
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර පැවති තත්ත්වය හා නිදහසින් පසු ලංකාවේ තත්ත්වය පිළිබඳ පසු විපරම් කර බැලීමේදී තහවුරු වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුළ රටේ නීතිය සාමය පාලන බලය යම් ආකාරයක යහපත් තත්ත්වයක පැවතී ඇති බවයි. අතීතයේදී මානවයා යම් ප්‍රතිපත්තියක සිට කටයුතු කර ඇති බවට තහවුරු වන්නේ වර්තමානයේ මතුවන ගැටලු විසඳීමට පැවති සහා පවතින රජයන් ගන්නා ඇතැම් තීන්දු තීරණ පිළිබඳ සිතා බැලීමේදීය.
සත්‍ය වසන්කර තම නිල බලය රැක ගැනීමට දේශපාලනඥයන් ඉදිරියේ නිරුවත් වන ඇතැම් පිරිසක් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අපේ රට විනාශයට ඇද දමමින් සිටිති. එවන් තත්ත්වයක් තුළ වර්තමානයේ සේරක්කුලිය කසළ ව්‍යාපෘතියට මහජන විරෝධය මතු වී තිබීම සාධාරණීය කළ හැකිය. එම විරෝධය මතු වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහජනයා මුලා කරමින් ව්‍යාපෘති ආරම්භ කිරීමට මුල පිරීමයි. අරුවක්කාඩුවට කුණු ගෙනයාමට කැබිනට් පත්‍රිකාවකින් අනුමැතිය ලැබුණද පරිසර බලපත්‍රය නොලැබීම හේතුවෙන් සේරක්කුලියට එම ව්‍යාපෘතිය රැගෙන ඒමට අදාළ බලධාරීන් කටයුතු කර ඇත.
අරුවක්කාඩුවට කොළඹ කුණු රැගෙන ඒමට විරුද්ධව පරිසර සංවිධාන හා මහජනතාව කළ විරෝධය හමුවේ හොර රහසේ කුණු ව්‍යාපෘතිය සේරක්කුලියට රැගෙන ඒමට කටයුතු කර ඇත්තේ රටත් ප්‍රදේශයත් පාවාදෙන පුද්ගලයන්ගේ සහයෝගය ඇතිව බවට චෝදනා එල්ල වෙයි. සේරක්කුලිය ජනතාවගේ විරෝධය ඉදිරිපත් කිරීමට තෝරාගත් නියෝජිතයාද වරදාන වරප්‍රසාදවලට යටවී මහජන විරෝධතාවය සඳහා පෙන්වීමට ඉදිරිපත් කළ ලේඛනද සඟවා මෙම ව්‍යාපෘතිය ගෙන ඒමට සහයෝගය ලබාදී ඇති බවද වාර්තා වෙයි.


හොර රහසේ ඉදිවූ කුණු ව්‍යාපෘතියට අදාළව එම ස්ථානයට මීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි සේරක්කුලිය කළපුවට ජලය බැස යාමට ඇළ මාර්ගයක් සකස් කිරීමට එළිපෙහෙළි කරමින් සිටියදී ජනතාවට සිදුවන දේ දැක ගැනීමට හැකි වී ඇත. එතැන් පටන් උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීමට ගම්වැසියන් සහ අවට ප්‍රදේශවල ජනතාව ඒකරාශී වූහ. ආගමික නායකයන්ගේ සහ දේශපාලන අධිකාරියේ පක්ෂ විපක්ෂ මට්ටමින් මෙයට විරෝධතාව එල්ල වන්නට විය. විවිධ සංවිධාන ඒකරාශී වී රැස්වීම් පවත්වා කළු කොඩි දමමින් උද්ඝෝෂණ කළහ. පුත්තලම් බූරුවෝ යැයි කියමන යටපත් වෙමින් පුත්තලම කුණු කරළියට එන්නට විය.
විවිධ පාර්ශව කොළඹ කුණු පුත්තලමට ගෙන ඒම පිළිබඳ කතාබහ කරති. පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව, සේරක්කුලිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව සහ ආගමික නායකයන් පවසන්නේ මෙම කුණු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යොදාගෙන තිබූ අරුවක්කාඩුව හුණුගල් කඩා අතහැර දැමූ වළවල් බවත් සිදුකරමින් පවතින්නේ සේරක්කුලිය කළපුව ආශ්‍රිතව වළවල් හාරා ව්‍යාපෘතියට අවශ්‍ය ඉදිකිරීම් සිදු කිරීම බවත්ය.
