2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අධ්‍යාපන සමූපේ කඹ ඇදිල්ල

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

අධ්‍යාපන සමූපකාරය වශයෙන් පොදු වහරේ ඇති සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ගුරුවරු ඇතුළු සියලු පිරිස් සාමාජිකත්වය දරති. අසූ අට වසරක් පැරණි මෙම සංගමයේ 182,500ක් ඉක්මවූ සාමාජිකයන් සතු මුදල් වංචාවට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රමුඛ “අපේ කණ්ඩායම” නමින් හඳුන්වන පිරිස පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණටත් වගකීමක් පවතින බව අධ්‍යාපන සමූපකාරය රැකගැනීමේ ගුරු පෙරමුණ චෝදනා කරයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීවරයකු නිසා මෙකී මූල්‍ය වංචාවට ජනතා විමුක්ති පෙරමුණෙන් විමර්ශනයක් සිදු කිරීම සුදුසු බව අධ්‍යාපන සමූපකාරය රැකගැනීමේ ගුරු පෙරමුණ කැඳවුම්කරු රොෂාන් ප්‍රියන්ත ප්‍රේමසිරි මහතා පවසයි. අධ්‍යාපන සමූපකාරය තුළ මතුව ඇති අර්බුදය හා මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සූදානම්ව සිටින රොෂාන් ප්‍රේමසිරි පවසන්නේ එම සමිතියේ සභාපතිවරයා සම්බන්ධයෙන් තමාට බරපතළ විවේචනයක් ඇති බවය.

2018 මාර්තු 2 වැනිදා වනවිට සමිතියේ ලියාපදිංචි සාමාජිකයන් ගණන 182,500කි. එක් සාමාජිකයකුගෙන් අයකරන මාසික වාරික මුදල රුපියල් 455කි. ඒ අනුව මාසිකව අධ්‍යාපන සමූපකාර අරමුදල වෙත ඒකරාශී වන මුදල රුපියල් 83,037,500ක් පමණය. එනම් කෝටි 08කට අධිකය. මේ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත පිරිස් වෙත සැලසෙන මූල්‍ය පහසුකම් රාශියකි. ක්ෂණික ණය, භාණ්ඩ ණය, ආපකර ණය, දේපල ණය ආදී වශයෙන් මුදල් පහසුකම් ලබාදීම මෙමඟින් සිදුවේ. ඊට අමතරව වෛද්‍යාධාර වශයෙන් මුදල් ලබාදෙන අතර ඇස් කණ්ණාඩි සඳහා මුදල් ගෙවීම ප්‍රධානය. මේ ආකාරයට ගොඩනැගී ක්‍රියාත්මක වන අධ්‍යාපන සමූපකාර දකුණු ආසියාවේ විශාලතම සමූපකාර සමිතිය වශයෙන් ප්‍රසිද්ධය.

සමිතියේ වර්තමාන පාලනය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “අපේ කණ්ඩායම” විසිනි. මෙහි මහ සභාවේ සාමාජිකයන් 214කින් සමන්විත වන අතර ඉන් 191 දෙනකු අපේ කණ්ඩායම නියෝජනය කරන බවත් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයේ පිරිස බවත් රොෂාන් ප්‍රේමසිරි මහතා පවසයි.

ආයතනයේ පැවැති නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට සහභාගී වී ඇත්තේ සමස්ත සාමාජික පිරිසෙන් 16%ක් පමණක් යැයිද එසේ සිදුකර ඇත්තේ විවිධ අක්‍රමිකතා රැසක් සිදු කිරීම හේතුවෙන් බවද කියති. ඒ අනුව 84% සාමාජික පිරිසක් ඡන්දය ලබා නොදී සිටි අතර ඔවුන්ට ඡන්ද පත්‍රිකා හෝ ලබා නොදුන් බවට රොෂාන් ප්‍රේමසිරි මහතා චෝදනා කරයි. මෙසේ පත්වූ පිරිස විවිධ අක්‍රමිකතා සිදුකිරීම අරඹා තිබිණ. එහි පළමුවැන්න ණය පියවීමේදී සිදු කරන ලිහිල් වෙනස්කම්ය. ඒ අනුව ණය මුදලක් ලබාගන්නා ගුරුවරුන්ට පොලිය 4%ක් ලෙස අඩු කිරීමට ද පොරොන්දු වී තිබේ.
නමුත් පොලිය අඩු කෙරුණේ 6% දක්වා පමණි. එක් ඉල්ලුම්කරුවකුට ඇපකරුවන් 3ක් අවශ්‍ය වීම 4 දක්වා ඉහළ නංවා තිබේ. එහිදී නිලධාරීන් සහ ඔවුන්ගේ හිතවතුන්ට හැකි ඉක්මනින් ණය ප්‍රදානය කිරීම සිදු කිරීමට පියවර ගෙන තිබුණි. එතෙක් රුපියල් මිලියන 1500ක්ව පැවති සමිතියේ වත්කම රුපියල් මිලියන 200ක් තරම් පහළට වැටුණේ මේ අනුව බව සඳහන්ය. නිලධාරීන්ගේ හිතවතුන්ට ණය මුදල් ප්‍රදානය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ සෙසු පිරිස ණය ඉල්ලුම්පත් රාශියක් යොමු කිරීමට කටයුතු කර තිබූ අතර ඒවා ගෙවීමට ප්‍රමාණවත් මුදලක් සමිතිය සතුව නොතිබුණි.

