2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ දේශපාලන අලකලංචිය විදෙස් මාධ්‍ය ඇසින්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

හිටි අඩියේ ශ්‍රිලංකාවේ අගමැති පුටුව පසුගිය සතියේ වෙනස් වීමේ පුවත ලෝක මාධ්‍ය තුළ කැපී පෙනෙන තැනක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ දේශපාලන අලකලංචිය (SriLanka’s political crisis) ලෙස නම් දැරූ මේ පුවත මුලින්ම වාර්තා වූයේ අමෙරිකානු සහ ඉන්දීය මාධ්‍යවලය. එම රටවල දේශපාලන දැක්මට අනුරූපී ලෙසටය. ඔවුන් කල්නොයවා වහාම මෙය දෙවෙනුව හැඳින්වූයේ ව්‍යවස්ථා අර්බුදයක් ලෙසිණි. 

“ව්‍යවස්ථා හුටපටය” ශ්‍රී ලංකාව අස්ථාවර කරාවි, චීනය වෙත තල්ලු කරාවි” ‘Constitutional crisis’ could destabilize Sri Lanka, pushing it closer to China ලෙසින් සී.එන්.බී.සී වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයට නැවත ඇතුළු වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, විදෙස් ප්‍රතිපත්තිය සහ ආර්ථීකය කෙරෙහි පුළුල් ප්‍රතිවිපාක ඇතිකරනු ඇතැයි කියමිනි. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණයක් ලෙස මංගල සමරවිරගේ ට්විටර් ප්‍රකාශයක් උපුටා පලකරන්නට ද කටයුතු කර තිබුණි. 

“රාජපක්ෂ නිල වශයෙන් බලයට පත්වීමත් වික්‍රමසිංහ ඉවත්ව යාම ප්‍රතීක්ෂේප කිරීමත් සමඟ මේ රට ප්‍රතිපත්ති අඩපණව ගිය කාලවකවානුවකට එලැඹ ඇති අතර එය විදෙස් ආයෝජන සඳහා යහපත් පෙරනිමිත්තක් නොවන බවත් දැන් මෙහි තරගකාරී බලකේන්ද්‍ර දෙකක් බිහිව ඇති නිසා ලංකාව ව්‍යවස්ථා අර්බුදයකට එලැඹෙන ලකුණු දක්නට ලැබෙන බවටත්  ප්‍රධාන පෙලේ විශ්ලේෂකයකු වන ප්‍රය්‍යූත් රාඕගේ ප්‍රකාශයක් එහිදී උපුටා දක්වා තිබුණි. 

“මේ මොහොතේ පුද්ගලයන් දෙදෙනෙක්ම තමන් අගමැතියැයි පැවසීම ව්‍යවස්ථා අර්බුදයකට හේතුවක් වී ඇතැයි” ජාත්‍යන්තර ටයිම් සඟරාව ද ඇසෝසියේටඩ් ප්‍රෙස්හි පල වූ ප්‍රකාශයක් උපුටා දක්වා තිබුණි.

සිකුරාදා හිටිඅඩියේ අගමැති තනතුරෙන් පහකළ රනිල් වික්‍රමසිංහ අරලිය මන්දිරය අත්හැර යාම ප්‍රතික්ෂෙප කරයි, තමන් වෙනුවට හිටපු බලවත් නායකයා මහින්ද රාජපක්ෂ පත් කිරීමත් එම තීරණය වෙනස් කිරීමට සමත් ඡන්ද විමසීමකට බාධා කිරීම සඳහා පාර්ලිමේන්තුව කල්දැමීමත් මඟින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඔහු කියයි; යනුවෙන් ලොස් ඇන්ජලීස් ටයිම්ස් උපුටා දක්වා තිබුණි.

බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ විශ්වාසය වී ඇත්තේ කාලය වැඩියෙන් ගතවීම වික්‍රමසිංහගේ බහුතරයට අවාසිදායක ලෙස බලපෑමට හැකි බවය. එසේ වුවද ඔහු තමන් තුළ ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් පවතිනවා, යැයි කියන වග එල්.ඒ. ටයිම්ස් වාර්තා කළේය.

ලංකාවේ බල පෙරළිය තදින්ම අවධානය දිනා ගත්තේ චීනයේ සහ ඉන්දියාවේය. මෑතක පැවති මාලදිවයිනේ ආණ්ඩු පෙරුළිය චීන හිතවාදී නොවන අන්දමට සිදුවීමත් සමඟ චීන අවධානය වඩාත් ලංකාව වෙත ඒකාග්‍ර වී තිබුණි. රාජපක්ෂ චීන හිතවාදී ගනුදෙනුකරුවකු ලෙස සලකන ඉන්දියාව ද ලංකාවේ වත්මන් අගමැති පොරය වෙත සිය අවධානය තීව්‍ර කර තිබේ. චීන සල්ලි වීසි කර රාජපක්ෂ, රනිල්ගේ බහුතරයෙන් ඡන්ද බිලී බානා බවට එල්ල වූ චෝදනාවක් වහාම නිවරද කරන්නට චීන තානාපති කාර්යාලය ක්‍රියා කළේ එය පදනම් විරහිත සහ වගකීමකින් තොර ප්‍රකාශයක් බව කියමිනි. ඒ අතර ජාත්‍යන්තර මාධ්‍යවල පළවූ ඉන්දියාව කිති කවන ඡායාරෑපයක් වූයේ කාටත් පළමු ලංකාවේ චීන තානාපති නව අගමැති ලෙස දිවුරුම් දුන් රාජපක්ෂ හමුව සුබපතන දර්ශනයයි.

ලංකාවේ චීන හිතවාදි,  මුදු තොගයක්  පළඳින  බලවතා (Lanka’s “Lord Of The Rings”) අගමැති ලෙස නැවත පත්වීම ගැන ඉන්දියාව කනස්සලෙන් යැයි බ්‍රහස්පතින්දා රොයිටර්  වාර්තා කර තිබූණි. NDTV ද එය උපුටාගන තිබුණි. වසර තුනකට පෙර ජනාධිපති තරගයෙන් වාරණයට ලක්කළ ලංකාවේ ප්‍රබල නායකයා මහින්ද රාජපක්ෂ ඔහු පරාජයට පත් කරනු ලැබූ මිනිසා විසින්ම නැවත අගමැති ධූරයට පත්කරනු ලැබ රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ, යැයි එහි සඳහන්ය.

“සමහර අවස්ථාවල මුදු අටක් පමණ වන සේ නිතර මුදු තොගයක් පැළඳ සිටින එහෙයින්ම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් නම විදෙස් මාධ්‍ය අතර හිමි කරගත් සුදෝ සුදු කමිසය සරම සහ මෙරෑන් පාට සාටකය අඳින ඔහු බෙයිජිං හිතවාදියෙකි” ලෙස එහි හඳුන්වා දී තිබේ. උපායමාර්ගික වාසිදායක පිහිටීම නිසා ඉන්දු සයුරේ මර්මස්තානයක් බවට පත්ව තිබෙන  ලංකාව කෙරෙහි වූ චීන ග්‍රහණය දැන් තවත් දැඩි වෙතැයි යන සැකය නව දිල්ලියේ අවධානය දිනාගත් කාරණාවක් වී තිබේ.

ඒ අතර ඉන්දියාවේ ස්වයං සේවක සංගමය හෙවත් ආර්.එස්එස් ප්‍රධානියකු වන සර්දාරි චාරි විශ්වාසය පළකර තිබුණේ නව නායකත්වය යටතේ දිල්ලිය හා කොළඹ අතර වඩා යහපත් සබඳතාවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. මෝදි රජයට ද තද බලපෑමක් කළ හැකි හින්දු ජාතිකවාදී ස්වයං සේවක සංගමය හෙවත් ආර්. එස්. එස් ඒ අනුව රාජපක්ෂ හා සබඳතා තර කර ගැනීමට කලින්ම ඉදිරිපත්ව ඇති බව වාර්තා කර තිබේ.

