2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ජනාධිපති ධූරය සහ දෝෂාභියෝගය

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 321

මේ වෙලාවෙ බැහැ - ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
සංකීර්ණ වැඩක් - නීතිඥ අජිත් පතිරණ

දෝෂාභියෝගය පිළිබඳව කතාව ගෙවුණු තීරණාත්මක දෙශපාලන සතිය තුළදී අපට කණින් කොණින් අසන්නට ලැබිණි. පසුගිය ඔක්තෝබර් 26 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තීරණය මෙම දෝෂාභියෝගයට කාරණාව බව එහිදී කියවුණි. පළමුව එක්සත් ජාතික පාර්ශ්වයේ රංජන් රාමනායක, මංගල සමරවීර ආදී මන්ත්‍රීවරැන් අතරින් දෝෂාභියෝගයේ කතාව ජනගත විය. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ නීතිමය පදනම ගැනත් පවතින තත්ත්වයේ ඊට ඇති අනුකූලතාව පිළිබඳවත් සොයා බැලීමට අප තීරණය කළෙමු.

දෝෂාභියෝගයක් හරහා ජනාධිපතිවරයකු ඉවත්කළ අවස්ථාවක් මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගෙනා දෝෂාභියෝගය පිළිබඳව කතාව චිරප්‍රසිද්ධය. විධායක බලතල හිමි ප්‍රබල ජනාධිපති ධූරයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කර ඇති අතර ඊට අවශ්‍ය රැකවරණයත් ව්‍යවස්ථාවෙන්ම උපරිමයෙන් ලබා දී ඇත. එසේ හෙයින් දෝෂාභියෝගය ප්‍රායෝගික නොවන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. එහෙත් ආසන්නතම කතාබහ හේතු කොටගෙන අප යම් සංවාදය දෝෂාභියෝගය පිළිබඳව ගොඩ නැගීමට අපේක්ෂා කරමු.

මේ පිළිබඳව තොරතුරු විමසීමට ප්‍රකට නීතිඥවරැන් දෙපළක් අප සම්බන්ධ කර ගතිමු. ඒ අනුව පළමුව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා දැක්වූයේ අදහස් මෙසේය.

දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය නම් එය ගෙන ආ යුතු ආකාරය මෙසේය. ජනාධිපතිවරයාට විරqද්ධ චෝදනා තිබේනම් ඒවා ඇතුළත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක අත්සනින් යුතුව ලියවිල්ලක් කථානායකවරයාට භාරදීමට කටයුතු කළ යුතුය. එසේ බාරදීමක් සිදුවුවහොත් කථානායකවරයා දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කිරීම සඳහා යොමුකිරීම අනිවාර්ය වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් සරල බහුතරයකගේ අත්සනින් යුතුව දෝෂාභියෝගයක් සඳහා වන චෝදනා ඉදිරිපත් වූ විට තත්ත්වය වෙනස්ය. කතානායකවරයා ඒ පිළිබඳව කරුණු සොයාබලා එම චෝදනාවල යම් හරයක් තිබෙන බවට සෑහීමකට පත්වේ නම් පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට එය ඉදිරිපත් කිරීම සිදුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට දෝෂාභියෝගය යොමුවුවහොත් සත්‍ය අසත්‍යතාව සොයාබලා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි. එම විභාගයේදී ජනාධිපතිවරයාට තවදුරටත් ධූරය දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී නම් එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලබයි. එවිට දෝෂාභියෝගය තුනෙන් දෙකක ජන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ලැබේ.

උද්ගත වී ඇති තත්ත්වය මත දෝෂාභියෝගයක් ගෙනෙන්නට අනිවාර්යයෙන් ඔවුන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකළ බව ඔප්පු කළ යුතුය. නමුත් මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූලවයි. එනිසාවෙන් මෙහිදී දෝෂාභියෝගයකට පදනම් වන හේතු සාධකයක් තිබේ යැයි සිතීම අපහසුය.