මෙහිදී නිලධාරීන් ක්‍රියාකර තිබුණේ ණය වාරික පොලිය 8% දක්වා ඉහළ නැංවීමය. දේපල ණය ගෙවීම සීමා කිරීම, ලක්ෂ 20ක ණය මුදල ලබා ගැනීමේ සාමාජික කාලය වසර 20ක් සපුරා තිබිය යුතු බවට පත්කිරීම සහ කාලය ඊට අඩුනම් ණය නිකුතුව අඩු කිරීමට ද පියවර ගෙන තිබුණි. මේ හේතු නිසා වර්තමානයේ ඇපකර ණයක් ලබාගැනීමට වර්ෂ එකහමාරක් පමණ බලා සිටිය යුතු බව රොෂාන් ප්‍රේමසිරි කියයි. ලබාගත් ණය මුදලක් තිබියදී නැවත ණයක් ඉල්ලුම් කිරීමේදී පෙර මුදල අඩුවන ලෙස ඉල්ලීමට තිබූ හැකියාව මේ නිලධාරීන් විසින් නවතා දමා ඇතැයි කියති. දැනට ලබාදීම සිදු කරන්නේ 8%ක පොලිය යටතේ භාණ්ඩ ණයක් පමණි. ඒ සඳහා පොරොත්තු ලැයිස්තුවේ කාලයක් සිටීමට සිදුව ඇතැයි ද කියති.

ගුරුවරුන්ගේ සහ සාමාජිකයන්ගේ මරණවලින් මුදල් වංචා කිරීමක් සිදු කර ඇතැයි ද චෝදනාවක් තිබේ. රුපියල් මිලියන 65ක් ගෙවමින් සමූපකාර රක්ෂණ සමාගම යටතේ රක්ෂණාවරණයක් ලබාගෙන ඇති අතර එය වසරක් සඳහා ගෙවූ මුදලකි. මේ අනාවරණය පෙන්වමින් සාමාජිකයන්ට සාමාජිකත්වයෙන් ඉවත් වන විටෙක හෝ නැවත ගෙවන රු. 10,000ක මුදලක් අයකිරීමට තීරණය කර ඇති අතර එසේ ගෙවන පිරිසට පමණක් ඉහත රක්ෂණ ආවරණය ලබාදෙන බවද ප්‍රකාශ කර තිබේ. එය වාරික 5කින් හෝ තනි වාරිකයකින් ගෙවිය හැකි බවද දක්වා ඇත. මෙය සම්පූර්ණයෙන්ම වංචනික සිද්ධියක් බව රොෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කරයි. එමෙන්ම ඉහත සඳහන් කළ මිලියන 65 ගෙවීමේදී ඊට අදාළව විශාල කොමිස් මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අයකු විසින් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

මේ තත්ත්වය මත නිලධාරීන් විසින් මහජන බැංකුව හරහා මිලියන 1000ක ණය මුදලක් ලබාගෙන ඇත්තේ 13.5%ක පොලියකටය. එම මුදල සාමාජිකයන්ට ලබාදීමට පියවර ගෙන ඇත්තේ 8%ක පොලිය මතය. මේ හේතුවෙන් සමිතියට සිදුවන පොලී අලාභය 5%කි. මේ හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව අධ්‍යාපන සමූපකාරය රැකගැනීමේ ගුරු පෙරමුණ කැඳවුම්කරු රොෂාන් ප්‍රියන්ත ප්‍රේමසිරි මහතා පවසයි.

