2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

කන පලන සද්දේ !

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

ශබ්ද දූෂණයෙන් සිදුවන හානිය වැළැක්වීමට පනවා ඇති නීතිරීති වසර විසි දෙකකින් අලුත් කර නැත. නමුත් එම කාලය තුළ කාර්මිකකරණය වේගවත් වීම හරහා ඇති වී තිබෙන ශබ්දයේ මට්ටම මිනිසුන්ටත් සතුන්ටත් ඉවසිය හැකි මට්ටමින් එහාට යන තරමට උත්සන්න වෙමින් තිබේ.

මෙම කාර්යයට අනුව අධිකව ඉහළට ගොස් ඇති ශබ්ද දූෂණය හේතුවෙන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව සිදුවිය හැකි හානි පිළිබඳව වෛද්‍ය විශේෂඥවරුන් විසින් වරින්වර බරපතළ අනතුරු ඇගයීම් සිදුකර තිබේ.

කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල යන ඉහළ ජනගහනත්වයක් ඇති නගර මේ අනතුරට දරුණු ලෙස මුහුණ දී සිටී. එහෙත් අදාළ පළාත් පාලන අධිකාරියෙන් ශබ්ද කලාප සිතියම් සකස් කොට නිවැසියන්ගේ කලාප, කාර්මික සහ වාණිචජ කලාපවලින් වෙන්කොට දැක්වීමට අසමත් වීම ප්‍රධාන ගැටලුවක් බව සඳහන්ය. මෙසේ පවසන්නේ මධ්‍ය පරිසර අධිකාරියේ වායු සම්පත් කළමනාකාරීත්ව සහ නිරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කමල් ප්‍රියන්ත මහතාය.

මෙම ශබ්දය ආරම්භ වන්නේ එළිවන පාන්දරය. බේකරි නිෂ්පාදන අලෙවිය සඳහා මහ ශබ්දයකින් සංගීත ඛණ්ඩ, සංගීත නළා භාවිත කරමින් පාරට බසින පාන් වෙළෙන්දෝ එහි සමාරම්භකයෝ වෙති. එසේම ඉවත දමන යකඩ, කඩදාසි වැනි අපද්‍රව්‍ය එකතු කරන වෙළෙන්දෝ ද මීට එකතු වෙති. ඔවුන් සිය ගනුදෙනු පවත්වාගෙන යනු ලබන්නේ පණිවුඩය මහ හඬින් ලබාදෙන ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමිනි. එසේම ඇතැම් ආගමික සිද්ධස්ථානවලදී දවස පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබේ. ඇතැම් අවස්ථාවල ඒවා රාත්‍රිය පුරාම විහිදී යයි. අහල පහළ සිදුවන සංගීත සංදර්ශන හෝ ඇතැම් නිවෙස්වල සිදුවන සංගීත සාජ්ජ ද මෙයට එකතු වෙයි. 

මේ අධික ශබ්ද හේතුවෙන් සෞඛ්‍යයට වන බලපෑම් ඉහළ යන අතර කන් ඇසීමේ දුර්වලතා පටන් හදවත් ආබාධ දක්වා එකී හානි පැතිර යයි.

වායු දූෂණයේ බලපෑමට මුලින්ම පෙනහළු හසුවෙනවා මෙන්ම ශබ්ද දූෂණයේදී හොමෝන ස්‍රාවයේ ගැටලු ඇති කරවනවා. ඉහළ ඩෙසිබෙල් (ශබ්දයේ තීව්‍රතා මිනුම) අගය මඟින් ආතතිය ඉහළ දමනවා. මෙහිදී adrenaline සහ cortisol නම් හෝමෝන දෙවර්ගයන් වෑස්සීම සිදුවෙනවා. Adrenaline හද ගැස්ම සහ රැධිර පීඩනය ඉහළ දමනවා. හේ හේතූන්වලින් මේදය තැන්පත්වීම සිදුවිය හැකියි

හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක පවසයි.

ආතතියට සම්බන්ධ හෝමෝනය වන cortisol හෝමෝනයෙන් රුධිර නාළවල ඇතුළත බිත්තිය මෘදු භාවයට පත්වෙනවා. එය යළිත් කොලොස්ටරෝල් තැම්පත් කිරීම ඇතිවීමට හේතුවිය හැකියි. මේ නිසා ශබ්ද දූෂණය දීර්ඝකාලීනව රුධිර නාළ ඇතුළත මේද තට්ටු ඇතිකිරීමට හේතුවිය හැකියි.

ඔහු වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවද විශේෂඥ වෛද්‍ය ඒකනායක පවසනුයේ එවැන්නක් සහතික වශයෙන්ම සිදුවන බවට මෙතෙක් සාක්ෂි නැති බවයි. එය දැනට විස්තර කළ හැක්කේ සංඛ්‍යා ලේඛන අනුව බවත් ඔහු පවසයි. කායික බලපෑම්වලට අමතරව මානසික වශයෙන්ද ශබ්ද දූෂණය බලපායි. අධික ආතතිය, කෝපයට පත්වීම සහ විෂාදය වැනි රෝග තත්ත්ව මේ හේතුවෙන් ඇතිවිය හැක.

සතුන්ට ද අධික ශබ්දයේ අහිතකර බලපෑම් ක්‍රියාත්මක වන බව සොයාගෙන තිබේ. උගුර, කන්, නාසය (ENT) සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සීතා අරම්පොළ ප්‍රකාශ කරනුයේ ශබ්ද දූෂණය හේතුවෙන් සිදුවන වඩාත්ම පොදු ශ්‍රවණාබාධය වන්නේ කන් ඇසීම නැති වී යාම බවයි. ඊට අමතරව කන්වලින් විවිධ ශබ්ද ඇසීමත්, හිස කරකැවිල්ලත් ඇතිවිය හැක.

