෙ තමන්ට ඡන්දය ලබාදුන් ජනතාව පාවාදීමක්.

4. ඒ සම්බන්ධව නම් වැඩි විස්තරයක් කියන්න දන්නෙ නැහැ. යහපාලන ආණ්ඩුව බලයට ගේන්න එන විට විදේශීය බලපෑම් තිබුණේ නැහැ කියලා කියන්න පුළුවන්.

 

මේ පෙරළිය රටටම හොඳයි
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා - ඒකාබද්ධ විපක්ෂය

1. මේ සිදුවූ දේශපාලන පෙරළිය ඇත්තටම එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියටත් රටේ ප්‍රගතිය බලාපොරොත්තු වන මහජනතාවගේ නියෝජිතයකු ලෙසත් යහපත් ලෙස මම දකිනවා. ඇත්තටම වත්මන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ කාලයක් එකට වැඩ කරපු අපි පහුගිය වසර තුනහමාරක කාලය තුළ එතුමා දැඩි ලෙස විවේචනය කළා. ඒ කුමක් අරභයාවත් නෙවේ, එතුමාට එජාපය සමඟ එක්වී ජනතාවට වැඩක් කරන්න බැහැ කියන පූර්ව නිගමනයේ අපි සිටිය නිසා. හැබැයි එතුමා ඉවත් වෙන්න ගත්ත තීන්දුවත් එක්ක අපි කරපු විවේචන සාධාරණයි කියලා වත්මන් ජනාධිපතිවරයා පවා පිළිගන්න තත්ත්වයක් උදාවෙලා තියෙන බව දියවන්නාවේ පැවති රැස්වීමේදී එතුමා කරපු ප්‍රකාශයෙන් අපි දැක්කා. ඇත්තටම මේ නායකයන් දෙපළගේ එකතුවීම ගැන අපි සතුටු වෙනවා.

2. අපි විශ්වාස කරන්නෙ නැහැ සන්ධාන රජයක් බලයට පත්වූ පමණින් රැයක් එළිවෙනකොට ආර්ථික සහන සහ ආර්ථිකයේ විශාල පෙරළියක් කරන්න පුළුවන් වෙයි කියලා රටේ තියෙන ආර්ථික තත්ත්වය එක්ක. හැබැයි රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට හැරවීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට එළැඹීමට අපි ඉක්මනින්ම සූදානම්. කවුරු කොහොම කිව්වත් පහුගිය ආණ්ඩු කාලයේ අපි ක්‍රියාත්මක කළේ මහින්ද චින්තන වැඩපිළිවෙළ. එවැනි තත්ත්වයක් තුළ නැවත රට ගොඩනගන්න පුළුවන් නායකයන් දෙපළක් දැන් ඉන්නවා. කොහොමත් ඉදිරි කාලය තුළ යහපත් ආර්ථික කළමනාකරණයක් එක්ක අපිට පෙරට යාමට හැකියාවක් ලැබෙයි.

3. මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුළත් පාර්ලිමේන්තුව ඇතුළෙත් සමාජය තුළත් යම් කතිකාවක් තියෙනවා. ඒ වගේම එයට පක්ෂවත් විපක්ෂවත් කරුණු කාරණා සාකච්ඡා කෙරෙනවා. ඇත්තටම අපි හිතන්නෙ තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා කියලා.

4. ආණ්ඩුවකට හෝ පක්ෂයකට හෝ පුද්ගලයකුට චෝදනා කළ යුත්තේ ඔප්පු කළ හැකි කරැණු කාරණා තිබේ නම් පමණයි. අපි චෝදනා කළා 2015 ජනාධිපතිවරණයේදී. ඒ කරන චෝදනාව තමයි ඉතා පැහැදිලිවම අමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තියෙනවා ඩොලර් මිලියන 600ක මුදලක් ලෝකයේ රාජ්‍ය පෙරළි සඳහා යෙදවූ බවටත් ඉන් කොටසක් ශ්‍රී ලංකාවට දුන්නා කියලත්. එහෙනම් ඒක සක්සුදක් සේ පැහැදිලියි. ඒක කිසි කෙනෙක්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි වර්තමානයේ සිදුවුණු මේ පෙරළියට ජාත්‍යන්තර සහයෝගයක් තිබුණාය යන්න කාටත් ඔප්පු කරන්න බැහැ.

