2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අගමැති මාරුව හරිද? වැරදිද?

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් පසුගිය (26) වැනි සිකුරාදා සිදුවිය. ඒ හේතුවෙන් රට ව්‍යවස්ථාමය අර්බුදයකට ගොස් ඇති බව බොහෝ දේශපාලකයෝ පවසති. මේ අනුව මේ වනවිට සමස්ත රටම තිබෙන්නේ දේශපාලන අර්බුදයක බව බොහෝ දෙනෙකු‍ පවසති.

ඒ සම්බන්ධව විද්වතුන් කිහිපදෙනකු පළකළ අදහස් මෙසේය.

අපේ රටට ඇඟිලි ගහන්න වෙන රටවලට බැහැ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන 

රටේ ජනාධිපතිවරයා යම්කිසි තීරණයක් අරගෙන තියනවා. ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම කියන්නේ දේශපාලනමය කාරණයක්. ඒකට අනුකූල නැත්නම් ඒ සඳහා අධීීක්ෂණ හෝ වෙනත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. දැන් මෙතන තියන ප්‍රශ්නය අපි දකින්නේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඉන්නවා. ඔවුන්ට විදෙස් තානාපති කාර්යාල උදව් කරනවා. ඒ හරහා බටහිර රටවල මැදිහත්වීමක් ඇතිබව පේනවා. අපේ රටට. මේ රටේ පාර්ලිමේන්තුව කල්තැබීමේ අයිතිය තියෙන්නේ ජනාධිපතිවරයාට. හැබැයි ඒක අභියෝගයට ලක්කළා අපි දැක්කා. ඒ බටහිර රටවල දේශපාලනයට අතපොවන්න අපිට කිසිවිටකත් බැහැ. නමුත් අපේ රට පාලනය කරන්න ඒ අය පාවිච්චි කරනවා ඒ අයගේ බලය. ඒ වගේම එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් සඳහන් කරලා තිබුණා “ඔහු පිළිගන්නේ නැහැ කියලා අලුතින් පත්වුණ අගමැතිවරයා. අලුතින් පත්වුණු අගමැතිවරයා කවුරු වුණත් එංගලන්තයට තියන අයිතිය මොකද්ද අපේ රට පිළිබඳ කතා කරන්න.” ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියනවා. ඒකට හේතුව මොනවත් නොවේ ඒ අය රෝපණය කරපු ලොකු පිරිසක් ඉන්නවා අපේ රටේ. පත්වුණු අගමැතිවරයා කවුරු වුණත් ඔවුන් අපේ රටේ ස්වාධීනත්වයට තමයි මේ බලපෑම් කරන්නේ. ඔවුන් හිතුවේ නව අගමැතිවරයා පත්වුණාට පස්සේ මේ රට ලිබියාවක්, සිරියාවක් බවට පත්වෙයි කියලා. නමුත් එහෙම දෙයක් මේ රටේ වුණේ නැහැ. ඉතින් දේශපාලනයේ වාදවිවාද තියනවා. නමුත් ඒක ලොකු දෙයක් විදියට අපි දකින්නේ නැහැ. මේක බටහිර රාජ්‍යයන් කිහිපයක් තමන්ගේ තානාපති කාර්යාල හරහා කළ කෘත්‍රිම නිර්මාණයක් කියලා තමයි අපි දකින්නේ.

රට තිබුණේ භයානක තැනක 
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මේ අපේ රටේ ආර්ථිකය කළමනාකරණය වූ ආකාරය නම් හරිම භයානකයි. ඒ ආර්ථික කළමනාකරණය තුළ සිදුවුණේ නව ලිබරල්වාදයේ දඩු අඬුවට තවදුරටත් ලංකාව අසුවීමක්. ඒ දඩු අඬුව ඇතුළේ රටේ ආර්ථිකය ස්වෛරීත්වය, ආර්ථික තීන්දු තීරණ ගැනීමේ රජයට තියන අයිතිය යටපත් කරමින් පවාදෙමින් තමයි ගියේ. අපේ මධ්‍යස්ථාන එකින්නෙක අපිට ගිලිහෙන්න පටන්ගත්තා. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් කියන මිත්‍යාව හරහා රටේ බදු පැනවීමේ අයිතිය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් රටේ නීතියෙන් බැහැරවූ ගිවිසුම්ගත ආකාරයට විදේශවලට ගැටගැහීමේ වැඩක් ක්‍රියාත්මක වුණා. කොටින්ම කියනවා නම් දෙපයින් රට නැගිට්ටවන්න තියන සියලු මාවත්වලට ඉතා විශාල අවහිර කිරීමක් පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ වුණා. ඒ ගිය මාවතනම් වහාම වැළැක්විය යුතුව තිබුණා.

ව්‍යවස්ථාවට අනුව බැහැ
විශ්‍රාමික විගණකාධිපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මායාදුන්න 

