
“ආණ්ඩුකාරතුමා කියන්න කලින් අපි ඒක නතර කරලා ඉවරයි. එයා දැන් මේක මාධ්‍ය සංදර්ශනයක් කරගෙන තියෙන්නෙ. පළාත් සභාව ගැන තීන්දු ගන්න ඕන මහ ඇමැතිවරයගෙන් විමසලා. ආණ්ඩුකාර කාර්යාලයේ ඉඳන් තීරණ ගන්න බැහැ. ඒක තමයි නීතිය.
මෙම පුටු ඇණවුම් කිරීමේදී ඇණවුම් කරන පුටුවක සාම්පලයක් පරීක්ෂා නොකර පුටු ඇණවුම් කර ඇතිබව හෙළිවී තියෙනවා. ගෙන්වන පුටුවක අනුරුවක් ලෙස පෙන්වූ අනුරැවක් පළාත් සභා සභාපති සුනිල් විජේරත්න මහතා හඳුන්වා දී ඇතත් එය මෙලෙස ගෙන්වන වර්ගයේ පුටුවක් නොවන බව විමර්ශනවලදී හෙළිවී තිබුණා.”
උතුරු පළාත් සභාව හැරුණුවිට මෑත වකවානුව තුළ රටේ වැඩිපුරම කතාබහට ලක්වූ පළාත් සභාව වන්නේ බස්නාහිර පළාත් සභාවයි. මෙයට මාස දෙකකට පමණ පෙර බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් ගෙන්වීමට සිටි සැප පුටු සහ පළාත් සභා නව ගොඩනැගිල්ල සුවඳවත් කිරීමට එයාර් ෆ්රෙෂ්නර් යන්ත්‍ර පිළිබඳ පුවත් බස්නාහිර පළාත් සභාවෙන් වරින්වර මැවෙන්නට වූයේ එකදිගටය.
බස්නාහිර පළාත් සභාවට රුපියල් කෝටි අටකට ආසන්න වටිනාකමකින් යුතු සැප පුටු තොගයක් බෙල්ජියමෙන් ගෙන්වීමට තිබූ ඇණවුම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් අවලංගු කර තිබිණි. දෙදෙනා අතර දේශපාලන නෝක්කාඩුව ඇතිවූයේ ඉන් අනතුරුවය.
ආණ්ඩුකාරවරයා මෙම ඇණවුම අවලංගු කිරීමත් සමඟ ඔහු සහභාගි වූ මාධ්‍ය හමු කිහිපයකදීම කියා සිටියේ පළාත් සභාවලට මෙවැනි මුදලක් වියදම් කොට පුටු ගෙන්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. එමෙන්ම එම පුටු මිලදී ගැනීමේදී ඇති ක්‍රමසම්පාදන ක්‍රියාවලියේ පවතින අක්‍රමිකතා හේතුවෙන් එය අවලංගු කළ බවට ඔහු අවස්ථා කිහිපයකදීම පැවසීය.
ඊට පිළිතුරු දක්වමින් මාධ්‍ය හමුවලදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ජීවත් වන්නේ වෙනම ලෝකයක බවය. එමෙන්ම තනිව කටයුතු කිරීමේ බලයක් ආණ්ඩුකාරවරයකුට නොමැති බවත් මාධ්‍ය හමුවේ චෝදනා කිරීමට පෙර ආණ්ඩුකාරවරයා කළ යුත්තේ තමන් ඇතුළු ඇමැති මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීම බවත් ඔහු පැවසීය. දින ගණනක් පුරාවටම මොවුන්ගේ මෙම දේශපාලන නෝක්කාඩුව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. තවමත් එය විසඳී නොමැති බවට හැඟී යන්නේ මොවුන් තවමත් මාධ්‍ය හමුවල කරන ප්‍රකාශ නිසාය.
මෙම අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙලෙසින් අදහස් පළ කළේය.
