
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කර එම ධුරයේ හිටපු රනිල් වික්‍රමසිංහ තනතුරින් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ තීන්දුව දේශපාලන ඉතිහාසයේ කිසිම දිනෙක සිදුනොවුණු එකකි. හදිසි නමුත් සැලසුම්සහගත බල පෙරළිය සමඟ පැවති ආණ්ඩුවේ බලය ගිලිහී යද්දී දේශපාලන කරළියේ පමණක් නොව රටේත් විදෙස් රටවලත් අපේ දේශපාලන පෙරළිය දෙසට අවධානය යොමුවිය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරැම් දීමත් සමඟ උද්ගත වූ දේශපාලන අර්බුදය මත ලබන 7 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම හා තහවුරැ කරගැනීම ගැටලුවක්ව පැවතිණ. බහුතරය ගොඩනංවා ගැනීමට මහින්ද පාර්ශ්වයත් රනිල් පාර්ශ්වයත් මැති ඇමැතිවරු සමඟ සාකච්ඡා කළෝය. ඇතැම් පිරිස් මහින්ද හා රනිල් පාර්ශ්ව දෙකම සමඟ එකම දිනකදී කතිකා කළෝය. පාර්ලිමේන්තුව කැඳවන්නට මත්තෙන් දේශපාලන පිල් මාරැවකට මග පෑදුණේ එසේය. මේ ආකාරයට දැනටමත් නව අග්‍රාමාත්‍යවරයා සමඟ අත්වැල් බැඳගන්නට එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් පියවර ගෙන තිබේ.
ඒ අනුව එජාපයේ සිට මහින්ද පාර්ශ්වයේ නව ආණ්ඩුවට එක්වූ පළමු දේශපාලනඥයා වූයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආනන්ද අලුත්ගමගේ මහතාය. අනතුරුව වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, විජයදාස රාජපක්ෂ සහ දුනේෂ් ගන්කන්ද යන මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇමැති ධුර ලබාගනිමින් එම පාර්ශ්වයට එක්වූහ.
මෙහිදී එජාපයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යටතේ නව ආණ්ඩුවේ සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිකරගත් ආනන්ද අලුත්ගමගේ මහතා, “අපි බොහෝ කැපවීම් කරලා එජාප ආණ්ඩුවක් බිහිකළා. නමුත් අවුරුදු 3ක් ගිහිල්ලත් ආණ්ඩුවෙන් රටට වෙච්ච සෙතක් නෑ. ආණ්ඩුව පිහිටුවලා මාස 3ක් යන්න කලින් අගමැතිවරයාගේ ලොකු වෙනසක් දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපිට අගමැතිතුමා සමඟ කතා කරන්නත් බෑ. රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගත යුතුව තිබුණේ මීටත් කලින්. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ මොහොතේ අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තීරණය වෙනස් කළා. නැත්නම් එදා මන්ත්‍රීවරු 21ක් විරුද්ධව ඡන්දය දෙනවා. අද පක්ෂයෙන් එළියට ආවෙ මම විතරයි. ඉදිරියේදී නොහිතන චරිත එළියට එයි.” යනුවෙන් පැවසීය.
එජාපයෙන් ඉවත් වී නව ආණ්ඩුවේ සංචාරක හා වනජීවී අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා කීවේ මෙවැන්නකි.
“මගේ මුතුන් මිත්තන් හැදූ එක්සත් ජාතික පක්ෂය ලජ්ජා නැති ආත්මාර්ථකාමී මිනිසකු විසින් විනාශ කළා. ඇතිවුණු වෙනසත් සමඟ මට ලොකු සැනසීමක් දැනෙනවා. මේ අවස්ථාවේදී අගමැතිතුමාට මගේ සහාය දෙනවා. වෙනස ඇතිකළ ජනාධිපතිතුමාට සුබ පතනවා.”
බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී, ජාතික වතු කොංග්‍රස් එජාප වෘත්තීය සමිතියේ මහලේකම් වඩිවේල් සුරේෂ් මහතා මහින්ද රාජපක්ෂ අගමැති වූ සැණින් ගොස් අගමැතිවරයා හමුවී පැමිණ පසු දා රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. දෙපාර්ශ්වයටම කියා තිබුණේ බහුතරය පෙන්වීම සඳහා සහාය දෙන බවය.

කෙසේ වෙතත් වඩිවේල් සුරේෂ් මහතා නව ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වශයෙන් දිවුරැම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“රනිල් ළඟට යන්නත් මහින්ද ළඟට යන්නත් මට අයිතියක් තියෙනවා. ඒක මගේ අයිතියනේ. වඩිවේල් පගා, කොමිස් ගන්න කෙනෙක් නෙමේ. මගේ අත්දෙක පිරිසුදුයි. වතුකරේ ජනතාවට රැපියල් දාහක පඩියක් දෙන්න කියලා මම හිටපු අගමැතිතුමාට කීවා. නමුත් ඒක වුණේ නෑ. දැන් මට වැවිලි කර්මාන්ත ඇමැතිකම තියෙනවා. මම දාහ දෙන්න කටයුතු කරනවා.”
විජයදාස රාජපක්ෂ මහතා පැවති ආණ්ඩුවේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාය. දැන් ඔහු නව ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත්වී සිටී. පක්ෂ මාරුව පිළිබඳව ඔහුගේ අදහස මෙසේය.
“යහපාලනය උදාකරගන්න අපට එදා ලොකු ජනවරමක් ලැබුණා. ආණ්ඩුව හදලා සති හයක් යන්නට කලින් ජනතාවට දරාගන්න බැරි දේවල් වුණා. මහ බැංකු බැඳුම්කර වංචාව එකක්. බැඳුම්කර සිද්ධිය නිසා අපට බහුතරය ගන්න බැරිවුණා. මේ ගැන හොයන්න ජනපති කොමිසමක් පත් කළාට ඒකට අහුවුණේ ආණ්ඩුවේ අයමයි. අපේ රට ලොකු උවදුරක ඉන්නේ. අපි ජිනීවා ගියේ රණවිරුවන් රැකගන්නයි. සියලුම දේ බටහිර රටවලට ඕන විදිහට වෙන්න ඕන කියලා එජාප නායකයන් විශ්වාස කරනවා. මේ ආණ්ඩුවේ තීන්‍යානුකූල බව ගැන විවේචන තියෙනවා. නමුත් සියල්ල වුණේ ව්‍යවස්ථානුකූලවයි.”
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අග්‍රාමාත්‍යවරයා හමුවී සහාය පළකර පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරැම් දුන්නේය.
එසේම ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, එම කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම්, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අරවින්ද කුමාර් යන පිරිසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට තීරණය කර සිටිති.
දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ප්‍රකාශ කර ඇත්තේ තම විපක්ෂ ප්‍රතිපත්තිය අනුව අගමැති මහින්ද රාජපක්ෂට හෝ රනිල් මහතාට සහාය පළකිරීමේ තීරණය ගන්නා බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ තම පක්ෂය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට සහාය පළ නොකරන බවය.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසා තිබුණේ සිය පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා මව්ලවිතුමන් හමුවී සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවය. එමෙන්ම දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතත් එය අසාර්ථක වී ඇතිබව වාර්තා විය. මේ ආකාරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු සුළු පක්ෂ කිහිපයක සහාය ලැබෙන පාර්ශ්වය තවමත් නිශ්චිත නැත. ඇතැම්විට සුළු පක්ෂ බහුතරයක සහාය මහින්ද පාර්ශ්වයට හෝ රනිල් පාර්ශ්වයට ලැබීමට ඉඩ ඇත. ඒ අතරතුර එජාපයේ තවත් පිරිසකගේ පැති මාරැවක් ගැන වාර්තා පළවුවද ඒ කිසිවක් නිශ්චිත නැත. මේ සියල්ල එළඹෙන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන දිනයේදී ප්‍රසිද්ධ වනු නිසැකය.
►සමන්ත ප්‍රදීප් විල්තෙර