මේ ප්‍රශ්නයේ මූලික කාරණා දෙකක් මම දකිනවා. පළවෙනි කාරණය සුදුසු වෙනසක අවශ්‍යතාවය. දෙවැනි කාරණය තමයි එහි විධිමත්භාවය. ඇත්තටම පසුගිය වසර දෙක තුන දිහා බලනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/2 යටතේ අත්‍යවශ්‍ය සාධකයක් වෙත සාමූහික වගකීම දිගින් දිගටම කඩවුණා. ජනධිපතිතුමාත්, ඇමතිවරුනුත් ඉතා ප්‍රසිද්ධියේම මෙම සාමූහික වගකීම කඩ කළා. රටකට ආණ්ඩුවකට එහෙම ඉදිරියට යන්න බැහැ. ඒක විශාල විනාශකාරි ගමනක් නිසා මේකට බලපාන ප්‍රධානම කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක බලය බලඅධිකාර දෙකකට බාරදී තිබුණු එක. 4 ඉ 4 ආ යටතේ ජනාධිපතිවරයා තමයි ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම ගැන ජනතාවට සම්පූර්ණයෙන්ම ඍජුවම  වගකියන තනි හා එකම පුද්ගලයා. මේ විධායක කාර්ය පිළිබඳව අනිකුත් අධිකාරවලට බලයක් තිබුණාට ඒ බලය ඍජුව ජනතාවට උත්තර දීමට බැඳීම නෙවෙයි. මේ නිසා ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන විධායක බලය ජනතා පරමාධිපත්‍යයේම කොටසක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන විධිවිධාන අනුව මේක විධිමත්ව මේ වෙනස කිරීමට කිසිදු බාධාවක් සිදුව නැහැ. අවාසනාවකට වගේ මේ පුළුල් ඉඩකඩ නොසලකා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකිරීමක් සිදුවෙලා තියනවා. කවුරු වචන අල්ලාගෙන කථා කරා වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්ථයක් වශයෙන් අරගෙන බැලුවහම මේ විදියට ක්‍රියාකිරීමට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයක් නැහැ. සමස්ථයක් ලෙස ගත්තාම සමහර වචනවලින් ගත්තාම පේනවා ඇත්ත වශයෙන්ම යම් අර්බුදකාරී වචන පාවිච්චි වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ. හැබැයි මේකේ වැදගත් වෙන්නේ වචන අර්ථයට වඩා මුඛ්‍ය අරමුණ. හැබැයි ඒක දිහා බැලුවම වෙන්නේ ඉතා දූරදර්ශීව ක්‍රියාකරන්න තිබූ අවස්ථාව විනාශ වූ බවත් මේක කිසිසේත්ම ඇතිනොවිය යුතු කාර්යයක්. මේ වෙනස කිරීමට විධිවිධාන ඕනතරම් තියනවා. පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් ජනාධිපතිවරයාට අමාත්‍යමණ්ඩලයට, අගමැතිවරයාට නමුත් මේ කරලා තියන කාරණය කරලා තියන ආකාරයට ඇත්තවශයෙන්ම දූරදර්ශී ආකාරයට කළහැකිව තිබුණා.

රටේ කිසිම අර්බුදයක් නෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ මහාචාර්ය මිල්ටන් රාජරත්න -

මේක බල අරගලයක් නෙවෙයි. විකෘතිව නිර්මාණය කරගත්ත දෙයක් තමයි මෙතන තියෙන්නේ. මෙතනදී ව්‍යවස්ථානුකූලව හිටපු අගමැතිවරයා ඉවත් කරලා නව අගමැතිවරයෙක් පත්කරලා තියනවා. ඊට පස්සේ ඇමැති මණ්ඩලයක් අවශ්‍ය වෙනවා ඉස්සරහට මේ රටේ ඉදිරි කටයුතු කරගෙන යන්න. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුව කල්තැබීම වුණත් කරලා තියෙන්නේ ඊට අනුකූලව ව්‍යවස්ථාවකට ජනාධිපතිවරයාට තියෙන බලතල ප්‍රකාරව. ඒ නිසා මට පෙනෙන්නේ නැහැ මෙතන කිසිම අර්බුදයක් තියනවා කියලා. අර්බුදයක් තියන රටවල ලක්ෂණ තියනවා. මිනිස්සු රටින් පලා යනවා. ආහාර හිඟවෙලා ජනතාව කඩවල් කඩනවා, කෝලහාල කරනවා. සුළුජාතිකයන්ට අන්‍යාගමිකයන්ට පහර දීලා හිංසා කරනවා. නමුත් ඒවා පේන්නත් නැහැ. දැන් අපිට පේන්න තියනවා මේ අලුත් අගමැතිවරයා පත්වුණු දවසේ ඉඳන් කොටස් වෙළඳපොළ ඉහළ යනවා. ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය වැඩි වෙලා තියෙනවා. නව බලාපොරොත්තු තියනවා. මෙතන කිසි දේශපාලන අර්බුදයක් පේන්න නැහැ.

ව්‍යවස්ථානුකූල බලතල භාවිත කිරීමක්
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි -

වර්තමානයේ රටේ ව්‍යවස්ථාමය අර්බුදයක් නැහැ. මේ සිදුවෙලා තියෙන්නේ ජනාධිපතිතුමා විසින් ව්‍යාවස්ථානුකූලව එතුමාට හිමිව තිබෙන බලතල අනුව කටයුතු කිරීමක් විතරයි. එතුමා සිදුකරපු මෙම ක්‍රියාවලිය දේශපාලන සංවිධාන විසින් ජන සමාජය තුළ මතයක් ඇතිකරන්න උත්සාහ කරනවා. මේක ව්‍යවස්ථාවට අනුකූල නැහැ. මේක ව්‍යවස්ථාවට අනුකූල නොවන ක්‍රියාවලියක් කියලා වැරදි මතයක් සමාජ ගතකරන්න හදනවා. ඒකෙන් ඔවුන් දන්නවා මේ ව්‍යවස්ථාවට අනුව මේ කාර්ය නිවැරදියි කියලා. ඇත්ත දැන දැන මොවුන් මේ සමාජය තුළ අසත්‍යය පතුරවන්නට උත්සාහ කරනවා. මේ වෙලාවේ මොවුන්ට මේකෙන් දේශපාලන වාසියක් ලබාගන්න පුළුවන් ද කියන කාරණය බලලා. ඇත්තටම මේක ව්‍යවස්ථාවට අනුකූල ක්‍රියාවක් කියලා තමයි කියන්නට තියෙන්නේ.

►හසිත් අංජන