 

ඒ ආණ්ඩුව තිබුණා නම් රට විනාශයි
මහාචාර්ය තිස්ස විතාරණ - ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්

1. ශ්‍රීලනිප අභ්‍යන්තරය තුළ පසුගිය කාලයේ ඇතිවෙලා තිබුණු ගැටලු නිසා තමයි ශ්‍රීලනිපයේ හිටපු ලේකම්වරයා වූ වත්මන් ජනාධිපතිවරයා ඒකෙන් අයින්වෙලා අර ගොඩට ගියේ. ඇත්තටම කුමන්ත්‍රණකාරීන්ට හසුව මෛත්‍රීපාල සිරිසේනත් ඒ ගොඩට වැටුණා. ඊටපස්සෙ එතුමාට මේ අවුරුදු තුනහමාර තුළ මේ පැවති රජයේ අඩුපාඩු එක්ක ගැටෙන්න සිදුවුණා. ඉතින් ඒ පරස්පර විරෝධය එන්න එන්න වැඩිවෙලා තිබුණා. අපි එය දුටුවා. මේ තත්ත්වය තුළ තමයි එතුමා දැන් මේ විදියට තීන්දුවක් අරගෙන තියෙන්නෙ. ඉතින් දැන් ඔවුන් රට බේරාගන්න එකතුවෙලා තියෙනවා. පහුගිය රජය තවදුරටත් පැවතියා නම් මේ රට විනාශ වෙනවා.

2. මේකට අපිට ජනතාවගේ සහයෝගය ඇතුව හරි ප්‍රතිපත්ති මාලාවක් සකසාගෙන සටනක් දෙන්න සිදුවෙනවා. අපේ රටේ කර්මාන්ත අපි දියුණු කළ යුතු වෙනවා මේ තත්ත්වයෙන් රට දියුණු කරන්න. ඇත්තටම අපේ රටේ කර්මාන්තවලින් තමයි අපිට දියුණුවෙලා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පුළුවන් වෙන්නෙ. ඒකට අවශ්‍ය සහාය මේ රජය තුළින් දිය යුතුයි. මේ රටේ ඉන්න බුද්ධිමතුන් විද්වතුන් එක් කරගෙන විධිමත් සැලැස්මක් හැදුවොත් තමයි අපිට මේ වැටිලා තියෙන වළෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නෙ.

3. යම් අයකු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වුණාට පස්සෙ පක්ෂය විසින් ගනු ලබන තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියා කරනවා නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂ ලේකම්ට අයිතියක් තියෙනවා. යමකු එහෙම එක් පක්ෂයකින් ඡන්දය ඉල්ලලා තමන්ට වාසිවෙන අවස්ථාවක නැවත පක්ෂ මාරු කරන එක ප්‍රතිපත්තියක් විදියට සුදුසු නැහැ. හැබැයි දැන් තමන් ඉන්න පක්ෂය රටට වැඩක් නොකරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරනවා නම් පුද්ගලයකුට අයිතියක් තිබෙනවා තමන්ගේ හෘදයසාක්ෂිය ගැන හිතලා රට වෙනුවෙන් තීන්දු ගන්න.

4. ඒකෙ ඇත්තක් තියෙන්න පුළුවන්. නැතැයි කියන්නත් පුළුවන්. මේ හිටපු ආණ්ඩුව විදේශ අවශ්‍යතාවය මත ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ ආණ්ඩුවක්. එය මගේ පෞද්ගලික මතය. නමුත් මෙම සිදුවූ බලපෙරළිය පිටුපස එවැනි විදේශීය බලපෑමක් තිබුණා කියලා හිතන්න බැහැ.

