
ඇරිස්ටෝටල් බලය ගැන අපූරු කතාවක් කියයි. ඒ අනුව මිනිසුන් උපතින්ම ආශාවන් තුනක් රුගෙන එන බවත් එම ආශාවන් තුනම බලය මත පදනම් වී ඇති බවත් ඇරිස්ටෝටල් කියයි. එනම්,
1. ධනය රැස් කිරීමේ ආශාව
2. දේශපාලන බලය ලබා ගැනීමට ඇති ආශාව
3. ලිංගික ජීවිතයක් ගත කිරීමේ ආශාව
මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන ජීවියකු වන බවත් ඇරිස්ටෝටල් කියන්නේ ඒ නිසාය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගියදා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධව පිහිටුවා තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කළේය. ඒ සමඟම ඒ වනතෙක් පැවති ජාතික ආණ්ඩුව බිඳවැටුණු අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය. එහෙත් මේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධීයැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වය හඬ නගමින් සිටී.
ප්‍රධාන පක්ෂ දෙක තුළ ඇති වී තිබෙන දේශපාලන බල අරගලය ගැන එදිනෙදා මහමගදී හමුවන ජනතාවගෙන් දේශයේ අපි විමසීමක් කළෙමු.
රට විනාශ වෙනහැටි බලන් ඉන්න බැරි වුණා..
ගෝමස් - කඳාන
මම ක්‍රිස්තියානි කෙනෙක්. ඒ නිසා මම මුලින්ම මෙහෙම එකක් කියන්න කැමතියි. එදා හිටියා ජේසුට ගෝලයෝ දොළොස් දෙනෙක්. ඒ දොළොස් දෙනාගෙන් එක්කෙනෙක් ජේසුට විරැද්ධවාදීකම් දැක්වූවා. එදා හිටපු පූජකවරැ ඒ ගෝලයා වරදට පෙළෙඹුවා. ජේසු පාවාදෙන විදියට ඔහු ජේසු පාවාදුන්නා. ජේසු කුරුසයේ ඇණගසා මැරුවා. පස්සේ ඒ ගැන ඔහුත් දුක්වෙලා එල්ලිලා මැරුණා. ජනාධිපතිතුමාත් මීට අවුරුදු 3කට කලින් ඒ වගේ දෙයක් කළා. නමුත් එතුමාට ඒක පස්සේ වැටහුණා. එතුමා පසුතැවෙන්න ඇති රට විනාශ වෙනවා දැකලා එතුමාට බලන් ඉන්න බැරැව ඇති. ඒ නිසා තමයි ඔහු නැවත මහින්ද මහත්තයා අගමැති කළේ. මහින්ද මහත්තයා තමයි 30 වසරක කුරිරු යුද්ධයෙන් මේ රට බේරාගත්තේ. ඒ නිසා මේ වුණු වෙනස රටට හොඳයි කියලා හිතනවා. කොහොම වුණත් ජනාධිපතිවරයා මේ වෙලාවේ අරගෙන තියෙන්නේ ඉතා යහපත් තීන්දුවක්. හිටපු අගමැතිතුමාට බහුතරය පෙන්වන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ.
කවුරු ආවත් ජනතාවට වැඩක් නෑ
ඒ.කේ.එස්. ජයවීර - අතුරුගිරිය
කවුරු පාලන බලයට ආවත් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. කවුරු ආවත් ජනතාවට අන්තිමට වෙන්නේ හැමදාම වගේ බදු ගෙවන්න. මේ පාලන ආණ්ඩු දෙකම රටට ගැලපෙන්නේ නැහැ. හැමදාමත් රටේ දේශපාලනයෙන් ගොඩගියේ පාලකයෝ විතරයි. ජනතාව හිටියේ හැමදාම පීඩිතව. බලයට එන්න මේ අය මේ තරම් පොරකන්නේ රටට තියෙන ආදරේකටද? නැහැ. මොවුන් බලයට එන්න දඟලන්නේ මොවුන්ගේ හොද්ද බොරකර ගන්න. එහෙම නැතුව රටට තියෙන ආදරයටවත් ජනතාවට තියෙන ආදරයටවත් නෙවෙයි. බල අරගල කරන්නේ ඔවුන් ඔවුන් වෙනුවෙන්මයි. කොයි ආණ්ඩුව මාරු වුණත් අපිට දකින්න පුළුවන් වෙන්නේ එකම ඔළුගෙඩි ටිකක් විතරයි. ඒ නිසා රටට ආදරය කරන රට ගැන හිතන කවුරැන් හෝ බලයට එනකම් මේ රටේ අහිංසක ජනතාවට වෙන්නේ හැමදාම ඔවුන්ගේ දේශපාලන වහල්ලු වෙලා ඉන්න විතරයි.
