2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

වසර හතකට පසු ලංකාවට එන එරෝෆ්ලොට්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සේවා ආයතන රැසක් ලංකාව වෙත සිය ගුවන් ගමන් ඇරැඹීමට කැමැත්ත පළකර තිබේ. ඒ අනුව වසර 7කට  පමණ ඉහත සිට  සිය ගුවන් ගමන් ලංකාව වෙත අත් හිටවා තිබූ රුසියාවේ ප්‍රමුඛ ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ආයතනය පසුගිය 28 දා නැවතත් මොස්කව් සිට කොළඹට ගුවන් ගමන් ඇරැඹුවේය. රුසියානු ගුවන් සේවය බදාදා හැර ඉරිදා ඇතුළු සතියේ අනෙකුත් සියලු දිනවල මොස්කව් සිට කොළඹ අතර ගමන්වාර ඇරැඹීමට කටයුතු යොදා තිබේ. එරෝෆ්ලොට් ආයතනය සිය ගමන් වාර ඇරැඹීමට සමගාමීව ඉන්දියාවේ විස්ටාරා සහ ස්විට්සර්ලන්තයේ එඩෙල්වෙයිස් සමාගම් ද ඉදිරි දෙමස තුළ ලංකාව කරා සිය සේවා ව්‍යාප්තියට අරමුණු කර සිටිති. ලෝකයේ ඉපැරැණිතම වෙළෙඳ ගුවන් සේවාව වන වර්ෂ 1919 සිට ක්‍රියාත්මක කේ.එල්.එම් සේවාව ද දැන් ලංකාව කරා පැමිණෙයි.

රුසියානු එරෝෆ්ලොට් ආයතනය සතු ඒ330 එයාර්බස් යානා මොස්කව් ෂ්රිමි‍ගටෝයොව් වන්තොටුපොළ සිට කටුනායක බලා ඉදිරි සිසිර සමයේ සංචාරකයන් රැගෙන මුල්වරට ලබන මාර්තු අග සිට පැමිණෙන්නට නියමිතය. මේ සඳහා වූ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම ඔන්ලයින් ඔස්සේ දැනටමත් අරඹා හමාරය. ලංකාවේ අභ්‍යන්තර ගුවන්තොටුපොළ කිහිපයක්ම ඒ කාලය වන විට ක්‍රියාත්මක වන්නට නියමිතය. පලාලි, ත්‍රීකුණාමලය, මඩකළපුව ඒවාය. සීගිරිය සහ කොග්ගල නුදුරු අනාගතයේම අලුත් ගුවන්තොටුපොළ ඇරැඹීමට බලාපොරොත්තු වේ. ආසන 9, 12 සහ 50 සහිත කුඩා යානා රට තුළ සේවයේ යෙදවීමට සමාගම් 3ක් මේ වනවිට සැලසුම් කර හමාරය. 

මොස්කව් නුවර සිට රාත්‍රී 10.05ට පිටත්වන එයාර්බස් යානය පසුදා උදාසන 9.05 වනවිට කටුනායකට ළඟා වීමට නියමිතය. එරෝෆ්ලොට් ආයතනය ගත් මෙම තීන්දුව ශ්‍රී ලංකා ගුවන් ගමන් සේවාවට ඉතා වාසිදායී ලෙස බලපාන්නකි. ලංකාව කරා ව්‍යපාරික ගමන් සහ සංචාරක ගමන් ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයකට මෙය හේතු වනු ඇත. අතරමැද ගුවන් යානා මාරු කරමින් රස්තියාදු වීමට මගීන්ට සිදුවන අවාසිදායක අපහසුතාව ද එරෝෆ්ලොට් ආයතනය සිය සේවා ඇරැඹීම සමඟ ඉවත්වන්නට නියමිතය. 

