
අගමැති ඉවත්කිරීම නිසා සියලු සම්බාධක ඉවත්වූවා යැයි රතිඤ්ඤා දල්වා කිරිබත් කෑ සාමාන්‍ය ජනතාව උද්වේගකාරී ලෙස හැසිරුණ ද එතැනින් එහාට සිදුවිය හැකි ගැටලු පිළිබඳ අවබෝධයක් ඔවුනට නැත. ඔවුන් බලාසිටින්නේ ජීවන වියදම වැඩි වීම වැනි ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට ආණ්ඩුව තුළින් සහනයක් ලැබී තම ජීවිත යම්තරමකට හෝ යහපත් තත්ත්වයකට පත්වන තුරුය. ඇත්තටම මෙම අහිංසක අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමට හැකිවේද යන්න පිළිබඳ පවතින්නේ දෙගිඩියාවකි.
ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත්වීමට නම් රටේ සමස්ත ආර්ථිකය හොඳවිය යුතුය. එහෙත් මේ වනවිට ඒ පිළිබඳ නිසි වැඩපිළිවෙළක් දියත්වී නොමැති අතර ආණ්ඩුව කර ඇත්තේ ඉන්ධන මිල සූත්‍රය අහෝසිකර ඉන්ධන මිල තරමක් පහළ හෙළීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල සුළු වශයෙන් පහළ දැමීම, දුරකතන බදු අඩු කිරීම, රෙදිපිළි වැට් බදු ඉවත් කිරීම, බැංකු බදු අහෝසි කිරීම, පොහොර සහනාධාරය වැඩි කිරීම හා සමෘද්ධිලාභීන්ගේ ණය අත්තිකාරම් වැඩිකිරීම ආදී වශයෙන් ජනතාවට ඍජුව බලපාන ක්ෂේත්‍ර සඳහා සහන සැලසීය. පවතින තත්ත්වය හමුවේ ජනතාව සතුටු කිරීමට මෙම පියවර ගත්තද ඒවා දිගටම පවත්වාගෙන යාහැකිවේද යන්න පිළිබඳ පවතින්නේ ප්‍රශ්නාර්ථයක් පමණි. පසුගිය ආණ්ඩුවට කිරීමට නොහැකි වූ මෙම සහන පිරිනැමීමට මහින්ද රාජපක්ෂ අගමැති වූ සැණෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබුණේ කෙසේද යන්න ගැටලුවකි. මෙම පැවැත්ම සනාථකර ගැනීම හැරුණු විට ඒ පිළිබඳ ආණ්ඩුවට දීර්ඝකාලීනව කෙසේවෙතත් කෙටිකාලීන හෝ සැලසුමක් ඇතිබවක් පෙනෙන්නට නැත. එසේම මෙම සහන පැකේජය ක්‍රියාත්මක වන්නේ ජනවාරි 13 සිට බව ආණ්ඩුව කියයි. එයට හේතුව ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කළයුතු බැවිනි.
2015 ජනවාරි 08 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම දින 100ක වැඩසටහනක් ප්‍රසිද්ධ කර ජනතාවගේ දැවෙන ගැටලුවලට විසඳුම් සෙවූ බව අපට මතකය. එහිදී ද සිදුකළේ ජනතාවට ඇඟට දැනෙන වෙනසක් ඇති කිරීමටයැයි පවසමින් ඔවුන් සතුටු කිරීමට ක්‍රියාකිරීම පමණකි. එම දින 100 වැඩසටහනට අඩංගු වූ ඇතැම් කරුණු යහපාලන ආණ්ඩුව අවසන් කරන තුරුම ක්‍රියාවට ගැනීමට නොහැකි වූ අතර ඉන්ධන මිල, බඩු මිල අඩු කිරීම ආදී සහන දිගටම පවත්වා ගෙනයාමට නොහැකි විය. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පැවසුවේ රටේ එකල පැවැති ආර්ථික අර්බුදය තව දුරටත් තීව්‍ර කිරීමට මෙම අදූරදර්ශී තීරණ හේතුවූ බවය. වර්තමාන රජය දැනට ප්‍රකාශ කර ඇති මෙම සහන ද එකම අච්චුවේ ඒවා බව බොහෝ දෙනාගේ වැටහීමය.