මනෝහර ද සිල්වා මහතාගේ අදහසට අනුව දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් චෝදනාවන් මේ මොහොතේ ගොනුකළ නොහැකි බව පෙනී යයි. ඒ අනුව පසුගියදා සිදුවූ බල පෙරළිය ව්‍යවස්ථානුකූල වෙයි. දෝෂාභියෝගයක් පිළිබඳව සාකච්ඡාවක් වන බව බල පෙරළියෙන් පසු හිටපු අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී ද කියවිණි. ඒ අනුව ඉදිරියේදී එජාපයේ ජනපති විරෝධය දෝෂාභියෝගයක් දක්වා විකාශනය වන බවක් අපට පුරෝකථනය කළ හැකිය. නමුත් දැන් රටේ පවතින අස්ථාවර දේශපාලන වටපිටාව තුළ එය නිශ්චය කර ගැනීම ඉතා අපහසු බව කිවයුත්තකි.

නීතිඥ අජිත් පතිරණ මහත්මාගෙන්ද දෝෂාභියෝගයක් කතාවේ නීතිය සහ පදනම, මේ මොහොතේ තත්ත්වය පිළිබඳව අපි විමසුවෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 38 අනු ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුරය අහිමිවීම පිළිබඳව දක්වා ඇත. ඒ අනුව අවස්ථා කිහිපයක් වන අතර දෝෂාභියෝගයක් පිළිබඳව කාරණය මෙසේය. චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද, රාජ්‍යද්‍රෝහී වීමේ වරද, අල්ලස සම්බන්ධ වරද, ස්වකීය බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද, යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරද ආදී වූ චෝදනා යටතේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකිය.

මෙම අවස්ථාවේදී ඉන් දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමට බලපෑම් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව කාරණ හා ස්වකීය බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම සම්බන්ධ කාරණාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 42 වගන්තියට අනුව අගමැතිවරයා පත්කර ගතයුතු ආකාරය දක්වා ඇත. ඒ අනුව “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාස උපරිම අයුරින් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගනු ලැබිය යුත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ගැටලුවක් මතුවන්නේ එවිටය. එය යම් පාර්ශ්වයකට දෝෂාභියෝගයක් සඳහා හේතු කර ගැනීමට හැකියාවක් පවතී. කෙසේ නමුත් දෝෂාභියෝගයක් ගෙන ඒම සංකීර්ණ ක්‍රියාවකි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වෙයි.

අජිත් පතිරණ මහතාට අනුව දෝෂාභියෝගයකට තරම් වන චෝදනාවක් පසුගිය සිදුවීම් දාමය පිටුපස තිබේ. එහෙත් දෝෂාභියෝගයක් සාර්ථකව ජයගැනීමට අද පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බලන කළ සුළුපටු කාර්යයක් නොවන බව හැඟෙයි. තවද එජාපයේ පසුපෙළින් දෝෂාභියෝග පිළිබඳව සංවාදය ආරම්භ වූ බව අසන්නට ලැබේ. ඇතැම් තොරතුරු වලට අනුව දැනටමත් එවන් ලියවිල්ලකට මන්ත්‍රීවරුන් අත්සන් තබන බව පැවසේ.

කෙසේ වෙතත් දෝෂාභියෝගයක් පිළිබඳව සංවාදයට අද වනවිට හිමිව ඇත්තේ දේශපාලන කරළියේ දෙවැනි තුන්වැනි තැනකි. අගමැති අර්බුදය, පක්ෂ මාරුව, විදෙස් අර්බුදය අද ඉතා ඉහළ අවධානයක් දිනාගත් සංවාදවෙයි. කෙසේ වෙතත් අප අවසානයේ අනාවැකියක් පළකරමු. මෙම බල අරගලයේ දෙවැනි අදියරේදී දෝෂාභියෝගයක් පිළිබඳව සංවාදය ප්‍රබලව මතුවීමට ඉඩ තිබෙන බවය.

 චමිඳු නිසල් ද සිල්වා