චීන විදෙස් අමාත්‍යාංශය කලින්ම ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ ජනයාට සහ රජයට තත්ත්වය නිසි ලෙස පාලනය කරගැනීමේ හැකියාව ඇතැයි බෙයිජිං පාලනය විස්වාස කරන බවය. රටේ ස්ථාවර බව රැක ගැනීම උදෙසා අවශ්‍ය කරන වෙනස්කම් සියලු පාර්ශවවලට එකතුව සාකච්ඡා මඟින් විසඳාගත හැකි බව චීනය බලාපොරොත්තු වන බව ද ප්‍රකාශයේ සඳහන් විය.

ඉකොනොමික් ටයිම්ස් වාර්තාව ඉදිරිපත් වූයේ “ඉන්දියාව සහ - චීනය ශ්‍රී ලංකා අර්බුදයේ නොසන්සුන් ප්‍රෙක්ෂකයෝ (India and China nervous spectators in Sri Lanka crisis)” ලෙස හඳුන්වා දෙමිනි. එයට අනුව රනිල් මෘදු කතා ඇති නව අදහස් සහිත තාක්ෂණයට ලැදි නිදහස් වෙළඳ යෝජනා දරන එහෙත් චීනයේ නිතර ඒක පාර්ශවීය ලෙස පෙනෙන ආර්ථීක ගනුදෙනු දෙස සැක සහිතව බලන සහ ඉන්දියාව කෙරේ අඩු සැකයක් දරන්නෙකි. එයට අනුව මහින්ද රාජපක්ෂ පළපුරුදු දේශපාලනයෙන් තෙම්පරාදු වූ තදබල ජනකාන්ත බවක් දිනාගත් නමුත්, ආඥාදායකයකු ලෙස දෝෂදර්ශනයට ලක්වූ තැනැත්තෙකි. ඔහු එලෙසම බෙයිජිං වෙත වඩාත් සමීප අයෙක් ලෙසද ටයිම්ස් වාර්තාව පෙන්වා දෙයි.

2015 රනිල් - මෛත්‍රී  ආණ්ඩුව පත්වීම කලාපයේ අනෙකුත් රාජ්‍යයන් වන බංග්ලාදේශය, භූතානය සහ නේපාලය මෙන්ම ඉන්දිය සාගරයද චීනයේ ආර්ථීක සහ මිලිටරි ව්‍යාප්තවාදයෙන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වීමේදී ඉන්දියාවට ශක්තියක් වූ බව ඉ-ටයිම්ස් කියයි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවමත් නීත්‍යානුකූල අගමැති වශයෙන් තමන් පිළිගන්නා බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වූයේය. ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් අතර ඇති වූ සංවාදයක් අතරතුරදීය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතකදී සිදු කළ ක්‍රියාව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ  පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් පවසා ඇතැයි බීබීසීය වාර්තා කර තිබුණි.

නොවැම්බර් පළමු වැනිදා ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව 05 වැනිදා නැවත කැඳවූ පුවතයි. අගමැති අවුල විසඳන්න ශ්‍රිලංකා ජනපති පාර්ලිමේන්තුව නැවත කැඳවයි, (Sri Lanka President Calls on Parliament to Resolve PM Crisis) යනුවෙන් වොයිස් ඔෆ් අමෙරිකා, සී.එන්.බිසි, ගාර්ඩියන්, එන්.ඩී.ටී.වී, යූ.එස්. නිවුස්, ඩේලි හෙරල්ඩ් ඇතුළු පුවත් සේවා රැසක්ම වාර්තා කර තිබුණි.

  සුගත් පී. කුලතුංගආරච්චි