කෙසේ වුවද ඊයේ පෙරේදා සිදුවූ මෙම විපර්යාසය නිසා රටට සිදුවූ ආර්ථික හානි විශාල බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. රටේ සංචාරක ව්‍යාපාරය දුර්වල වීම, ආයෝජන ප්‍රාග්ධන රටින් පිටකර ගැනීමට ව්‍යාපාරිකයන් උනන්දුවීම, රටේ විදෙස් මූල්‍ය අංශය තවදුරටත් පිරිහීමට ලක්වීම, ඉදිරියේදී විදේශ ණය බර තවදුරටත් ඉහළ යාම, රුපියල දිගටම අවප්‍රමාණය වීම, එසේ සිදුවේයැයි උපකල්පනය කර අපනයනකරුවන් සහ විදේශවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම ආදායම රටට නොයවන විදේශ බැංකුවල රඳවා තබා ගැනීම. එසේම ශ්‍රී ලංකාව සංචාරයට අහිතකර රටක් බවට මතයක් ලොව පුරා පැතිරවීම ආදී විවිධ හානි අපට මේ වනවිටත් සිදුව තිබේ. මෙම හේතු නිසා ගෙවුම් ශේෂය පිරිහීම, කොටස් වෙළෙඳ පොළ කඩාවැටීම, රජයේ සුරැකුම්පත් සහ බැඳුම්කර වෙළෙඳපොළ හැකිලීම ආදී අතුරැ ප්‍රතිඵල ලැබී තිබේ. අපේ ගෙවුම් ශේෂය පසුගිය කාලයේ පිරිහෙමින් පැවති අතර එය යම් පමණකට හෝ යහපත් කිරීමට උත්සාහ කරමින් සිටියදී උද්ගතවූ මෙම අහිතකර වාතාවරණය සියලු උත්සහායන් නිශේධනය කිරීමට හේතුවී ඇත.

අද වනවිට අපට ගෙවීමට ඇති විදේශ ණය අමෙරිකානු ඩොලර් මිලියන 53487.28ක් බවට ගණනය කර තිබේ. රුපියල අවප්‍රමාණ වීම නිසා මෙම ණය සියයට 14කට වඩා ලියලා ඇති බව කියයි. අපේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 77.60ක්ව පවතින ණය ප්‍රමාණය සියයට 82ක තරමට ඉහළ නගිනු ඇතැයි අනතුරු හැඟවේ.
එසේම ඉන්ධන මිල පහළ දැමීම නිසා ඉන්ධන ඉල්ලුම වැඩිවීමෙන් ආනයන වියදම ඉහළ යයි. අපට දැනටමත් දරාගන්නට නොහැකි ඉන්ධන වියදම තවදුරටත් ඉහළ යන අතර එමගින් විශාල වශයෙන් ශ්‍රී ලංකා මුදල් පිටරටවලට ගලායාම සිදුවේ. දැනටමත් ඉන්ධන ආනයන වියදම රටේ සමස්ත ආනයන මිලෙන් 1/5ක් තරම් විශාලය. එසේම වාහන ආනයනයටද පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ආණ්ඩුව අදහස් කර ඇති බවද දැනගන්නට තිබේ. වාහන ආනයනකරැවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ පවසා ඇත්තේ පසුගිය ආණ්ඩුවේ දැඩි කොන්දේසි නිසා කඩාවැටී තිබූ වාහන ආනයනය යථාතත්ත්වයට පත්කර ගැනීමට මෙම රජයෙන් හැකිවන බව තම විශ්වාසය බවයි. ඒ අනුව වාහන ආනයන කොන්දේසි ආනයනයකරුවන්ගේ ඉල්ලීම අනුව ලිහිල් කළහොත් එයද විදේශ විනිමය අර්බුදය තීව්‍ර කිරීමට හේතුවනු ඇති බව ආර්ථික විද්වත්හු පවසති.
එසේම පවතින තත්ත්වය රටේ සංචාරක ව්‍යාපාරයට ද ඉතාම අහිතකර ලෙස බලපා තිබේ. විශේෂයෙන් පසුගිය මාසයේ අවසන් සතියේදී රට තුළ ඇති වූ දේශපාලන පෙරළිය නිසා විවිධ රටවල් සිය රටවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳ ලබාදුන් උපදෙස් පරිදි අපේ රටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතුවී තිබේ. පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සංචාරක මණ්ඩලයේ දත්ත අනුව 152429කි. මේ වසරේ ඔක්තෝබර් දක්වා කාලයේදී සංචාරක පැමිණීම 153123ක් වූ අතර එය සියයට 0.5ක ඉහළයාමක් බව පෙන්නුම් කෙරේ.
එසේ වුවද පසුගිය ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක පැමිණීම සලකා බලනවිට 2018 සැප්තැම්බර්වල එය සියයට 2.8කට පහළ බැස තිබේ. අගෝස්තු මාසයේ සියයට 4.9කි. එය මසක් තුළ අඩකට ආසන්නව අඩුව තිබේ. වර්ෂයේ වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී ඇත්තේ මාර්තු මස වන අතර එය සියයට 24.1කි. ඒ අනුව පහළ බැසීමේ ප්‍රමාණය මොනවට නිරෑපණය වන අතර ඔක්තෝබරය වනවිට තවත් පහළයාමට බොහෝදුරට ඉඩ ඇත්තේ බටහිර රටවල් අපේ රටට සංචාරකයන් එවීම පිළිබඳ දෙවරක් සිතන්නට පෙළඹී ඇති බැවිනි.
මේ පිළිබඳ පියවර ගත යුතු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අද වනවිට ප්‍රධානින් නැති ආයතනයක් බවට පත්ව අක්‍රීයව පවතී. එයට හේතුව එහි සභාපතිවරයා ඉල්ලා අස්වීමත්, කළමනාකාර අධ්‍යක්ෂ විශ්‍රාම ගොස් තිබීමත්ය. ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරක සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා ද 2019 දී ලක්ෂ 30කටද ඉහළ නංවාගැනීමට අපේක්ෂාවෙන් සිටියද අද පවතින වාතාවරණය මත එම බලාපොරොත්තුව බොඳවී යනු ඇතැයි දැනගන්නට තිබේ.
