2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

නගර සභා ඉඩමෙන් ගාණ කපන අයියලා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

එන්න මල්ලි එන්න බයික් එක මෙතනින් දාලා යන්න එන්න.... එන්න මහත්තයා ඔය වාහනේ ඔහොම දාලා යන්න. පාර්ක් එකේ වගේ නෙවෙයි අපි හොඳට බලාගන්නවා එන්න. හරි හරි මහත්තයා තව පොඩ්ඩක් කපල ගන්න, වමට කපල ගන්න...හාරී .....රයිට්...

නගර සභාවෙන් බෝඩ් ගහලා තියෙනවනේ මෙතන වාහන නවත්තන්න පුළුවන් කියලා ඒකට ගාණක් ගන්නවද? කවුද ඔයාලා නගර සභාවේ වැඩ කරන අයද?

තම පවුලේ උදවිය සමඟ හික්කඩුවේ සංචාරයකට පැමිණි පුද්ගලයෙක් වාහන හසුරවන තැනැත්තා දෙස බලමින් විමසුවේය.

අපි නගර සභාවෙන් නෙවෙයි මහත්තයා. ඒ වුණාට පාර අයිනේ වාහන දාලා ගියාම එක එක උන් වාහනේ කෑලි මිසින් කරනවනේ. එහෙම වුණාම මහත්තයට පාඩු නැද්ද? අනික මහත්තයා අපි පොඩි ගාණයිනේ ගන්නේ. වාහනේ බලාගන්නවට රුපියල් පනහයිනේ ඒ වගෙද වාහනේ.... අපි ෆුල් සේෆ්ටියක් දෙනවා වාහනේට. මහත්තයා ඕන තැනක ඇවිදලා කරලා එන්න. ඒකෙ ගින්නක් නෑ අපි ඉන්නවනේ මෙතන.

එහෙමනම් අවුලක් නෑ. හැබැයි වාහනේ කෑලි අඩුවෙලා තිබ්බොත් මම පොලීසි යනවා තමුන්ලට විරුද්ධව.

පිස්සුද මහත්තය අපි වාහනේ බලනකම් එහෙම මර්සි දාන්නේ නෑ මේ ලයින් එකේ කවුරුත්.

විනාඩි ගණනක් පුරාවට දිග හැරැණු මෙම කෙටි චිත්‍රපටයක් වැනි සිදුවීම දෙස බලා සිටි ලියුම්කරැ නැවත පියවි සිහියට පැමිණියේ තවකකු පැමිණ, මල්ලි  නාන්න යනව නම් මෙතන බයික් එක දාලා යන්න. අවුලක් ඇත්තෙම නෑ.යැයි පැවසූ විටය.

හරි අයියේ අවුලක් නෑ. මම කලින් ආවමත් මෙතන තමයි බයික් එක දාන්නේ පැවසූ ලියුම්කරැ ඔහුගේ අතට නියමිත මුදල ලබාදෙමින් ඔහු හා කථාවට වැටුණේ මෙහි තොරතුරු දැන ගැනීමේ අටියෙනි.

අයියේ මේක නගර සභාවෙන් කරන පාක් එකක් නේද?

මේක නගර සභාවේ පාක් එකක් නෙවි මල්ලි. මේක නගර සභාවේ ඉඩමක්. ඔය නාන්න එන කොරල් බලන්න එන අය එහෙම මෙතන වාහන දාලා යනවා. අපි ඉතිං ඒවා බලාගෙන පොඩි සම්තින් එකක් හොයා ගන්නවා.

ඒ කියන්නේ නගර සභාවෙන් පර්මිට් දීලා නැද්ද මේක කරන්න.

