
ඔහුගේ වාසනාව සැඟව තිබුණේ මුහුදු පතුලේය. දිවයිනේ සංචාරක කර්මාන්ත යහමින් පැවති දකුණු වෙරළේ ගමන් උපන් ඔහු සමාන්‍ය පවුලක තරුණයෙක් විය. වාසනාව සොයා ගැඹුරු මුහුදේ බඹ ගණන් යට කිමිද ගිය ඔහුගේ ජීවිත වෘත්තාන්තය ඔබට කීමට තරම් රසවත් බැව් අපට ආරංචියක් ලැබුණි. එක්තරා සැඳෑවක අප ඔහු සොයා ඔහුගේ නිවසට ගොඩ වැදුණේ මේ කතාව දැන කියා ගන්නටයි. අප කතානායක නමින් රෝහිත ඉන්දික සිල්වා ය. හිතමිතුරු සැම ඔහු හඳුනන්නේ රෝයි යන ආදරණීය කෙටි නමිනි.
නිවසට ගොඩ වූ අපි හරි බරි ගැසී සැපපහසු අසුනක හිඳගතිමු. පිළිසඳර ඇරඹිණි. ඔහු කිමිදුම්කරැවෙකි. කිමිදුම් පුහුණු පාසලක පුහුණු උපදේශකයෙකි. ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සංගම් කිහිපයක සාමාජිකත්වය දරන ජාත්‍යන්තර ප්‍රමිතියේ උපදේශකයෙකි. අද දවසේ තම ආදරණීය බිරිඳත් සෙනෙහෙබර පුතුත් සමඟ ඉසුරුමත් දිවියක් ගතකරන මේ මිනිසා ගෙවා ආ ගමනේ බෝහෝ ගිරිදුර්ග කටු අකුල් තිබිණි. මහ මුහුදේ ගැඹුරු පතුලේ සොඳුරු රසවත් මතක විය. ඉඳින් අතීතයේ තැනකින් අප කතාව ඇරඹුවෙමු.
“මම දෙදහස් තුනේ තමයි මුලින්ම ඔය වගේ දෙයකට වැඩට ගියේ. ඒ බෝට් හෙල්පර් කෙනෙක් විදිහට රුපියල් එක්දහස් පන්සීයක පඩියකට. කවුරුත් එහෙම යන්නේ ගෙස්ට්ලා සෙට් කරගෙන රට යන්න බලාගෙන. මාත් එහෙමයි. මම ඉතාලි යන්න තමා බලාගෙන හිටියේ. සුද්දෝ තමයි ඉන්ස්ට්‍රක්ටස්ලා විදිහට හිටියේ. කොහොම හරි මම ඉන්න ගමන් මට ඉන්ට්‍රස්ට් වුණා සබ්ජෙක්ට් එක. ඔය සුද්දෝ දාලා යන පොත් අනම් මනම් බලලා.”

ඔහු මේ ගමන අත්පොත් තබන්නේ එතැනින්ය. ටැංකිවලට ඔක්සිජන් පුරවමින් ටැංකි එහෙ මෙහෙ අදිමින් රැකියාව ඇරඹූ රෝහිතටද වූයේ සංචාරක වෙරළ තීරයේ තාරුණ්‍යයේ පොදු සිහිනයි. මේ අතර කාලයේ එය යම් පමණකට ප්‍රතිඵල ලබා විදෙස් මිතුරන්ගේ උදව්වෙන් ජර්මන් සංචාරකයට ඔහුට මඟ පෑදෙයි. එහෙත් ඒ වනවිට නව රැකියාව වෙනුවෙන් අලුත් සිහිනයක් ඔහු සිතේ දලුලා තිබිණි. විදෙස් මිතුරන් ඇසුරේ වූ හිතවත්කම් නිසාවෙන්ම නැවත මෙරට පැමිණි පසුව රෝයිට සිය සිහින ලුහුබැඳ යන්නට ඉඩ ලැබිණි. දක්ෂ තරුණයකු වූ රෝහිතට යෙස්පිලෝන් නම් දිවයිනේ ප්‍රකට කිමිදුම් පුහුණු පාසල තුළ ඉදිරි ගමනක් විය. ඕපන් වෝටර් නම් පාඨමාලාව මේ ගමනේ පළමු කඩඉමය. ත්‍රිකුණාමලයේදී එක කඩයිමක් ජයගත් රෝහිතට ඉදිරි පියවර තැබීම පහසු වූයේ නැත. ඉංග්‍රීසි භාෂා දැනුම මෙන්ම මිල මුදල් ද මීළඟ අදියරට බාධාවක් විය. මුහුදු යට ලෝකයට පෙම්බැඳි මේ අපූරු තරුණයා සිය ගමන අතහැරියේ නැත.
“මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එස්.එම්.එස්. වලින්. මැසේජ් එකක් කවුරු හරි එව්වාම පස්සේ මං ඒක පොතක් අරන් ලියාගන්නවා. ඊට පස්සේ ආයේ මැසේජ් ගහනකොට ඔය ටික ඔක්කොම එකතුකරලා කෑලි හදලා තමා ලියන්නේ. කොහොම හරි කතා කළා. දන්නැති දේවල වචන එහෙම අහන්න පුළුවන් කෙනෙක්ගෙන් ඇහුවා. ගොඩක් මැඩම්ගෙන් එහෙම ඇහුවා. පස්සේ මට මැඩම් ලොකු ඩික්ෂනරියක් ගෙනත් දුන්නා. ඇත්තටම මම ගුරැවරුන්ගෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන නෑ. ඒත් මං දැන් ලියනවා, කියවනවා.” සාමාන්‍ය පෙළ කඩයිමෙන් පාසල් ගමන නැවැත් වූ රෝහිත අද සංචාරකයන්ට උපදේශක පාඨමාලා පවත්වන්නේ ඉංග්‍රීසියෙනි. තවද ජර්මන් භාෂාව හැසිරවීමටද ප්‍රමාණවත් දැනුමක් ඔහු සතුය.
අපි නැවත කතාවට පැමිණෙමු. ඉංග්‍රීසි කඩඉම ක්‍රමයෙන් ජයගන්නට වෙරදරන රෝයිට කිමිදුම් සිහිනයේ මීළඟ අදියර වූ ඩයිවින් මාස්ටර් පාඨමාලාව වෙනුවෙන් විදෙස් මිතුරන් උපකාර ලැබුණි. වාසනාව ඔහු හැර නොගියේය. එම කඩුල්ලද පැනගන්න ඔහු වැඩි වැටුපක් වෙනුවෙන් නව සුදුසුකම් සමඟ විදෙස් ගතවන්නට වරම් ලැබුණි. එවර ඔහු නතරවූයේ අබුඩාබිහීය. එය ඔහුගේ තවත් හැරවුම් ලක්ෂයක් විය.

රෝහිත ලංකාවේදී දුටු ඩයිවින් සෙන්ටර් දෙස බලද්දී නව ගමනේදී ඔහු දුටුවේ තක්ෂණයෙන් සහ පහසුකම්වලින් අනූන නව ලෝකයකි. ඕමානයේ මුස්ම්ඩෑම් නම් කඳු ආශ්‍රිතව ඔහුගේ නව නවාතැන පිහිටා තිබුණි. එය කිමිදුම් පාරාදීසයකි. මුස්ම්ඩෑම් කඳුවල ආනතිය සාගර පතුළ දක්වා දිවයයි. නව කිමිදුම් මධ්‍යස්ථානයේ ඉන්ස්ට්‍රක්ටර් ලෙස කටයුතු කළේ ප්‍රංශ ජාතික තරුණියකි. රෝහිත එහි ඩයිවින් මාස්ටර් විය. නමුත් නොසිතූ විරූ අවුලක රෝහිත පැටලුණි. මෙහිදී ලංකාවේ මෙන් නොව ඉන්ස්ට්‍රක්ටර්වරයා උගන්වන විට න්‍යායාත්මක දැනුමෙන් ඩයිවින් මාස්ටර් ලෙස රෝයිටද ඉගැන්වීමට සිදුවිය. එහෙත් අවාසනාවකි. අප කතානායක රෝහිත ඊට සූදානම් සිටියේ නැත.
►ක්ලාස් එකට දාල මට උගන්වන්න කිව්වා මට. දැන් හරියන්නේ නෑ. මගේ වයසේ ප්‍රංශ ගැහැනු කෙනෙක් හිටියේ. මං කිව්වා මට බෑ, මං ලංකාවට යනවා කියලා. එතකොට මට කිව්වා උඹේ ගයිඩින් පැට්‍රිකල් හැමදේම හොඳයි, ඒත් උඹ ඉගෙනගන්න ඕනා කියලා. ඒත් මං කිව්වා මට බෑ මං ලංකාවට යනවා කියලා. කොහොම හරි අපි එක එපාට්මන්ට් එකේ හිටියේ. ආයේ මට කතාකරලා ඇහුවා උඹ යන්නද ඉගෙනගන්නද ආස කියලා. මං කිව්වා අන්තිමට ඉගෙනගන්න ආසයි කියලා. ඊටපස්සේ මට මුල ඉඳලා කියලා දුන්නා. තියරි සබ්ජෙක් එක. ඊටපස්සේ ඇසිස්ටන් ඉන්ස්ට්‍රක්ටර් වෙනකල් ඉගෙන්වූයේ ඒ ඉන්ස්ට්‍රක්ටර්ම තමයි. පස්සේ මං මෙහෙට ඇවිල්ල වැඩ කරනකොට සිම්පල්, හොඳ තියරි.”