එසේම ශ්‍රී ලංකාවට ආධාර දෙන බටහිර රටවල් සමහරක් අපේ රටේ සිදුවූ මෙම විපර්යාසය පිළිබඳ තවමත් දැඩි විමසිල්ලෙන් පසුවන බවක් දක්නට ඇත. අපට බොහෝ ආධාර උපකාර කරන අසල්වැසි ඉන්දියාව පවා මේ වෙනස පිළිබඳ තවමත් අපට සුබපතා නොමැති අතර සිදුවන වෙනස්කම් පිළිබඳ අවධාරණයෙන් පසුවෙන බව ප්‍රකාශ කර තිබේ. ලොව දියුණුවෙමින් පවතින රටවලට ජාත්‍යන්තර සබඳතා නොමැතිව ස්වකීය අපේක්ෂා මුදුන්පත් කරගත නොහැකි බව කවුරැත් දන්නා සත්‍යයකි. එවැනි වාතාවරණයක අපට ද ජාත්‍යන්තරය සමඟ කිට්ටු සම්බන්ධයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බවට තර්කයක් නොමැත. එසේ වුවද හදිසියේ ඇති කළ වෙනස නිසා උද්දාමයට පත්ව ජාත්‍යන්තරය සමඟ ගැටීමට මඟසලසමින් ප්‍රකාශ නිකුත් කරන ඇතැම් මුරණ්ඩු දේශපාලනඥයන් නිසා අපට සිදුවන හානිය බලවත්ය. ඔවුන් දුරදිග නොබලා කියන කරන දේවල් පාලනය කිරීමට නායකයන් මැදිහත් වීමට අවශ්‍යවන්නේ එමගින් අපට සිදුවිය හැකි ආර්ථික හානිය අවම කරගැනීම අවශ්‍ය බැවිනි.
මෙම පරිවර්තනය අපේ විදේශ විනිමය අර්බුදය උග්‍රකිරීමට හේතුවී තිබෙන බව පෙනේ. මෙම බල වෙනස ඇතිවූ පළමු දින 4 තුළ පමණක් මෙරටින් පිටරටවලට ඇදීගිය විදේශ මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණය. වර්ෂයේ මුල් මාස නවයටම පිටරටට ඉවත්කර ගත් විදේශ මුදල් ප්‍රමාණය බිලියන 6.1ක් වීමෙන් මෙහි ඇති බලවත් හානිය නිරූපණය වේ. දේශපාලන අස්ථාවරභාවය සහිත රටකට ආයෝජකයන් නොපැමිණෙන අතර ආයෝජන ආරම්භ කර ඇති අය ඒවා ඉවත් කරගන්නා තත්ත්වයට පත්ව ඇත. පසුගිය සමයේ සිදුවූ එම ප්‍රවණතාව අද වනවිට වේගවත් වී ඇති අතර ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. කොටස් වෙළෙඳපොළ මුල් අවස්ථාවේ සුළු ප්‍රසාරණයක් දැක්වුවද මේ වනවිට පිරිවැටුම පහළ බසිමින් පවතී. මෙම තත්ත්වය ඉක්මනින් නිවැරදි විය යුතුය.
දැනට ණය අර්බුදයක ගිලී ඇති රටට ණය වාරික ගෙවීමට පවා යළි ණය ගැනීමට සිදුව ඇත. මෙම ණය ගත යුත්තේ ජාත්‍යන්තරවය. විදේශ රටවල් බොහෝ විට අපට සහන කොන්දේසි මත ණය සැපයූ අතර, මේ වනවිට එම සහන ක්‍රමයෙන් නොලැබෙන බවක් පසුගිය සමයේ පෙනෙන්නට තිබුණි. අද පවතින දේශපාලන වාතාවරණය තුළ රාජ්‍යයෙන් රාජ්‍යයට ණය ලබාගැනීම අපහසු වූ විට අපට ගිනිපොලියට විදේශ මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට සිදුවෙනු ඇත. මෙම තත්ත්වය ණය අර්බුදය තවදුරටත් උග්‍රවීමට හේතුවේ.
ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට ද ආරංචි පැතිරේ. මේ හේතුවෙන් රට අභ්‍යන්තරයේ උද්ධමනය ඉහළයාම හා මුදලේ අගය පිරිහීමට හේතු වෙනවා ඇත. කෙසේ වුවද මෙවැනි පැලැස්තර විසඳුම් නොමැතිව දැනට උද්ගතවී ඇති ආර්ථික අර්බුදය සමනය කිරීමට ඉහළම ප්‍රමුඛත්වය දිය යුතුය යන්න මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ උපදේශය වේ. දේශපාලන අස්ථාවර භාවය ඉක්මනින් වළකා නොගතහොත් අප තවත් අමාරුවේ වැටීමට ඇති ඉඩ වැඩිය.
►යසවර්ධන රුද්රිගු