මේ වනවිට අධ්‍යාපන සමූපකාරයේ මිලියන 1300ක පමණ මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත් සාමාජිකයන් සහ සේවකයන් අතර සිදුව ඇති බවත් සාමාජිකයන් සහ සේවකයන් අතර බරපතළ ගැටලු උද්ගතව ඇති බවත් එමඟින් කඩා වැටීමට ලක්ව ඇති අධ්‍යාපන සමූපකාරය රැකගැනීම සඳහා අවශ්‍ය අධිකරණ පියවර මේ වනවිටත් ගනිමින් සිටින බවත් රොෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

 

අපට එරෙහිව බොරු චෝදනා කරනවා
අධ්‍යාපන සමූපකාර සමිතියේ සභාපති ලාල් කුමාර

2016 වර්ෂයේ නිලවරණයක් තිබුණා. ඒකෙන් මහසභා නියෝජිතයෝ තේරුවා. අධ්‍යක්ෂ මණ්ඩලය තේරුවේ ඒ අයගෙන්. මේ මැතිවරණයට රොෂාන් මහත්මයා ඉදිරිපත් වුණා. එයා පරාද වුණා. ඒකේ වේදනාවකුත් ඇතිනේ. එතනින් තමයි මේක ආරම්භ වෙන්නේ. මහ සභා නියෝජිතයෝ 317ක් තෝරාගත් ඡන්දයෙන් 292ක්ම අපි දිනුවා රට පුරාම. පළාත් 9ම නියෝජිතයෝ අපෙන් පත්වුණා. මේ සම්බන්ධයෙන් ඒ පිරිසට විරෝධයක් තිබුණා. අධිකරණයට අවශ්‍ය තොරතුරු පවා මේ අය වසන් කරලා ඉදිරිපත් කරන්නේ.

අපි සාමාජිකයන්ට අලුත් මරණාධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඉස්සර සහනාධාර ලැබුණේ රු.10,000යි. නව ක්‍රමයෙන් රු.100,000ක් දෙන්න සලසා තියෙනවා.

මේ කටයුත්ත සමූපකාර රක්ෂණ සමාගම එක්ක එකතු වෙලයි කළේ. අන්න ඒක වැරදි විදිහටයි මේ අය දකින්නේ. ඒක සාමාජිකයන්ට පාඩුයි කියලා මේ අය කියනවා. මේ කතාව පට්ට බොරුවක්. මූල්‍ය වංචා කතා බොරු. ගිය ආණ්ඩුව කාළේ සමිතියේ සාමාජික බලය උදුරගෙන අතුරු පාලන මණ්ඩලයක් දැම්මා. එහෙම අවුරුදු 5ක්ම නීති විරෝධී විදිහට ගියා. මිනිස්සු ණය ගත්තේ නෑ. පොලිය වැඩි නිසා. අපි ඇවිත් පොලී දීලා ණය දුන්නා. ඉතින් ණය ඉල්ලීම වැඩි වුණා. සාමාජික සල්ලි නිසා ණය නොදීම වැරදියි. මෙතන වත්කම මිලියන 1600ක් විතර තිබුණා. ඒ සියල්ලම මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු දාලා තිබුණේ අඩු පොලියට. හැබැයි සාමාජිකයන්ට ණය දීලා ලැබෙන පොලිය ඊට වඩා වැඩියි.

බැංකුවේ තිබුණේ හීන වන ශේෂයට 6% 7% පොලියට. ඒක අරගෙන අපි ණය දුන්නා. ආරක්ෂක තැන්පත් ප්‍රමාණය තවමත් එතැන තියනවා. සාමාජික මුදල් නොදී රඳවා තිකයෙනවානම් ඒක මුදල් ආවභාවිතයක්. කලින් හිටපු අය එහෙම කළා. අපි ඒක නිවැරදි කළා. කලින් බැංකුවේ දාලා තිබුණු විදිහට පාඩුව බැලුවම මිලියන600ක් විතර වෙනවා. අපි මේවට සම්බන්ධ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. එක් අයෙක්ගේ වැඩ තහනමට ලක්කරලා තියෙනවා. සමහර රොෂාන් මහත්මයාගේ හිතවතුන්. ඒ අය මේකට විරුද්ධ නිසා වෙනත් මාර්ග මඟින් කටයුතු කරනවා. කොහොම නමුත් මේකේ ඇත්ත ළඟදිම හෙළිදරව් වෙයි. 

 සමන්ත ප්‍රදීප් විල්තෙර