
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස නවය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රවල ආනයනය අඩකින් පමණ අඩුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවෝ පවසති. මෙයට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ එම ආහාර ද්‍රව්‍ය සඳහා පාරිභෝගික ඉල්ලුම පහත වැටී තිබීමය. එලෙස පාරිභෝගිකයන් ඉල්ලුම අඩුකර ඇත්තේ ඔවුන්ට මිලදී ගැනීමට අතමිට මුදල් නොමැති වීමයි. ඒ නිසා තම සාක්කුවල බරේ හැටියට පිරිමසාගෙන කටයුතු කිරීමට ඔවුහු පෙළඹී සිටිති.
ජනතාව දුප්පතුන් බවට පත්ව ඇති එක හේතුවක් වන්නේ විශේෂයෙන් පසුගිය සමයේ ඇති වූ දැඩි නියඟය නිසා කෘෂි කර්මාන්තය කඩා වැටීමෙන් එමඟින් ජීවත් වූ ගොවි ජනතාව අසරණ වී යාමය. ගොවියන් මෙන්ම කෘෂිකර්මය ආශ්‍රයෙන් දිවි ගෙවන වෙනත් ක්ෂේත්‍රවල විවිධ යැපීම් කටයුතුවල නිරත ජනතාව ද අමාරුවේ වැටී සිටිති. වී පමණක් නොව එළවළු වගා කටයුතුවලට ද අතිරේක ධාන්‍ය ආදී භෝගවලට ද පසුගිය සමයේ නියඟයෙන් හානි සිදුවිය. ගොවියන්ට වගා සඳහා ලබාගත් බැංකු ණය ගෙවීමට පවා නොහැකි වීමෙන් සුරුකුම්වලට තැබූ දේ පවා අහිමි වී යාමට පටන්ගෙන තිබිණ. එසේම කෘෂිකර්මාන්තය ආශ්‍රයෙන් විවිධ වෘත්තීන්වලින් දිවි ගෙවන නිෂ්පාදකයන්, වෙළෙඳුන් සහ ලොරි හිමියන්, පොහොර වෙළෙඳුන් සහ අතරමැදියන් ආදී නොයෙක් දෙනාගේ අතමිට මිල මුදල් හිඟ විය. වසර තුනක් තිස්සේ පැවැති නියඟය නිසා වැව් අමුණු සිඳී ගොස් අභය භූමි පවා වසා දැමුණු අතර සංචාරක ව්‍යාපාරය ආශ්‍රයෙන් දිවි ගෙවූ අයට ද බාධා මතුව තිබිණ.
ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර ඇත්තේ 2017දී පසුගිය දශකය තුළ අඩුම වී නිෂ්පාදනය වාර්තා කරමින් එම වසරේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.4 දක්වා සියයට 46.1කින් පහළ ගිය බවය. මෙම වර්ෂයේදීද මුල් මාස 9 තුළ පැවතියේ දැඩි නියඟයකි. ඒ නිසා කෘෂිකර්මාන්තය එතරම් දුරකට වර්ධනය වේයැයි බලාපොරොත්තු තබා ගැනීම උගහට වේ.
එසේම රජය විටින් විට කරන ලද බදු ඉහළ දැමීම් ද ආනයනකරුවන් පසුගාමී කිරීමට සමත් වූ බව පෙනේ. බදු ප්‍රතිශතවල ස්ථාවරභාවයක් නොතිබුණු අතර විටින් විට වෙනස්වන බදු නිසා ආනයනකරුවෝ වෙනදා මෙන් වැඩිපුර ආනයනය කිරීමෙන් වැළකී සිටියේ ඉදිරියේදී හෝ බදු වෙනසක් ඇති වේයැයි බලාපොරොත්තුවෙනි. මේ හේතුව නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වුවද ආනයනය දුර්වල විය. මේ නිසා දේශීය අලෙවි මිල අසාධාරණ ලෙස ඉහළ ගියේය. සීනි ආනයනයේදී පවා බදු ප්‍රතිශත ඉහළ දමා ප්‍රායෝගික නොවන උපරිම සිල්ලර මිලක් නියම කිරීම නිසා ආනයනකරුවෝ අමාරුවේ වැටුණහ. පසුව මෙම බදු ප්‍රතිශතය අඩුකර ගන්නට හැකි වුවද එහිදී සිදු වූ ආනයනය සීමා කිරීම යථා තත්ත්වයට පත්කර ගැනීමට අපහසු විය.
