2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ආපනශාලා හිමියන්ගේ සංගම් සභාපති කියන දේ කෙරෙයිද?

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

නව කැබිනට් මණ්ඩලය පිහිටවූ වහාම සියලුම ආපන ශාලාවල බත්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස්වල මිල රුපියල් දහයකින්ද රුපියල් විස්සකට විකිණූ ප්ලේන් ටී එකක මිල රුපියල් පහකින්ද පහත දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

“2007 වසරේදී ආපනශාලා හිමියන්ගේ සංගමය ආරම්භ කළා. ලංකාවේ ලක්ෂ ගණනාවක් හෝටල් තියෙනවා. ආහාර සපයන ආයතන තියෙනවා. ඒ ආයතනවල අයිතීන් වෙනුවෙන්, ඒ ආයතනවල පැවැත්ම සඳහා අපිට සංවිධානයක අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා තමයි අපි මේ සංගමය ආරම්භ කළේ.” යැයි අසේල සම්පත් දේශයට පැවසීය.

ආහාරපාන සකසන සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යද්දී ඔවුන්ද මිල ගණන් ඉහළ දැමූ බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පහත හෙළද්දී එම ආහාරපානවල මිල ගණන් පහත දැමූ බවද ඔහු වැඩිදුරටත් පවසයි.
නමුත් එය මුළු රට තුළම ක්‍රියාත්මක නොවීය. ඒ පිළිබඳ නීති පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක නැත. ආහාරපානවල මිල ඉහළ යද්දී සියලුම ආපනශාලාවල මිල ඉහළ ගියද ආහාරපානවල මිල ගණන් පහත හෙළද්දී සියලුම ආපනශාලා ඒවා පහත දැමුවේ නැත. රටේ ඉතා සීමිත ආපනශාලා එම පහත හෙළූ මිලට ආහාරපාන ලබාදුන්නද ඒවා අතේ ඇඟිලි ගණනකට පමණක් සීමා විය.

බොහෝ දෙනකු මේ පිළිබඳව, රටේ අහිංසක ජනතාව පිළිබඳව සොයා බැලුවේ නැත.

“2015 දී බලයට පත්වුණු රජයෙන් අතුරු සහන රාශියක් ලබාදුන්නා. ඒ අය ගෑස් මිල අඩු කළා. ඒ වගේම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළා. ඒ අඩුකිරීමේ වාසිය අපි පාරිභෝගිකයාට ලබාදුන්නා. ඒ අනුව අපි ආප්පය රුපියල් දහයටත් ප්ලේන්ටිය රුපියල් දහයටත් ලබාදෙන්නම්යැයි පැවසුවා. එය රජයේ ගැසට් නිවේදනය කරන්න යැයි අපි ඉල්ලීම් කළා. නමුත් පාරිභෝගික අධිකාරිය ඒ කටයුත්ත සිදුකළේ නැහැ. නමුත් අපේ ව්‍යාපාරිකයෝ ඒ මිලට ලබාදීම ක්‍රියාත්මක කළා. රටේ නීතියක් නැතිවෙද්දී බොහෝ දෙනා හිතුමතේට ආහාරපානවල මිල වෙනස් කළා.” යැයි අසේල සම්පත් කියයි.

“පහුගිය වසර එකහමාරක් ඇතුළත මෙම රජය විසින් ආහාරපානවලට බදු එකතු කිරීමක් සිදුකළා. පිටරට ආහාරපාන මෙන්ම මෙරට නිෂ්පාදනය වන ආහාරපානවලට රජය අසීමිතව බදු එකතු කිරීමක් කළා. ඒ අවස්ථාවේදී මේ රටේ තුන්වේලක් කන්නට බැරි වාතාවරණයක් රට තුළ ඇතිවුණා.”

අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු වැඩිවීම හේතුවෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බඩට පහරක් වැදුණි. රුපියල් පන්දහස් ගණනකට තිබූ පොල්තෙල් කෑන් එක රුපියල් හත්දහස් පන්සීය දක්වා වැඩිවිය. ලුණු කැටයේ සිට අබ ඇටය දක්වා බදු ගසා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල නැංවූහ. එයින් තුන්වේලක් ආහාර ගත් ජනතාව එක් වේලකට දෙකකට පමණක් සීමා විය. ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වාදෙන පරිදි ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ අඩුවීමක් දක්නට ලැබුණි.

එකල උදෑසන ආහාරවේල සඳහා ආපනශාලා වෙත එන පාරිභෝගිකයන් කඩල, මුංඇට, රතුහාලේ බත් වැනි පෝෂ්‍යදායී ආහාර ලබාගත්තද ආර්ථිකය කඩා වැටෙද්දී, තම අතේ ඇති මුදල අහිමිවෙද්දී, ශරීරයේ නිරෝගීකම වෙනුවට ඒ වෙලාවේ ඇතිවන කුසගින්න නිවා දමන්නට පමණක් සමහරු ආහාර ගැනීමට පෙළඹුණහ. ආපනශාලාවලට ගොස් උදෑසන කඩල පිඟානක්, බත් පිඟානක් ආහාරයට ගැනීමට පුරුදු වූ පාරිභෝගිකයන් බොහෝ දෙනා පරාටා දෙකක් ආහාරයට ගෙන ඇල්වතුර කෝප්පයක් පානය කර වේල් දෙකකට තම කුස පුරවාගන්නට පෙළඹුණි. මේ නිසා පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත කඩල, කව්පි, බත් වැනි බොහෝ දේ ආපනශාලාවලින් ඉවත් කිරීමට ආපනශාලා හිමියන්ට සිදුවිය. මෙය බෝනොවන රෝග ව්‍යාප්තියටද බලපෑමක් ඇතිකළ බවද කියති.

