2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

කුමන්ත්‍රණ කතාවේ නාමල් කුමාරගේ භූමිකාව

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

පසුගිය සතියේ සිකුරාදා සවස හදිසියේම මේ රටේ මහා දේශපාලන පෙරළියක් සිදුවුණේය. එය ඉතිහාසයේ පළමු සිදුවීම වූ අතර පළමු වතාවට අග්‍රාමාත්‍යවරයා නෙරපා නව අග්‍රාමාත්‍යවරයකු පත් කළේය. ඒ රනිල් වෙනුවට මහින්දය. මේ පෙරළිය පිටුපස අල්පප්‍රාණ මහාප්‍රාණ කතා කීවත් ඇත්තට මේ පෙරළිය පිටුපස එක් ප්‍රධාන චරිතයක් සිටියේය. ඔහු හදිසියේ මතුවූ චරිතයක් වූ අතර මේ යහපාලන දීගය කුඩේ කුඩු කළේ ඔහුය. ඔහු වෙනින් කවුරුත් නොව දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාරය.

නාමල් කුමාරගේ විසින් රටට හෙළිකළ  මහා ඝාතන කුමන්ත්‍රණය නිසා ආණ්ඩු පෙරළී යන තැනට අවසානයේදී පත්විය. ඒ බව ජනාධිපතිවරයා ද පසුගියදා සනාථ කළේය.

කෙසේ වෙතත් දැන් නාමල් කුමාර පසුගිය දවසක සිට අමුතු කතාවක් කියන්නට පටන් ගෙන ඇත. ඒ මේ කතාවේ ඉන්නා නාලක සිල්වා නැමති නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදහස් කරන ලෙසත් ඔහු නොව මේ කතාවේ පිටුපස වෙනත් ප්‍රබලයන් සිටිනා බවත්ය. නාමල් කියූ පරිදි ඒ ප්‍රබලයන් අන් කිසිවෙක් නොව හිටපු අගමැතිවරයා සහ සරත් ෆොන්සේකා මහතාය. කෙසේ වෙතත් නාමල් පවසන්නේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසය.

ජනාධිපතිවරයා මෙහිදී සැක සංකා දිග හරිමින් පවසා සිටියේ තමන් ඝාතන පරීක්ෂණ පොලීසිය විසින් හිතා මතාම වෙනත් ආයතනවලට තල්ලු කර දමා තිබූ බවයි. ඒ නිසා මෙය හිතා මතාම මඟහැරි කාරණයක් බව ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් දැනට රහස් පොලීසියට ඇති ලොකුම සැකය වී ඇත්තේ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය වෙත එල්.එම්.ජී අවි දෙකක් ලබාගත්තේ කුමකටද යන්නය. එසේ ලබාගත් අවි දෙදෙනකු විසින් එළියට රැගෙන ගොස් දවස් දෙකකට පසුව රැගෙන ආ බව රහස් පොලිසීය විසින් සොයා ගත්තේය. කෙසේ වෙතත් එලෙස රැගෙන යන්න යන්නට ඇත්තේ වෙඩි පුහුණුවක් සඳහා ද යන්න පොලීසියට සැකයක් ඇත.

මේ නාමල් කුමාර සහ ප්‍රංශයේ පදිංචි තුෂාර නැමති අය සමඟ සිදුකරන සංවාදයේදී තුෂාර විසින් පවසන ඇතැම් කාරණා සමඟ මෙය ඝාතන කුමන්ත්‍රණයක් දෝ යන්න සැකයක් පොලීසියට පවා ඇතිව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට එකසත් ජාතික පක්ෂය සිය අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමත් සමඟ එවකට නීතිය හා සාමය භාර අමාත්‍යවරයා වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ මෙහි ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බවය. ඒ සඳහා හොඳම සාක්ෂිය නාමල් කුමාර සහ නාලක සිල්වා අතර සිදුව තිබුණත් එම හඬපටවල ද එවැනි ඝාතන කුමන්ත්‍රණයක කතාවක් නොමැති බව හෙතම සඳහන් කළේය. එසේ නම් මෙහි ඇත්ත කතාව කුමක්ද?