කොළඹ නගරයේදී මුණගැසුණු ජනතාවගේ අදහස වූයේ තමන් උදෑසන අවදි වන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් මහ හඬින් නිකුත්වන විවිධ ආගමික පූජා හඬ සහ චූන් පාන් ත්‍රීරෝද රථවලින් නිකුත්වන අධික ශබ්දය හේතුවෙන් බවයි. මේ හේතුවෙන් ඇතිවන කෝපය හා කළකිරීම දවසේ ඉදිරි කටයුතුවලට බලපාන බවද ඔවුහු ප්‍රකාශ කරති. මේ අධික ශබ්ද දවස පුරාම ඇතිවන බවද ඔවුහු කියති.

විශ්‍රාමිකයකු වන සී. එස්. ප්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විදුහලේත් ගෝතමී බාලිකා විදුහලේත් අවට පදිංචිකරැවෙකි. ඔහු දැඩි උද්වේගයෙන් යුතුව ප්‍රකාශ කරනුයේ ඒ ආසන්නයේ ඇති විවිධ ආගමික සිද්ධස්ථානවලින් උදෑසන පහේ සිට ඉහළ හඬකින් නිකුත්වන ශබ්ද තමන්ට දැඩි හිසරදයක් වී ඇති බවය.

මම වැඩිහිටි පුද්ගලයෙක්. සාමකාමීව දවස ගෙවන්නයි මගේ කැමැත්ත. ඒ ඕනෑකම ඉතා ඉක්මනින් නැති වී යන්නේ මේ කන පැලෙන්න නිකුත් වෙන ආගමික පටිගත විකාශනවලින්

අවුරුදු හැත්තැපහක් වයසැති මෙම විශ්‍රාමිකයා තවදුරටත් සඳහන් කරන්නේ ඒ හඬ තමන්ගේ නින්ද කඩා දමන බවය. ඒවා නිමා දමනතුරැ තමන්ට නින්ද අහිමි වන බව ද ඔහු කියයි. 

පාසල් වෑන් රථ රියදුරකු වන සුධීර සංජය සඳහන් කරනුයේ උදෑසන පහේ සිට චූන් පාන් රථවලින් නැගෙන හඬ තමන්ට මහත් හිසරදයක් බවය. සති අන්තයේ තමන්ට ලැබෙන නිවාඩු දින දෙකේදී තරමක් දහවල් වනතුරු නිදාගන්නට උත්සාහ කළද චූන් පාන් රථවලින් නැගෙනා හඬ ඒ නින්දට බාධාවක් යැයි සුධීර සංජය තවදුරටත් පවසයි.

ශබ්ද දූෂණයෙන් ඉහළ නගරයක් වන්නේ කොළඹ සහ පිටකොටුවය. බස් රථ සහ වාහනවල නළා හඬ, විවිධ ද්‍රව්‍ය සහ ලොතරුයි ටිකට් අලෙවිකරකැවන්ගේ වාහනවලින් නැගෙන රේඩියෝ විකාශන යන්ත්‍ර ඊට හේතු වේ.

පිටකොටුවේ කොළ කැඳ වෙළෙන්දකු වූ සරත් පීරිස් පවසන්නේ පැය දෙකක කාලයක් වුවත් තමන්ගේ කුටියේ රුඳී සිටීම මේ ශබ්ද හේතුවෙන් අපහසු බවයි. බස් රථවල නළා හඬ තමන්ට හිසරදයක් බවද ඔහු පවසයි.

උදේ හත වෙන්නත් කලින් බස් එක දිගට හෝන් ගහනවා. මේ සමහර නළා නීති විරෝධියි. සමහර නළා හරියට කෝච්චිවල නළා හඬ වගෙයි. ඔහු පවසයි.

ගණකාධිකාරීවරයකු වන තිලංක ගලප්පත්ති පවසන්නේ ශබ්ද දූෂණයට එරෙහිව නීති ක්‍රියාත්මක වන්නේ බොහොම අඩුවෙන් බවය.

වායු නලා සහ සංගීත නළා තහනම් කරලයි තියෙන්නේ. නමුත් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දිගින් දිගටම මේ නළා ශබ්ද කරනවා. මේ අසල පොලිස් නිලධාරීන් දෙදෙනකු රාජකාරි කළ ද ඔවුන්ට මෙය පාලනය කරන්න අපහසුයි. රථවාහන පොලිස් නිලධාරීන් පවා මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ

ඔහු වැඩිදුරටත් පවසයි.

ත්‍රීරෝද රථ රියදුරකු වන එච්. ඒ. නිශාන්ත සඳහන් කරනුයේ එකවර මහ හඬින් නැගෙන බස් රථ නළා හඬ තමන් දැඩි ලෙස කම්පනයකට ලක්කරවන බවත් ආධුනික ත්‍රිරෝද රථ රියදුරන් මේ අධික නළා හඬින් කලබල වී වෙනත් වාහනවල ගැටී අනතුරැවලට ලක්වන අවස්ථා තිබෙන බවත් මෙම අධික නළා හඬ මහත් හිසරදයක් බවත් පවසයි.

The Sunday Times පළවූ ලිපියක් ඇසුරෙනි.
දිශානි ජයමාලි කරුණාරත්න