“අපි ඒක දැනගත්ත හැටියෙම නැවැත්තුවා. මේ ආණ්ඩුකාරතුමා මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ. එයාට ඕන දේ තමයි එයා කරන්නෙ. එයා දේශපාලන පක්ෂයක නායකයෙක්නෙ. එතුමා ඒක අවලංගු කරන්න කලින් මම ඒක නැවැත්තුවා. එතුමා කියන දේවල් අපිට නතර කරන්න බැහැනේ. මේ පුටු ප්රශ්නය ගැන කවුරුත් දැනුවත්ව සිටියේ නැහැ. අඩු තරමින් කැබිනට් ඇමැතිවරයෙක්වත් මන්ත්‍රීවරයෙක්වත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අනික මේ ගොඩනැගිල්ල විවෘත කරන වෙලාවේ ඉඳලා ඇතැම් මාධ්‍යවල පළවුණේ බොරුනේ. අනික මේ ජනතාව මුලාකරන දේවල් තමයි පහුගිය ටිකේම මාධ්‍ය මගින් පළ වුණේ. අපි සභාවට එන්න කියනවනෙ. එතකොට ඇවිල්ලා බලාගන්න පුළුවන්. මේ ඔක්කොම ආණ්ඩුකාරවරයා කියන්නෙ පළාත් සභාව කියලනෙ. එතකොට ආණ්ඩුකාරවරයා ප්‍රකාශ නිකුත් කරනවා නම් සාමාන්‍යයෙන් පළාත් සභාව ගැන තීන්දු ගන්න ඕන මහ ඇමැතිගෙන් විමසලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතට අරගෙන බලන්න. පුළුවන් නම් ඒක ආණ්ඩුකාරතුමාටත් පෙන්වන්න. මොකද, මට හිතෙන්නෙ එයා ඒක දැකලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම එකක් සඳහන් වෙලා තියෙනවා. එයා එහෙම තීරණයක් ගන්නවා නම් මහ ඇමැතිගෙන් විමසලා ගන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුකාර කාර්යාලයේ ඉඳන් තීරණ ගන්න බැහැ. ඒක තමයි නීතිය පනතේ තියෙන එක. එවැනි තත්ත්වක් තුළ ආණ්ඩුකාරතුමා නියෝග දෙනකම් ඉන්න ඕන නැහැ. මට පුළුවන් ඒක නතර කරන්න. මම ඒක නවත්තලා තියෙන්නෙ. එතුමා මාධ්‍ය සංදර්ශන තියන්න කලින් ඒක නතර කරලා තියෙන්නෙ.”
මෙම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පළ කළේ මෙවැනි අදහසකි.
“මෙම පුටු ඇණවුම් කිරීම බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් සිදුකර තිබුණා. කරුණු කිහිපයක් මත එම ටෙන්ඩරය අපි අවලංගු කළා. ටෙන්ඩරය අවලංගු කළත් එම පුටු ඇණවුම් කළ සමාගමට වන්දි වශයෙන් අපි සතයක් හෝ ගෙවීම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමකුමාර නානායක්කාර මහතා මෙසේද පැවසීය.
“බස්නාහිර පළාත් සභාව සඳහා අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට රුපියල් 650,000 බැගින් වූ පුටු තොගයක් ඇණවුම් කර ඇති බවත් මේ සම්බන්ධව සොයා බලන ලෙසත් බස්නාහිර පළාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා මට පැමිණිලි කළා. ඒ අනුව මෙම පුටු ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන ලෙස මම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන්නා. පළාත් ප්‍රධාන ලේකම්වරයා නියෝජ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළා. ඒ කමිටුව මට වාර්තාවක් ලබාදුන්නත් එම වාර්තාව දෝෂ සහිතයි. ඒ නිසා මම නීති උපදේශකවරුන් දෙදෙනෙක් සහිතව පත්කළ කමිටුවකින් පසු පුටු ගෙන්වීම පිළිබඳ දෝෂ රැසක් හඳුනාගත්තා.
මෙහිදී පුටු ඇණවුම් කිරීමේදී ඇණවුම් කරන පුටුවක සාම්පලයක් පරීක්ෂා නොකර පුටු ඇණවුම් කර ඇතිබව හෙළිවී තිබෙනවා. ගෙන්වන ලද පුටුවක අනුරුවක් ගෙන්වා දුන්නත් එය මෙලෙස ගෙන්වීමට නියමිත වර්ගයේ පුටුවක් නොවන බව පරීක්ෂණවලදී හෙළිවී තිබුණා. දැන් කොහොමත් මේ පුටු ගෙන්වීම අවලංගු කරලා තියෙන්නෙ.”
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ සියලු මන්ත්‍රීවරුන් බහුතරයකට අවශ්‍ය පස්ස තැබීමට සැප පුටුය, සුව සේ ගමන් කිරීමට සුපිරි වාහනය. ඒ හැර පළාත් සභාවේ කාලය අවසන් වීමට ප්‍රථම ජනතාවගේ හිතසුව පිණිස කිරීමට නොහැකි වූ වැඩ මොනවාදැයි කියා මොවුන් අසන්නේ නැත. ඡන්දදායක ජනතාව සබුද්ධික විය යුත්තේ මෙවැනි ඊනියා මහජන නියෝජිතයන් ගැනය. එහෙත් සැලකිය යුතු පිරිසකට මේ ගැන තවමත් අවබෝධයක් නොමැත.
►හසිත් අංජන