එසේම වෙනත් ආදායම් මාර්ගවලින් යැපුණු අයට ද අවහිරතා ඇති වූයේ ආණ්ඩුවේ විවිධ තීරණ නිසාය. රෙදි ආනයන බදු ඉහළ දැමීම නිසා ඒ අනුසාරයෙන් ජීවත් වූ බොහෝදෙනකු විපතට වැටුණි. බොහෝ ආනයනවල බදු ඉහළ දැමූ අතර, ඒ හේතුවෙන් ආනයනය අඩු වී දේශීය නිෂ්පාදනවල මිල අසාධාරණ ලෙස වැඩිවීම නිසා පාරිභෝගිකයෝ අපහසුතාවයට පත්වූහ.
වාහන ආනයනය පිළිබඳවද ස්ථිර බදු ප්‍රතිපත්තියක් නොමැති වූ අතර විටින් විට පනවන බදු නිසා වාහන ආනයන කර්මාන්තය අඩාල විය. ණයවර ලිපි නිකුත් කිරීමේදී වාහනයේ මුළු වටිනාකමට අලෙවි යුතු බවට ද ෆිනෑන්ස් පහසුකම්වල ප්‍රතිශතය අඩු කිරීම නිසාද වාහන අලෙවියට බාධා පැමිණවිය. එසේම සුඛෝපභෝගී යැයි නම් කළ සුඛෝපභෝගී නොවන විවිධ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවලට ද ආනයන බද්ද වැඩි කිරීම නිසා එම ව්‍යාපාර කටයුතුවල නිරත වූ අයට ආදායම් මාර්ග ඇහිරී ගියේය.
සිමෙන්ති, ගල් වර්ග, වැලි, යකඩ, තීන්ත ආදී ඉදිකිරීම් ද්‍රව්‍ය මිල 2016 සිටම ක්‍රමයෙන් ඉහළ ගිය නිසා දිවයිනේ ඉදිකිරීම් කර්මාන්තවලට බාධා එල්ල විය. මේ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තවලින් සෘජුව සහ වක්‍රව ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී ගොස් ඇත. 2016දී සියයට 8.3කින් වර්ධනය වූ ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල එකතු කළ අගය 2017දී 3.1 දක්වා පහළ වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වේ. සිමෙන්ති නිෂ්පාදනය සහ ආනයනය 2016දී පිළිවෙළින් සියයට 17.8 හා 29.5කින් වර්ධනය වුවද 2017 වසරේදී පිළිවෙළින් සියයට 4.6කින් හා 7.1කින් පහළ වැටුණි.
සමස්තයක් වශයෙන් සලකා බලනවිට ආනයනය අඩුවීම රටට ආර්ථික වශයෙන් යහපත් බවට කෙනකුට තර්ක කළ හැකි නමුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය පහළ වැටී හිඟයක් ඇතිවීම නිසා රටේ ආර්ථික කටයුතු මන්දගාමී වෙනවාත් හැර දේශීය මිල ඉහළ යාමෙන් රටේ පාරිභෝගිකයා විපතට පත්වන බව සනාථ වී ඇත.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර පවසන්නේ උදාවෙමින් පවතින දේශපාලන වෙනස නිසා ව්‍යාපාරිකයන් හිරිහැරයට පත්වී සිටින බවය. තමන් මෙවැනි තත්ත්වයක් මෙතරම් ඉක්මනින් නිර්මාණය වේයැයි බලාපොරොත්තු නොවූ බව ඔහු කියයි.