 

යහපාලනය කියන්නේ බටහිර රටවල රූකඩ පාලනයක්
ජාතික නිදහස් පෙරමුණු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

1. විශේෂයෙන්ම මෑත වකවානුවේ ලෝක බලවතුන්ට ශ්‍රී ලංකාව නැතුවම බැරි රටක් බවට පත්වුණා. එතකොට මේ රාජ්‍ය ඒ අයට ඕන විදියට හසුරවගන්න වුවමනා වෙලා තියෙනවා. පහුගිය රජය ඒ විදියට බටහිර රටවලටත් ඉන්දියානු රජයටත් ඕන විදියට හැසිරැණු ආණ්ඩුවක් නෙවෙයි. ඒක නිසා ඔවුන් සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ පැවති යහපාලන ආණ්ඩුව බිහිවුණේ. නමුත් අපි මුල සිටම දැනගෙන සිටියා මේ යහපාලන දීගය පෑහෙන දීගයක් නෙවෙයි කියලා. අද වනවිට එය සැබෑවෙලා තියෙනවා.

2. මේ බලපෙරළියේ මූලික අභිලාෂය තමයි මේ රට යන විනාශකාරී ගමන නවත්වන එක. ඒ වගේම කොටි ත්‍රස්තවාදය තිබූ සමයට වඩා බෙදුම්වාදය හිස ඔසවලා තියෙනවා. ඒක නැති කරන එක. ඒ වගේම රට මේ වනවිට ඇදවැටිලා තියෙන බරපතළ ව්‍යසනයෙන් රට ගොඩගන්න එක. රටේ ජනතාවට යහපත් හෙට දවසක් උදාකිරීම තමයි මේ බලපෙරළියේ අභිලාෂය.

3. මන්ත්‍රීවරයා නිර්මාණය වෙන්නෙ මහජනයාගේ පරමාධිපත්‍ය අයිතිය මත. මේ රටේ ජනතාවට වුවමනා කරන්නෙ යහපත් රටක්. එතකොට ඒ යහපත් රට නිර්මාණය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ගන්නා වූ ක්‍රියාමාර්ග නිවැරදි නොවනවා නම් ඒ ක්‍රියාමාර්ග රටටත් ජනතාවටත් අනාගතයටත් හතුරු නම් මන්ත්‍රීවරයකුට හැකි විය යුතුව තිබෙනවා තමන්ගේ හෘදයසාක්ෂිය මත ක්‍රියාත්මක වෙන්න. රටත් එක්ක බැඳුණු, සමාජය එක්ක බැඳුණු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත්තොත් වරදාන වරප්‍රසාදවලට පනින එක නතර වෙයි. එය නීති රීති දාලා නතර කරන එක ජනතාවට කරන අගෞරවයක් කියලා තමයි අපි විශ්වාස කරන්නෙ.

4. මේ රටේ බලපෙරළි පිටිපස්සෙ විදේශ මැදිහත්වීම් අනිවාර්යයෙන්ම තිබුණා. පැවතුණා. රජය පෙරළා දැමුවේ ඉන්දියාව සහ බටහිර රාජ්‍යයන් මැදිහත් වෙලා. දැන් මේ වත්මන් රජයට එහෙම නැහැ. පෙබරවාරි දහවැනිදා අපිට ජනවරමක් ලැබුණා. ඊටපස්සෙ විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඊටපස්සෙ මන්ත්‍රීවරු 16 දෙනෙක් ජාතික ආණ්ඩුවෙන් කැඩිලා එළියට ආවා. ඊටපස්සෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයම එළියට ආවා. කැබිනට් එක විසිරුණා. ඊටපස්සෙ ජනාධිපති ඔහුට තියෙන බලතල අනුව නව අගමැතිවරයකු පත් කළා. කිසිදු විදේශීය බලපෑමක් මේ නව බලපෙරළියට සිදුවුණේ  නැහැ. එවැනි තත්ත්වයක් තුළ දැන් එජාපයේ කණ්ඩායම් මේ විදියට හැසිරෙන්නෙ තවමත් ඔවුන් පිටිපස්සෙ විදේශීය බලවේග හොල්මන් කරන නිසා.

►හසිත් අංජන