මෑතකදී අන්තර්ජාතික ගුවන්සේවා සමාගම  (IATA)  මඟින් මෙරට ගුවන් සේවා බලධාරීන් වෙත දන්වා තිබූ අවාසිදායක කාරණාවක් වූයේ ඔවුන් සිදුකළ සමීක්ෂණයකට අනුව ලංකාවේ ගුවන්යානා ඉන්ධන ගාස්තු කලාපයේ අනෙකුත් ගුවන්තොටුපොළවලට සාපේක්ෂව ඉතා අධික බවය. නිදසුනක් ලෙස සිංගප්පූරුව හා තායිලන්ත ඉන්ධන ගාස්තු සමඟ සැසඳීමේදී සියයට 50කින් පමණ එය ඉහළ බවත් ගුවන්තොටුපොළ බදු ආදිය ද  ඉතාමත් ඉහළ මට්ටමක ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබුණි. ඒ හේතුවෙන් ලෝක ගුවන් සේවා ආයතන ලංකාව වෙත පැමිණීම අවාසිදායක හෙයින් ආකර්ෂණීය නොවන ගමනාන්තයක් ලෙස සැලකිය හැකි බවට අන්තර්ජාතික ගුවන්සේවා සමාගම (IATA)  අනතුරු අඟවා තිබුණි. එරෝෆ්ලොට් ආයතනය ලංකාව සමඟ නැවත ගනුදෙනු අරඹන්නට තීරණය කරන්නේ මෙබඳු පසුබිමකය. 

එරෝෆ්ලොට් ආයතනය වසර 95කට ඉහත 1923 පෙබරවාරියේදී සිය සේවාව ඇරැඹි දිගුකාලීන ප්‍රවීණතාවක් සහිත ලොව පැරැණිතම ගුවන් සේවාවකි. සෝවියට් සංගමය ක්‍රියාත්මක වූ සමයේ සෝවියට් ජාතික ගුවන් සේවාව වූයේ මෙයයි. ස්කයි ටීම් ගුවන් සංධානයේ සාමාජිකත්වය දරන මේ සමාගම සතුව දැනට ගුවන් යානා 248ක් පවතී. රටවල් 52ක ගමනාන්ත 146ක් කරා මෙම යානා දිනපතා ගමනේ යොදවයි. මෙම ආයතනයේ කොටස් අයිතියෙන් සියයට 51ම රුසියානු රජය සතුය. 

මේ වන විට සේවක මණ්ඩලය 30328කි. ලෝකයේ  මුල්ම වතාවට ජෙට් යානා භාවිතයට ගත්තේ මෙම සමාගමයි. ටි යු - 104 යානා එසේ සේවයට එක්වූයේ 1956දීය. එසේම රට තුළ ප්‍රවාහනයට මුලින්ම ජෙට් යානා යොදා ගත් ආයතනය ද එරෝෆ්ලොට්ය. ලෝකයේ ලොකුම ගුවන් සමාගම ලෙස කලකට ඉහත සැලකුණේ ද එරෝෆ්ලොට්ය. මුල් කාලයේ සිය රටේ නිෂ්පාදන සමාගම්වල ජෙට් යානා සේවයේ යෙදවූවද දැන්  මෙම ආයතනය ද එයාර්බස් සහ බෝයිං ඇතුළු බටහිර නිපැයුම් ද භාවිතයට ගෙන තිබේ. වාර්තාගත අන්දමට 1995 සිට 2017 දක්වා වසර 22ක කාලය තුළ එරෝෆ්ලොට් යානා ආශ්‍රිත සිද්ධි වාර්තා වී ඇත්තේ 10ක් පමණි. අවසන් වතාවට එයාර්බස් යානයක් ධාවන පථයෙන් පිටතට පැන තිබුණේ 2017 ජනවාරියේදීය. සිද්ධියේ කිසිවකුට හෝ අනතුරක් සිදුනොවිණි. දැනට ලෝකයේ ඕනෑම මොහොතක ගුවන්ගතව ඇති යානා අතරින් 10න් 1ක් සැමවිටම එරෝෆ්ලොට්ය.

 සුගත් පී. කුලතුංග ආරච්චි