කර්මාන්තශාලා පවත්වාගැනීමටත්, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටත් ඇති අවශ්‍යතාව හේතුවෙන් මෙම ආහාරපානවල අඩු වැඩි වීමක් සිදුවිය. මේ නිසා අත්‍යාවශ්‍ය ආහාර ගණයට බත් පැකට්ටුව, ප්ලේන්ටිය වැනි අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක්ම ඇතුළත් කරන ලෙස ආපනශාලා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කළේය.

“සමහර හෝටල්වල බනිස් ගෙඩියයි ප්ලේන්ටියයි ගත්තාම රුපියල් හැටයි කියනවා. මුදලාලි ඉඳිද්දී එක ගාණක්. දරුවෝ ඉඳිද්දී එක ගාණක්. සේවකයෝ පාලනය කරද්දී තවත් ගාණක්. ඒක එහෙම වෙන්න බැහැ. ඒ කාලේ මිල දර්ශනය ප්‍රදර්ශනය කළ යුතු යැයි කීවත් අද ඒ තත්ත්වය රට තුළ ක්‍රියාත්මක වෙලා නැහැ.” යැයි අසේල සම්පත් පැවසීය.

පහුගිය 26 වැනිදා ජනාධිපති ගත් තීරණය හේතුවෙන් ඉදිරියේදී මේ රටේ පාරිභෝගිකයන්ට විශාල සහනයක් සිදුවන බව අසේල සම්පත් පැවසීය.

“මේ අලුත් තීරණයත් එක්ක ව්‍යාපාරිකයන් වශයෙන් අපට නව බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන් වේවි. පාරිභෝගිකයන්ට පහුගිය වැඩපිළිවෙළ සම්බන්ධව පැවතුණේ කලකිරීමක්. මේ නිසා ජනාධිපතිතුමාගේ මේ තීරණයත් සමඟ අපි බත් පැකට් එක, ෆ්‍රයිඩ් රයිස් එක සහ ප්ලේන් ටී එකේ මිල අඩුකිරීමට තීරණය කළා. ඒ අඩුකිරීම හරහා වත්මන් රජයට අපි යම්කිසි පණිවිඩයක් ලබාදුන්නා. අපි ආහාර මිල අඩු කළා. ඒ හරහා රජයට පාරිභෝගික පනත ශක්තිමත් කරන ලෙස අපි ඉල්ලීමක් කළා. ඒ හරහා අත්‍යාවශ්‍ය ආහාරපානවලට නිවැරදි මිලක් නියම කර ඒ මිල ලංකාවටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන්න යැයි අපි යෝජනා කරනවා. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති අසීමිත බදු වහාම ඉවත් කරන ලෙසත් මේ ලංකාවේ සතර දිග්භාගයේ සිටින අසරණ ගෝවීන්ගේ ආහාර බෝගවලට නිශ්චිත මිලක් හඳුන්වා දෙන ලෙසත් අපි රජයෙත් ඉල්ලා සිටිනවා.” යැයිද ඔහු කියයි.

මෙලෙස බත් පැකට්ටුව, කොත්තු සහ ෆ්‍රයිඩ්රයිස් මිල රුපියල් දහයකින්ද ප්ලේන් ටී එකක මිල රුපියල් පහකින්ද අඩුකිරීම රට තුළ සෑම ආපනශාලාවකම සිදුවෙනවා යැයි සිතීම විහිළුවකි. මේ කිසිදු ආහාරයකට සම්මත මිලක් නොමැත. ආපනශාලා හිමියෝ හිතූ හිතූ මිලට තම ආහාරපාන විකුණති. මේ පිළිබඳව අප කළ විමසීමකදී අසේල සම්පත්ගේ අදහස වූයේ මෙසේය.

“ඇත්ත.. මේ මිල හැම ආපනශාලාවකම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒක අපි පිළිගන්නවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ මේ කිසිම ආහාරයකට මිලක්, නීතියක් නැහැ. වැඩි මිලට විකිණීම සම්බන්ධවද නීති රීති නැහැ. වැටලීමක් සිදුකරන්නත් ඒ සඳහා නිශ්චිත මිලක් තිබිය යුතුයි. ඉතින් නීතියක් නැති රටක හිතුණු හිතුණු මුදලට විකුණන්න පුළුවන්. අපි කියන්නෙ කොළඹ, දඹුල්ල, සඳලංකාව, යාපනය සහ ඕනෑම ප්‍රදේශයක තියෙන ආපනශාලාවල විකුණන ප්ලේන්ටියක සිට සෑම ආහාරපානයකටම සිල්ලර මිලක් නියම කරන්න කියලයි අපි කියන්නෙ. ඒ සඳහා පාරිභෝගික පනත ශක්තිමත් කළ යුතු බවද අපි යෝජනා කරනවා.” යැයි ඔහු කියයි.

 දිශානි ජයමාලි කරුණාරත්න

අපි මිල අඩුකරන්නේ නැහැ
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු.              

“ඒක තීරණය කරලා තියෙන්නේ ආපනශාලා සංගමය විසින්. ඒ කියන්නෙ කැන්ටින් කරන කට්ටියයි. ඒ ප්‍රකාශයට අපගේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි අපේ කිසිදු ආහාරයක මිල වැඩි කරලත් නැහැ. මිල අඩු කරලත් නැහැ. ඒ වගේම ඒවායේ මිල අඩුකිරීමක් සම්බන්ධව අපි කිසිම ප්‍රකාශයක් කරලත් නැහැ.