2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

නව කැබිනට් මණ්ඩලයේ දිව්රුම් දුන් සාමාජිකයෝ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

පසුගිය විසිහය වැනිදා රාත්‍රියේ සිදුවූ බල පෙරළියෙන් අනතුරුව නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම පසුගිය සතියේ සිදුවිය. එය අදියර කිහිපයක් යටතේ සිදුකරනු ලැබීය. අප මේ සටහන තබන මොහොත වනවිටත් සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය පත්කොට අවසන් නැත. බල පෙරළියත් සමඟ පක්ෂ මාරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට කැබිනට් අමාත්‍ය ධුරය හිමිවීම මෙහි සුවිශේෂී අවස්ථාවක් විය. තවද ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් කැබිනට් අමාත්‍ය ධුර ප්‍රතික්ෂේප කිරීම ද සුවිශේෂී සිද්ධියක් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පළමු අදියරේ කැබිනට් අමාත්‍යවරු දොළොස් දෙනෙක් දිවුරැම් දුන්හ. එය සිදුවූයේ ඔක්තෝබර් 29 වැනිදාය. එහිදී අභිනව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවධියේ ද මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. මෙම අමාත්‍ය ධුරය අගමැතිවරයාට ලබාදෙනු ලැබුවේ ර‍ට තුළ උද්ගතව ඇති ආර්ථිකයට ශක්තිමත්ව මුහුණදීමේ අරමුණින් බව පසුව කියැවුණි.

29 වැනිදා දිවුරුම් දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් බොහෝ දෙනකුට පෙර ඔවුන් දරන ලද අමාත්‍ය ධුරයම හිමිවීම සුවිශේෂී කරුණකි. 
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතාට පෙර කටයුතු කළ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍ය ධුරයම හිමිවිය. මහින්ද සමරසිංහ මහතාට එතුමන් ඉහතදී දරනු ලැබූ වරාය හා නාවික කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය හිමිවූ අතර මහින්ද අමරවීර මහතාට ද පෙර දැරූ කෘෂිකර්ම අමාත්‍ය ධුරය හිමිවිය. එලෙසින්ම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති කැබිනට් අමාත්‍ය ධුරය හිමිවූයේ රංජිත් සියඹලාපිටිය මහතාටය. ෆයිසර් මුස්තාපා මහතා ද තමන් විසින් පෙර දරන ලද පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයේම මෙහිදී දිවුරුම් දෙනු ලැබීය. පළමු අදියරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වෙනුවෙන් පෙර දරන ලද අමාත්‍ය ධුරයක් වෙනස් වූයේ ආචාර්ය සරත් අමුණුගම මහතාගේය. ඒ අනුව විද්‍යා, තාක්ෂණ හා පර් යේෂණ අමාත්‍ය ධුරයේ කටයුතු කළ ඒ මහතා විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබීය.

එක්සත් ජාතික පක්ෂයෙන් වර්තමාන ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුට පළමු අදියරේ දී කැබිනට් අමාත්‍ය  ධුර ලැබිණි. පෙර ජාතික ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ විජේදාස රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීම එයින් විශේෂිත සිද්ධියකි. බල පෙරළිය සමඟ විශාල කතාබහක් ඇතිකළ එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාට ද සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය ධුරය හිමිවිය. ඒ මහතා පෙර ජාතික ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.

මීට අමතරව පළමු අදියරේ ඊ.පී.ඩී සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට නැවත පදිංචි කිරීමේ, පුනුරැත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය ලැබිණි. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය හිමිවූයේ කඳුරට ජනතා පෙරමුණේ ආරැමුගම් තොණ්ඩමන් මහතාටය. ඉහත දැක්වූ පරිදි පළමු අදියරේ දී පත්වූ කැබිනට් අමාත්‍යවරු දොළොස් දෙනා එසේය.

දෙවැනි අදියරේ අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම සිදුවූයේ නොවැම්බර් මස පළමු වැනිදාය. මෙහිදී කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස්දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සය දෙනෙක් දිවුරුම් දුන්හ.

මෙම අදියරේදී කැබිනට් අමාත්‍ය ධුර ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ දෙදෙනෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දරන දුමින්ද දිසානායක මහතා පෙර කටයුතු කළ වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණය කැබිනට් අමාත්‍ය ධුරයේම පත්වීම් ලැබීය. ඒ මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට යන බවට හා එජාපයට එකතුවන බවට විවිධ ආරංචි පැතිර ගිය ද බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරැව අමාත්‍ය ධුරය බාරගත් බව කියැවිණි. එදින දිවුරුම් දුන් අනෙක් කැබිනට් අමාත්‍යවරයා වූයේ දයාසිරි ජයසේකර මහතාය. ඒ මහතා විශ්වාසභංගයට පක්ෂව ඡන්ද ලබාදුන් ශ්‍රීලනිප දහසය දෙනාගේ කණ්ඩායම නියෝජනය කළ නමුත් ඒකාබද්ධයට එක් නොවී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ දිගින් දිගටම කටයුතු කළේය. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කැබිනට්  අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දයාසිරි ජයසේකර මහතා අවසන් වරට කටයුතු කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසය.

සිකුරාදා දින සැන්දෑවේදී තවත් කැබිනට් අමාත්‍යවරැන් පිරිසක දිවුරුම් දීමට නියමිතව තිබුණි. අප මේ සටහන නිමාකරන මොහොත වනවිටත් එම දිවුරැම් දීම සිදුවී නොමැත.

චමිඳු නිසල්