“මේ වනවිට ජනතාවගේ මුළු අවධානයම යොමුව ඇත්තේ සිදුවෙමින් පවතින වෙනස පිළිබඳවය. කවුරු බලයට පත්වෙයිද ඒ හේතුවෙන් තමන්ට අහිතකර ප්‍රතිඵල ලැබේද ආදී වශයෙන් ඔවුන් විපිලිසරවයි ඉන්නේ. ඒ නිසා වෙනදා තිබුණු වෙළෙඳපොළ අද නැහැ. ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ වුණත් ඉල්ලන්නේ අවම ප්‍රණයක්. එසේම ව්‍යාපාර පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය නිසා ව්‍යාපාරිකයන් මුදල් යට කරන්නේ අඩුවෙන්. පිටරටවල්වලින් භාණ්ඩ ආනයනය කරන්නේ සීමා සහිත විදිහටයි. ඒ මොකද අලුතින් යම් රජයක් පත්වුවහොත් ව්‍යාපාරිකයන්ට කොහොම වෙයිද කියලා දැඩි අවිනිශ්චිතභාවයකින් තමා වැඩිදෙනා පසුවෙන්නේ.
මෙයට අමකර වශයෙන් අයහපත් කාලගුණික තත්ත්වය වර්ෂාව, පෙළපාලි, උද්ඝෝෂණ, වැඩ වර්ජන, එක දිගට නිවාඩු දින ලැබීම් විශේෂයෙන් බැංකු නිවාඩු ආදිය නිසා වෙළෙඳපොළ අක්‍රීය වෙලයි පවතින්නේ. ඒ නිසා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම අඩුවීම නිසාද වෙළෙඳපොළ සැපයීම අඩුවෙලා තියෙනවා. ආනයන භාණ්ඩවලට පමණක් නෙවෙයි සෑම භාණ්ඩයක්ම අලෙවි වීම අඩුවෙයි. පිටකොටුවේ තොග වෙළෙඳපොළ වගේම සිල්ලර වෙළෙඳපොළ ද අකර්මණ්‍ය වී ඇති හැටි එහි යනවානම් බලාගන්න පුළුවන්. ඒ නිසාම වෙළෙඳුන් විශාල ලෙස භාණ්ඩ සපයන්නේ නැහැ. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට තිබෙන සුළු හෝ ඉල්ලුම හැරුණම සෙසු භාණ්ඩවලට ඉල්ලුම නැත්තටම නැති වෙච්ච ගානයි. දේශපාලකයන්ට ප්‍රශ්න ගැටලු නැහැ. ප්‍රශ්න ඇත්තේ පාරිභෝගිකයාටයි, ව්‍යාපාරිකයාටයි විතරයි. සැබෑ තත්ත්වයට මුහුණ දෙන්න සිදුව ඇත්තේ ඒ අයටයි.
මුළු රටේම ජනතාව අද ඉන්නේ භීතියෙන්. කොළඹට එන්න බයයි. ව්‍යාපාරිකයන්කගේ ලොරි වෙනදා වගේ බඩු ගෙනියන්න දුර සිට කොළඹට එන්නේ නැහැ. ඉන්ධන මිල ඉහළයි. ඒ වගේම විවිධ හේතු නිසා තමුන්ට බඩු අරගෙන ආපසු එන්න ලැබෙනවාද කියන අවිනිශ්චිතභාවය නිසයි. ඒ නිසා ව්‍යාපාර කටයුතුවලට තිබෙන අවධානය අඩු වෙලා. කොටින්ම කියතොත් අද වනවිට ව්‍යාපාරිකයන් අතේ තියෙන සල්ලි බැංකුවට දාන්න පවා බියෙන් ඉන්නේ. හෙට කුමක් වෙනවද කියලා දන්න කෙනෙක් නැහැ. මෙම තත්ත්වය දිගටම තිබුණොත් ව්‍යාපාරිකයන් විශාල අමාරුවක වැටෙනවා.
පසුගිය යහපාලන රජයෙන් ව්‍යාපාරිකයන්ට ලැබුණු සහනයක් නැහැ. ඒගොල්ලට ඕනෑ වෙලා තිබුණේ කොහොමහරි බදු ගහලා ආදායම හොයාගන්නයි. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ගැසූ බදු අසාධාරණයි කියලා අප පෙන්වා දුන්නට වැඩක් වුණේ නැහැ.