ආණ්ඩුවෙන් ඉවත් කළ එජාපයේ පිරිස පවසන්නේ මෙය ආණ්ඩු පෙරළීම සඳහා යොදාගත් කතාවක් බවය. ඒ සඳහා නාමල් කුමාර නැමැති අදිසි පුද්ගලයා හිටි හදිසියේ මතුවී මේ කතාව කියන්නට වූ බව ඔවුහු පවසති. එය එක්තරා ආකාරයක රඟපෑමක් පවද එජාප මනත්‍රීවරැ පවසති.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයන් අසූවකගෙන් පමණ ප්‍රශ්න කර ඇතත් සැබැවින්ම මේ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නැති බව සඳහන් වේ.

විශේෂයෙන් මේ කතාව් තවත් පරිච්ඡේදයක් වූ ඉන්දියන් ජාතිකයාගේ සම්බන්ධයත් මේ වන විට ප්‍රශ්නයක් වී ඇත. ඔහු මානසික රෝගියකු බව කීවත් ඒකාබද්ධයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පවසන්නේ ඔහු රෝ සංවිධානයේ පුද්ගලයකු බවය. කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට පත්වුණු වහාම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් සැකකරු මානසික රෝගියකු බව ප්‍රකාශයට පත් කළේය. ඒ අහන්නටත් කලින්ය. එය සැක හිතෙන දෙයක් බව ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පවසති.  

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කිව් හා සමානව මෙම ඝාතන පිළිබඳ පරීක්ෂණ ඉතාම මන්දගාමී ස්වරෑපයෙන් තල්ලු විය. ඇතැම් අවස්ථාවල පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයට වඩා මෙම අවස්ථාවේදී පොලීසිය ක්‍රියාත්මක වූයේ හෙමිහිටය. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාතමක වීම මෙරට පොලීසියේදී සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ සිද්ධියේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශාල කාලයක් ගත්තේය. ඇතැම් අයගේ ප්‍රකාශ ගැනීම සියලු ප්‍රකාශ නිමවනතෙක් සිටියේය. මේ සියල්ල පරීක්ෂණ මන්දගාමී කිරීමේ වැඩ පිළිවෙළවල් බව ජනාධිපතිවරයාට අනුව පැහැදිලිය.

ඉන්දියානු රෝ ඔත්තුකරු පසුගියදා අධිකරණයට රැගෙන විත් නැවත රුගෙන යන අවස්ථාවේ ඔහු පවසා සිටියේ තමන්ව රෝ ඔත්තු සේවයෙනුත් මෙරට රහස් පොලීසියෙනුත් ඝාතනය කරන්නට උත්සහ ගන්නා බවය. ඒ නිසා තමන්ගේ ජීවිතය බේරා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ කතාව තුළ මෙම සැකකරු කියනා බොහොමයක් කාරණා ගැන අවධානයෙන් බැලිය යුතුය. එනම් සැකකරු මෙලෙස පවසන්නේ ඇත්තටම නම් ඔහුහේ ජීවිතය ඇත්තේ අවදානමකය. එසේම සමහර විට මෙහි රහස් තොරතුරැ මකා දැමීමට ඇතැම් අය උත්සාහා ගනු ඇති බව සැක කළ හැක. ඒ  නිසා මේ ඝාතන කුමන්ත්‍රණය යට ගසන්නට තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාදැයි සැක ඇත.

කෙසේ වෙතත් මේ කතාව අවසානය අද හෙට නාමල් විසින් තවමත් හංඟාගෙන සිටිනා ඇතැම් තොරතුරු මත හෙළිවනු ඇත. ඒ තොරතුරු නිසා නාමල්ගේ ජීවිතය අවදානමකට පත්ව ඇති බවද පසුගියදා නාමල් වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා පවසා සිටියේය. එසේනම් මෙවැනි අවදානම්ගත කුමන්ත්‍රණයක සත්‍ය සෙවීම මෙරට රජය සතු යුතුකමක් නොවේද? එය දැන දැන පැහැර හරින්නේ නම් ඒ කුමන්ත්‍රණයේම කොටස්කරුවන් නොවන්නේද? පිළිතුරු රහස් පොලීසිය අතේය.

 අසංක කළුබෝවිල