අපේ රටේ යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍ය නිසි පරිසර වාර්තා ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය කටයුතු කර ඇත. සිවිල් සංවිධාන දේශපාලන පිරිස් මහපාරට බැස උද්ඝෝෂණ විරෝධතා ආරම්භ කිරීමෙන් පසු එම තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ පාර්ශවයන්ට වරදාන වරප්‍රසාද ලබාදීමට කටයුතු කිරීම පැවති සහ පවතින රජයන්වල ඇති විශාල දුර්වලකමකි. රජයේ එම දුර්වලතා වටහාගත් ඇතැම් උදවිය මහ ජනතාවගේ සැබෑ විරෝධය දඩමීමා කර ගනිමින් ඔවුන් ද මැදිහත්වී විරෝධතා සඳහා සහභාගි වන්නේ වරදාන වරප්‍රසාද ලබා ගැනීමේ චේතනාවෙනි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හුළං බලාගාරය පුත්තලම කළපුව හරහා විදුලි රැහැන් ඇදීම වැනි ව්‍යාපෘතිවලදීද මේ ආකාරයෙන්ම විරෝධතා පැවැත්වූ අතර ව්‍යාපෘති නොනැවතී සිදු වී හමාරය. රජය එය ක්‍රියාත්මක කිරීමට යොදාගත් උපක්‍රම වූයේ විරෝධතාකරැවන්ට අල්ලස් ලබා දීමයි. එලෙස වරදාන වරප්‍රසාද ලබාදීමට රජය කටයුතු කිරීම රටේ අනිකුත් මහජනතාවට කරන අසාධාරණයකි. “එපා එපා අපට එපා - කොළඹ කුණු අපට එපා” කියමින් සිටියද ඇතැමකුගේ සැබෑ අරමුණ වන්නේ “දියවු දියවූ අපට දියවු වරදාන වරප්‍රසාද අපට දියවු” යන්නය. එම අරමුණට එහා ගිය කිසිවක් බලාපොරොත්තු නොවී කුණු එපාම කියමින් පුත්තලම නගරයේ පැවැත්වෙන විරෝධතාවය සති තුනකට ළඟාවී ඇත.
රජයන් විසින් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන ව්‍යාපෘති වලට ජනතා විරෝධය නිරන්තරයෙන්ම එල්ල වන්නේ කියන දේ හරියට කරන බවට විශ්වාසයක් ජනතාව තුළ රජය කෙරෙහි නොමැතිකම නිසයි. උද්ඝෝෂණ විරෝධතා කොතෙක් තිබුණත් ව්‍යාපෘතියේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතී. මෙම කුණු ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් වන්නේ නම් සැබැවින්ම එය සේරක්කුලිය ජනතාවයි. නමුත් අද වනතෙක් සිදුවේ යැයි කියන පරිසර හානිය ඔප්පු කිරීමට හැකි විද්‍යාත්මක හේතුවක් ඉදිරිපත් කිරීමට කිසිවකුටත් හැකිවී නැත.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා සහ ව්‍යාපතියේ කටයුතු කරන උගතුන් බුද්ධිමතුන් මහාචාර්යවරුන් පවසන්නේ කිසිදු පරිසර හානියක් සිදු නොවන බවයි. සිදුවේ යැයි යන සැකය මුල් කරගෙන සේරක්කුලියට කුණු ගෙන ඒමට සැබෑ විරුද්ධ කරුවන් අතර වෙනත් බලවේග ක්‍රියාත්මක වෙමින් වරදාන වරප්‍රසාද ලබාගන්නට බලා සිටිති. මේ තත්වය ඔවුන්ට හොඳම තෝතැන්නක් වී ඇත.
කුමක් කළද ඉදිරියේදී සිදුවන දේ සක් සුදක්සේ පැහැදිලිය. කුණු ව්‍යාපෘතිය නොනැවතී ක්‍රියාත්මක වෙයි. ඇති හැකි අය වරප්‍රසාද ලබති. නැති බැරි අයට කිසිවක් කර ගැනීමට නොහැකිව නිහඬව බලා සිටීමට සිදුවේ. මෙවැනි තත්වයක් ඇති වීම වැළැක්විය යුතුය. ඒ සඳහා රටේ ජනතාව පෙළ ගැසිය යුතුය. ප්‍රදේශයේ සංවර්ධනයට හැර රජයන් අනුගමනය කරන නීති විරෝධී පෞද්ගලික අල්ලස් දීමට විරුද්ධව නැගී සිටිය යුතුය. මහජන බලයට සියල්ල යටපත් බව වගකිව යුක්තන් මතක තබා ගත යුතුය.