තම ජීවිතය දුටු සුන්දර සාගර දසුන් මේ මුසම්ඩෑම් කඳුතීරය සහිත වෙරළේ වූ බව රෝහිත අපට කියයි. ගොඩබිම සිට මහ මුහුද දක්වා දිවෙන මේ අපූරු සාගර කලාපයේ දිනක් රාත්‍රියේදී හදිසියේ ඔහුට ගැඹුරු මුහුදේ මීටර් හතළිහක පමණ කිමිදීමට යාමට සිදුවෙයි. එම ගමනට දක්ෂ ප්‍රංශ නාවික හමුදා කිමිදුම්කරුවෙක්, දකුණු අප්‍රිකානු ගුවන් නියමුවකු, ලෙබනන් ජාතිකයකු ඇතුළු පස්දෙනෙකු සභාගී වී ඇත. ප්‍රංශ මිතුරාගේ ඉල්ලීම පරිදි ගමනේ ගැඹුර මීටර් පනස් පහක් දිගුකිරීම හේතුවෙන් විසල් අනතුරක් සිදුවන්නට ගොස් පිරිස බේරී ඇත්තේ අනූනවයෙනි. ඒ කතාව ඔහුගේ නොමැකෙන මතක අතර ඇත.

බොහෝ කාලවේලාව ගතවී ඇත. ඔබට සහ මුහුදු නොබට අපට විෂයානු බද්ධ දැනුමක් ලැබී ඇත. ඒ සියල්ල ලිවිය යුතුය. නමුත් ඉඩකඩ කාලය ඊට හරස්වෙයි. අප කෙමෙන් කතාවේ අවසාන අදියර ළඟාවෙමු. මැදපෙරදිග ගමනේ යමක්කමක් උපයාගෙන දැනුමෙන් සරි වී රෝහිත නැවත මවුරටට ආවේය. නැවත හුරුපුරුදු කිමිදුම් මධ්‍යස්ථානයේම ඉහළ වැටුපක් සමඟ ඔහුට රැකියාව ලැබුණි. කලක් මෙලෙස වැඩකරන අතරතුර මෙහි හිමිකාර විදෙස් කත ඔහුට දැන් ඉන්ස්ට්‍රක්ටවරයෙක් දක්වා ඉගැන්වීමට කාලය පැමිණ ඇති වග සිහිකළේය. මෙවර ඔහුට එම අවස්ථාව උදාවූයේ ආයතනය හරහා බව ඔහු ස්තූතියි පූර්වකව සිහිපත් කරයි. මේ සඳහා ඔහු බාලි දූපත්වලට යා යුතු විය. ඊට පෙර ඊට අවශ්‍ය දැනුම හා ඉංග්‍රීසි භාෂ දැනුම ලැබුණෙ ආයතනයේ හිමිකාරීත්වය දැරූ විදෙස් කතගෙන්ය. සියල්ලට සූදානමින් රෝහිත බාලි බලා පිටත්වුවද එහි එම පාඨමාලා ඔහුට අභියෝගයක් විය. එයද ජය ගත නොහැකි අභියෝගයක් ලෙස ඔහුට හැඟිණි. පැමිණි බොහෝදෙනා විෂය ක්‍රමවත්ව උගත්තෝය. තම තමන්ව හඳුන්වාදීමේ වාරයේදී ඔවුන් කී දෑ අනුව රෝහිතට මේ බව වැටහිණ. තමන් ආ ගමන ගැන රෝහිත සත්‍යය පැවසීය. ඔහු සූදානම් වූයේ නැවත හැරී යන්නටය. පාඨමාලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මැලේසියානු ජාතිකයා සැඳෑවක තේ පානයට ඔහු කැඳවා දිරිගැන්වීය. අවසානයේ ඔහු ඒ අභියෝගය ද බාර ගත්තේය.
“අනික් අය ක්ලාස් ඉවරවෙලා යනවා පහට. මට උගන්නනවා රෑ එකොළහ වෙනකල්. කෑගහනවා බණිනවා ආයේ ඇවිත් උගන්නනවා. කොහොම හරි මට පරණ අවුරුදු පහක විතර එකම පේපර් ගොඩක් කෙරෙව්වා. උත්තර ඔළුවට දැම්මා අන්තිමට ගොඩක් විෂයන්වලට ලකුණු අනූවට වඩා තිබ්බා.”
ඒ බාලි දූපත්වල ඔහු ගතකළ කාලය පිළිබඳව කතාව ඔබට කීවේ සැකෙවිණි. නැවත ඔහු ලංකාවට ආවේ ඉන්ස්ට්‍රක්ටර්වරයෙක් ලෙසය. අද ඔහු සැලකිය යුතු වැටුපක් ලබමින් පෙර කී ලෙස ඉසුරුමත් ජීවිතයක් ගත කරයි. ත්‍රිකුණාමල වෙරළේ හා දකුණේ වෙරළේ ප්‍රධාන පෙළේ කිමිදුම් මධ්‍යස්ථානයක රාජකාරි කරයි. ඔහු දුටු ත්‍රිකුණාමල මුහුදු පතුළේ ගිලුණු නැව් කොරල්වල මනරම් දර්ශනයන්ගේ විචිත්‍රත්වය ගැන පුවත්, කතා බොහෝය. එහෙත් දැන් රෑ බෝවී ඇත. අප නික්ම යා යුතුය.
(රෝහිතගේ මුහුදු පතුලේ අත්දැකීම් සමඟ තවත් කොටසක් ලබන සතියට)
►චමිඳු නිසල් ද සිල්වා