2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

හිටපු අගමැතිතුමා අමාරුවේ වැටුණේ වටේ ඉන්න ටික දෙනා නිසා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

පසුගිය (26) වැනි සිකුරාදා හදිසියේම මෙරට තුළ ඇති වූ දේශපාලන බල පෙරළිය ගැන මේ වනවිට රටම කතාබහ කරන මාතෘකාවකි. එදින පස්වරුවේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අතර මෙතෙක් පැවති යහපාලන රජය ඉන්පසු බිඳ වැටුණේය.

නව අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නව අගමැතිවරයාට සහය පළකරන බව පැවසුවේ නව අගමැතිවරයාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

29 වැනිදා සඳුදා පස්වරුවේ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අතර එහිදී ආනන්ද අලුත්ගමගේ මහතා සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

පසුගිය 31 වැනි බදාදා සිය ධූරයේ වැඩ බාරගත් ආනන්ද අලුත්ගගේ මහතා සමඟ පැවැත්වූ සංවාදයකි මේ.

‍නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔබ එදිනම ගොස් නව අග්‍රාමාත්‍යවරයාට සහය පළකරන බව පැවසුවා. ඇයි එකපාරටම මෙහෙම නව අගමැතිවරයාට සහය පළකිරීමට තීරණය කළේ?

බොහොම පැහැදිලිවම මේ රටේ අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ජනතාවගේ හිත සුව පිණිස වැඩ කොටසක් ඉටු කිරීමට විවිධ යෝජනාවන් ගෙනාවා. නමුත් එතුමාට ජනතාව ගැන කැක්කුමක් ඇත්තේ නැහැ. තමන්ගේ වටේ ඉන්න කිහිපදෙනකුගේ යෝජනා අනුව තමයි එතුමා කටයුතු කළේ. ඒ නිසාම තමයි අද මේ රටේ වෙනස සිදුවුණේ. රටේ ජනතාව ගැන එතුමාට කිසිම අවබෝධයක් ඇත්තේ නැහැ. ජනතාව ගැන එතුමා හිතන්නේ නැහැ. මේ විදිහට රට ගැන කිසි තැකීමක් නොකර වැඩ කිරීමේ ප්‍රතිඵලය තමයි මේ එතුමාට හම්බවෙලා තියෙන්නේ. ඒ වගේම මේ වනවිටත් කිහිපදෙනෙක් එතුමා රකින්න උත්සාහ කරනවා. ඔවුන්ට තේරෙයි පස්සේ මේකෙ ආදීනව මොකද්ද කියලා. ඒ වගේම රටේ ජනතාව සමාජය ප්‍රතික්ෂේප කරපු කිහිපදෙනෙක් හිටපු අග්‍රාමාත්‍යවරයා වටා ඉන්නවා. ඔවුන් නව අගමැතිවරයා හමුවෙලා සහය දක්වන්න කැමැත්තත් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ර‍ටේ ජනතාව සමාජය ප්‍රතික්ෂේප කළ එම මන්ත්‍රීවරැන් ළඟට ගැනීමට කැමැත්තක් නැහැ.

ඔබ නව අගමැතිවරයාට සහය පළකිරීමට පැමිණෙන බවට ඔබගේ ඡන්දදායකයන්ගෙන් විමසීමක් කළාද? මොකද්ද ඔවුන්ගේ අදහස වුණේ?

එක දවසක් නෙවෙයි. මේ අවුරුදු දෙකක කාලය තුළම ඡන්දදායකයන් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට ගෙනියන්න බැහැ. මෙතුමා මීට කලිනුත් ආණ්ඩුව කළා 2001 – 2004 කාලය තුළ. නමුත් සාර්ථක වුණේ නැහැ. ඡන්දදායකයන් කිව්වේ වැඩක් කරයි කියලා හිතන්න පුළුවන් මෛත්‍රී ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විතරයි කියලා. ඒ නිසා ඔවුන් සමඟ එකතු වෙන්න කියලා ඡන්දදායකයන් මට පැවසුවා.

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඔබ බලාපොරොත්තු වන දේ ඉටුවෙයිද?

එතුමා වැඩක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ අවුරුදු 30 පැවතුණු යුද්ධයක් එතුමා අවසන් කරලා තියෙනවා. ඒ නිසා එතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් ජනතාවට වගේම අපිටත් තියෙනවා.

පැවතුණ යහපාලන රජය ගැන මේ තරම් කලකිරීමට මොකද්ද හේතුව?

හිටපු අගමැතිවරයා කවදාවත් විවෘත තීන්දුවක් ගත්තේ නැහැ. පක්ෂයේ තීන්දු නෙවෙයි එතුමා ක්‍රියාත්මක කරන්නේ. එතුමා වටේ හිටපු කිහිපදෙනකුගේ තීන්දු විතරයි. එතකොට පක්ෂයේ තීන්දු නෙවෙයි මහජනතාව අතරට යන්නේ. එතකොට තමයි ගැටලු ඇතිවෙන්නේ. ඒ අගමැතිවරයා වටා හිටපු ඒ කිහිපදෙනා නිසා තමයි අද මේ විදිහට ප්‍රශ්නයකට එතුමාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.

නියෝජ්‍ය ඇමැතිකමක් ලබාදෙන පොරොන්දුව මතද ඔබ නව අගමැතිවරයාට සහය පළකිරීමට ගියේ?

මම කිසිම වරදාන වරප්‍රසාද ඉල්ලුවේ නැහැ. නියෝජ්‍ය අමැතිකමට නම කියනකොට තමයි මම දන්නේ මට නමක් තියෙනවා කියලා. වරදාන වරප්‍රසාද මම කොහොමත් බලාපොරොන්තු වෙන්නේ නැහැ. මේ රටට, ජනතාවට සෙතක් වෙනවනම් වැඩක් වෙනවනම් අන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව. වරදාන වරප්‍රසාද නැතුව වුවද ජනතාවට වැඩක් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒ හැකියාව මට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් තවත් 20 දෙනෙක් නව අගමැතිවරයාට සහය පළකරන්න පැමිණෙන බව ඔබ පවසා තිබුණා.

අනිවාර්යයෙන්ම එනවා.

කවුද ඒ අය?

ආපුවම ඔබලට බලාගන්න පුළුවන් වෙයි.

ඒ වගේම ඔබ මාධ්‍ය හමුවකදී පවසා තිබුණා ඔබ එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරිලා හිටියේ එජාපයට සම්බන්ධ වී මාස දෙකක් යන්නටත් ප්‍රථමයෙන් බව. ඒ ඇයි? එහෙනම් මොකද මෙච්චර කල් බලන් හිටියේ?

වෙලාව එනකම් බලන් හිටියේ. ඕනම දේකට වෙලාවක් එන්න එපැයි. වෙලාව ආවා. ඒ වෙලාවට ගන්න ඕන තීරණය ගත්තා.

►සටහන - හසිත් අංජන
ඡායාරූප - සුමුදු හේවාපතිරණ