අපට තියෙන්නේ කලකිරීමක් විතරයි
සඳරුවන් - දියතලාව
මේ රටේ දේශපාලනය ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. මාර විදියට කලකිරීමක් විතරයි තියෙන්නේ දේශපාලනය ගැන. මොකද දේශපාලන අරගල මොනවා වුණත් වෙන්නේ පාලකයන් මාරුවෙන එක විතරයි. ක්‍රමය මාරුවීමක් වෙන්නේ නැහැ. එකම එක ඇමැති මණ්ඩලය තමයි කවුරු බලයට ආවත් ඉන්නේ. පැවතුණු යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරැ අල්ලනවා කියලා. නමුත් අවුරැදු 3ක් යනකම් ගිය ආණ්ඩුවෙන් කරපු කිසිම හොරකමකට පියවර ගන්න ඔවුන්ට බැරිවුණා. මොවුන්ගේ බල අරගලය හොඳයි ඔවුන් සමඟ එකට ඉන්න ඔවුන්ගේ ළඟම හිතුවතුන්ට. එහෙම නැතුව සාමාන්‍ය ජනතාවට කොයි කවුරු ආවත් සෙතක් වෙන්නේ නැහැ. බල අරගලය මොවුන් කරන්නේ පැවැත්ම උදෙසාම පමණයි. දැන් ඩොලරයක මිල කීයද බලන්න. රුපියල බාල්දු වෙලා. බඩුමිල අහස උසට ගිහින්.
උදේට විපක්ෂයේ; හවසට ආණ්ඩුවේ
නිහාල් - කළුතර
මේ වෙන්නේ මොකද්ද කියලා අපිටත් හිතාගන්න බැරුව තමයි ඉන්නේ. මේ අය බලයට පොරකන එක තමයි කරන්නේ. දැන් අද විපක්ෂයේ ඉන්න අය උදේට එක පක්ෂයක ඉඳලා හවසට ගිහින් ඇමැතිකම්වල දිවුරැම් දෙනවා. මේවා හරි විහිලු. දැන් ජනතාවට පැවතුන රජයට බොහෝ බලාපොරොත්තු තියාගෙන තමයි ජනතාව ඡන්දය ලබාදුන්නේ. නමුත් දෙනවා කිව්ව පොරොන්දු කිසි දෙයක් ලබා දුන්නෙ නැහැ. මේ ප්‍රධාන පක්ෂ දෙක මාරැවෙන් මාරැවට රට පාලනය කරනවා විතරයි. ජනතාව හැමදාම එකම තැන එකම විදියට ඉන්නේ. මිනිස්සුන්ට දරාගන්න බැරි විදියට බදු පනවලා. වෙනසක් අවශ්‍යයි කියලා ජනතාව බලයට ගෙනාපු රජයනුත් අන්තිමට කළේ ජනතාව පීඩාවට පත්කරපු එක විතරයි. ඒ නිසා ඔය කවුරු පාලන බලයට ආවත් ජනතාවට වැඩක් නැහැ.
වෙනසට අපි කැමතියි
අනුර - දෙල්ගොඩ
මහින්ද මහත්තයා බලයට ආපු එකට අපි කැමැතියි. එතුමාගේ කාලයේ තමයි මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන් වුණේ. රටේ ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් එතුමා තමයි හදලා දුන්නේ. පැවතුණු රජයෙන් මහින්ද මහත්තයට හොරා හොරා කියලා චෝදනා කළා. ඒ වුණාට ඒ ඔක්කොටම වඩා බැඳුම්කර හොරකම ලොකු නැද්ද? කොහොම වුණත් රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් එතුමාට විතරයි. එතුමා තමයි රට සංවර්ධනය කළේ. දැන් එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්නනවා කිව්වට ඒ අයට බහුතරය පෙන්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි
නම සඳහන් කිරීමට අකමැති වූ මහවැව පදිංචිකාරියක්
සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන කියන මතයේ තමයි මම ඉන්නේ. රටේ ජනතාව තමයි තීරණය කරන්න ඕන. මේ රටට හිතැති පාලකයන් කවුද ජනතාවට වැඩක් වෙන පාලකයා කියලා බලලා තීරණයක් ගන්න එක තමයි හොඳම දේ.
හසිත් අංජන