සීනිවලට ගැසූ කිලෝවකට රුපියල් 31 වූ ආනයන බද්ද එකවරම රුපියල් 48ට ඉහළ නැංවුවා. අපි මේ ගැන මුදල් අමාත්‍යංශයට ලියුම් ලියලා අගමැති සමඟ සාකච්ඡා කරලා රුපියල් 48 බද්ද යළි කිලෝවකට රුපියල් 32 දක්වා පහළ දමාගත්තා. සීනි ආනයනකරුවන්ට වෙනම සංවිධානයක් ගොඩනගා ගන්නට ද සිදුවුණේ මේ නිසයි. කොහොම වුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ජනතාව ගැන සලකා කටයුතු කළ යුතුයි. එසේම ව්‍යාපාරිකයන් අසාධාරණයට ලක්කිරීමට නොකළ යුතුයි. මොකද අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් පෞද්ගලික අංශය තමා ආනයනය කරන්නේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු පවසන්නේ ගෙවුණු වසරට සාපේක්ෂව මේ අවුරුද්දේ 3 කාර්තුවේදී අත්‍යවශ්‍ය ආහාර ආනයනය සියයට පනහකින් පමණ අඩුව ඇති බවය. එම තත්ත්වය තම ව්‍යාපාර කටයුතුවලට ද අහිතකර ලෙස බලපා ඇතැයි ඔහු කියයි. ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වීම, වසර 3ක සිට රටට එක දිගට බලපා ඇති නියඟය නිසා කෘෂි ආර්ථිකය කඩා වැටීම ජනතාවගේ ආදායම අඩුවීම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔහු කියයි. පවතින අහිතකර තත්ත්වය උග්‍රවීමට තවත් හේතුවක් වී ඇත්තේ වර්තමානයේ රටේ පවතින දේශපාලන වාතාවරණය වේ.
“සාමාන්‍ය මිනිස්සු බලන්නේ රටේ පාර්ලිමේන්තුව කැඳවීම, අගමැති පත්කිරීම ආදී කරුණු දෙස නොවෙයි. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ තුන්වේල කාලා ජීවත් වීමටයි. එහෙත් අද ඒ හැකියාව ද ඔවුන්ට නැති වෙලා. එසේම පසුගිය කාලයේ රටේ ඇති වූ නියඟය ගොවි ජනතාවට පමණක් නොවෙයි විවිධ අංශවලට බලපෑවා. කෘෂිකර්මය කඩාගෙන වැටීම ගොවියන්ගෙන් පටන්ගෙන ඒ අනුසාරයෙන් ජීවත්වන විවිධ ක්ෂේත්‍රවලට බලපානවා. වී නිෂ්පාදකයන්, සහල් නිෂ්පාදකයන්, සහල් ආශ්‍රිත කර්මාන්ත කරන අය, වෙළෙඳුන් මේ ආදී වශයෙන් බොහෝ දෙනකුට බලපාන බව කිය යුතුය. නියඟය නිසා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ බොහෝ අයට ආදායම් නැති වුණා. තැඹිලි ගෙඩිය, පොල් ගෙඩිය රුපියල් 100 දක්වා මිල ඉහළ යාමෙන් ඒ ආශ්‍රිතව ආදායම් ලැබූ අය විපතට පත්වුණා. ඒ අතරේ රජය සුළු ව්‍යාපාරිකයන්ට අධික ලෙස බදු ගැහුවා. තැඹිලි කපන මිනිහට පවා බදු ගෙවන්න සිදුවුණා. මෙය හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්.