වාරිමාර්ග ජලකලමනාකරණ හා ආපදා කළමනාකරණ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා:
අපි මේවා කතා කළාම කාලකන්නි කියනවා. ප්‍රදේශයේ ඉන්න වැඩිම මනාප ගත්ත ඇමතිවරයා විදිහට ඇත්ත කතා කරන්න වෙනවා. මහජනයා ඡන්දය දීලා යැව්වේ ඒකටයි. කාලකන්නි දේශපාලනඥයෝ කාලකන්නි දේශපාලනය පිළිබඳ කතා කරනවා. බලය සඳහා එහෙන් මෙහෙට මෙහෙන් එහෙට පනිමින් තනතුරු ලබමින් සිටින පිනුම් අප්පුලා තමයි කාලකන්ති දේශපාලානඥයො. අපි එක් ස්ථාවරයක ඉඳන් වැඩ කරනවා. රටේම කුණු ටික පුත්තලමට ගේනවා නම් පුත්තලම ගැනත් බලන්න ඕනා. පුත්තලම උතුර සංවර්ධනය බිංදුවට තිබෙන ප්‍රදේශයක්. ඒ අයගේ සුභසිද්ධිය බලන්නේ නැතුව කුණු විතරක් දිලා හරි යන්නේ නැහැ.
අමාත්‍යංශයේ ලේකම්තුමා ව්‍යාපෘති භාර මහත්තයා ඇතුළු කණ්ඩායමක් ප්‍රකාශ නිකුත් කරලා තිබුණා විද්‍යානුකූලව කරනවා කියලා. ඒ සඳහා අපි යෝජනා කළා මහජනයා, ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඒකාබද්ධ කමිටුවක් ඒ අය හරහා අධීක්ෂණයක් කරන්න කොහොමද විද්‍යානුකූලව කරන්නේ කියලා. මේ වනතෙක් කමිටුවක් නැහැ ජනතාව තුළ තිබෙන සැකය මතු වුණේ ඔය කාරණා නිසා.
එයාල කියනවා පරිසර නිති රීති වලට කරනවා ගැටලුවක් නැහැ කියලා මම කියනවා. ඒ අයට මෙහෙට ඇවිත් පවුල් පිටින් පදිංචි වෙන්න කියලා පුත්තලමේ ජනතාවට විතරක් ප්‍රශ්න තියන්නේ නැතුව.
කුණු ප්‍රශ්නයට විසඳුමක් ඕනා එහෙම කියලා තවත් තැනක ප්‍රශ්නයක් ඇති කරලා හරියන්නේ නැහැ. තාප බලාගාරය හදනකොට කිව්වා ඒවා නෙවෙයි දැන් වෙන්නේ ප්‍රශ්න රාශියක් ඇති වෙලා. මහින්ද රාජපක්ෂ මහත්තයා ග්‍රීන් බෙල්ට් එක හදනවා කියලා පැළ සිටවුවා අද වෙනකොට එකක්වත් නැහැ. සියයට පනහක් විදුලිය කල්පිටිය ජනතාවට නොමිලේ දෙනවා කීවා ආගමික ස්ථානවලට නොමිලේ දෙනවා කීවා. මේ ප්‍රදේශයේ අයට රැකියා දෙනවා කීවා මොකුත් නැහැ. ෆ්ලයි ඈස් පිරිලා පරිසරයට එකතු වෙනවා ජනතාව කියන්නේ ඒකයි. කුණු සේරම පුත්තලමට කියලා. එක පැත්තකින් නොරච්චෝල බලාගාරය. තව පැත්තකින් සිමෙන්ති කර්මාන්ත ශාලාව, මහවැව තොඩුවාව කුකුළු අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක්, මාදම්පේ පරණ යකඩ, කල්අඩිය පරණ යකඩ කුණු සේරම පුත්තලමට. කරන දෙයක් හරියට අපි කිව්ව විදිහට කළා නම් අද ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි ජනතාව වෙනුවෙන් කතා කරනවා එහෙම නොකරනවා නම් තනතුරුවල ඉඳලා වැඩක් නැහැ. මේවා අත හරින්නත් අපට පුළුවන්. හැබැයි අපි එක ස්ථාවරයක සිට වැඩ කරනවා මිස බලය ලබාගන්න එහෙට මෙහෙට පනින අය නෙවෙයි.
රෝවන් පෙරේරා - පුත්තලම