සීනිවලට බදු ගහලා සීනි මිල පාලනය කිරීමෙන් ව්‍යාපාරිකයන් අමාරුවේ වැටුණා. සීනි ආශ්‍රයෙන් කී දෙනෙක් යැපෙනවාද? මේවා සෘජුවම පුංචි ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට දැනෙන ප්‍රශ්නයි. අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගැහිල්ල නිසා ඒවා ආනයනය සීමා වුණා. අමාරුවෙන් හරි ගෙනාවත් ආණ්ඩුව කියන ගණන්වලට අලෙවි කරන්න බැහැ. මේ නිසා පාරිභෝගිකයන්ට ද සල්ලි දීලාවත් මිලදී ගන්න ලැබුණේ නැහැ. ආණ්ඩුවට බදු ගෙවලා ඒ අය කියන ගණන්වලට අලෙවි කරන්න බැහැ. මොකද ආනයනකරුවන් නෙවෙයිනේ භාණ්ඩ අලෙවි කරන්නේ. තොග වෙළෙඳුන් - සිල්ලර වෙළෙඳුන්. ඉතින් මේ අය සුළු ලාභයක් හෝ තබාගෙනයි විකුණන්නේ. ඒත් කියන මිලට දෙන්න අමාරුයි. මේ නිසා වෙළෙඳ ක්ෂේත්‍රවල සිටි අය වෙනත් රැකියාවලට ගියා.
එසේම රවී කරුණානායක මුදල් ඇමැති වුණාට පසුව සුපිරි වෙළෙඳසල්වලට දී තිබූ සහන තවත් වැඩි කළා. ඒ අය කෙළින්ම ආනයනය කරනවා. එසේම දේශීය ද්‍රව්‍ය එම ස්ථානවලට ගොස් මිලදී ගන්නවා. ඒ හින්දා ඒ අයට අපේ සාමන්‍ය වෙළෙඳුන්ට වඩා අඩු මිලට බඩු අලෙවි කළ හැකියි. මේ තත්ත්වය නිසා ගමේ පුංචි වෙළෙඳසල් වැසී ගියා. එසේම ක්‍රෙඩිට් කාඩ් ආදියට බඩු අලෙවි කිරීම, ඩිස්කවුන්ට් දීම නිසා පාරිභෝගිකයත් ඒ පැත්තට ඇදිලා යාම වැඩි වුණා. මෙම වාතාවරණය මත අප වැනි ආනයනකරුවන්ගේ ආනයන සීමා කරන්නට සිදුවුණා. ඒ නිසා පාරිභෝගිකයන් අසීරුතාවයට පත්වුණා.
එසේම ජනතාවට අත්‍යවශ්‍ය දේවල් පවා ගන්නට පවා පසුගිය සමයේ මුදල් තිබුණේ නැහැ. ඒ අයගේ ආදායම පහළ ගියා. රැකියා අඩුවුණා. මුදල් ගැවසීම අඩුවීම නිසා ඉල්ලුම පහළ බැස්සා. එය සමස්ත වාණිජ ව්‍යාපාර ක්ෂේත්‍රයටම අහිතකරව බලපෑවා. අනික් අතට ජනතාවට අවශ්‍ය කරන රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික උපකරණ, පාවහන්, පළතුරු, විවිධ ආහාර වර්ග ගෙන්වීම පහළ ගියා. එයින් එම ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන් අමාරුවේ වැටුණා.
මේ වනවිට රටේ ඇතිව ඇති අර්බුදකාරී වාතාවරණය ජනතාවට විශාල හිරිහැරයක් වෙලා. සැමගේම අවධානය යොමුව ඇත්තේ ජනතාව ජීවත්කරවීම සඳහා නෙවෙයි. වෙනත් පරමාර්ථ උදෙසායි. මේ නිසා රටේ වෙළෙඳපොළ උඩු යටිකුරු වෙලා. ආනයනට කරන අය ආනයනය අඩු කරලා ඇත්තේ ගෙනෙන දේවල් විකුණාගන්න බැරි වේය කියලා බය නිසයි. රටේ වාණිජ හා ආනයන ප්‍රතිපත්තියක් නැති නිසා වැඩිපුර ගෙනත් ගබඩා කර තබාගන්න බයයි. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් වුණත් ඉදිරියේදී හිඟ වෙන්න පුළුවන්.
►යසවර්ධන රුද්රිගු