මොන පර්මිට්ද මල්ලි මෙතනට නාන්න එන අයට වාහන දාන්න තැනක් තිබ්බේ නැහැ. මුලින්ම රත්ගම ප්‍රදේශීය සභා සභාපති (නැසීගිය සභාපතිවරයකුගේ නමක් සඳහන් කරමින්) එයා තමයි ඔතන සුද්ද කරලා තිබ්බේ. පස්සේ එතනට නාන්න එන අය වාහන එක දෙක දැම්මා. දැන් හැමෝම වගේ වාහන දාන්නේ මෙතන. පාර දෙපැත්තේ වාහනේ දාලා යන්න බැහැ පොලීසියෙන් ලියනවා. ඉතිං කට්ටිය මේකට තමයි වාහන දාන්නේ. ඒ එන වාහන බලාගන්නවට තමයි අපි පොඩි සම්තින් එකක් ගන්නේ අපිත් ජීවත්වෙන්න මොනව හරි කරන්න එපැයි ලොක්කා. ඒකයි අපි දෙතුන් දෙනෙක් මේ වැඩේට එන්ටර් වුණේ. අපේ අතටත් සම්තිං එකක් එනවනේ මල්ලි. අනික වීල් එක දුවන ගමන් මේක කරන්නේ මේකෙන්ම විතරක් ජීවත් වෙන්න බැහැනේ.

ඉතිං වීල් එක දුවන ගමන් කොහොමද වාහන බලා ගන්නේ?

මම විතරක් නෙවෙයිනේ බොසා තව දෙතුන් දෙනක් ඉන්නවනේ. හැමෝම වීල් දුවන්නෙත් නෑනේ.

ප්‍රශ්නයක් එහෙම ආවේ නැද්ද නගර සභාවෙන් මෙහෙම වාහන බලා ගන්නවට සල්ලි අරන් ටිකක්ට් එකක්වත් නොදී...

මේ වෙනකම්නම් එහෙම දෙයියනේ කියලා ප්‍රශ්නයක් ආවේ නෑ ඉතින්.

සල්ලි දෙන්න බෑ කියන අය නැද්ද?

එහෙම බෑ කියන්න බැහැනේ. අනිත් හැමෝම සල්ලි දෙනවනම් එක්කෙනක් දෙන්නෙක් මග අරින්නේ නෑ එහෙම.

වාහනයක් බලාගන්නවට කීයක් ගන්නවද?

රුපියල් පනහයි ගන්නේ......

හදිසියෙවත් නගර සභාවෙන් මේ පාක් එකට නගර සභාවේ සේවකයෙක් දැම්මොත් මොකද කරන්නේ?

ඒක ඉතිං ඒ කාලෙට තමයි බලාගන්න වෙන්නේ? එතකම් මේක කරගන යනවා. අපිටත් පොඩි පොඩි කන්ටෑක් තියෙනවනේ. නැතුව මේ හරියෙ මෙහෙම ගේමක් ගහන්න බැහැ.

ඔවුන් කියන කතාව සැබෑය. හික්කඩුවේම ඉපිද හික්කඩුවේම හැදුණු ඔවුනට මෙය කජු කනවාටත් වඩා ලේසි ක්‍රමයක් විය හැකි.ය නමුත් ගැටලුවක් ඇත්තේ නගර සභාවට අයිති ස්ථානයක මොවුන් නගර සභාවටත් හොරෙන් මෙලෙස වාහන අංගනයක් පවත්වාගෙන යෑමය. 

දිනකට විශාල පිරිසක් හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට මෙන්ම කොරල් පර බැලීමට පැමිණෙති. ඒ අනුව ගත් කළ මොවුන් හයර් කර මුදල් සොයනවාට වඩා මුදලක් මෙහිදී සොයනු ඇති බව නොඅනුමානය. සංචරයන් සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහන රැකබලාගෙන මොවුන් මෙලෙස මුදල් උපයන්නේ නීති විරෝධී ආකාරයටය. නමුත් මහජනතාවට නොපෙන පරිදි ඔවුන්ගේ පොකැට්ටුවට තට්ටුවන ආකාරය ගැන ඔවුන් සිතන්නේ නැත. මෙම සොයා යෑමේ අපගේ මුලික අරමුණ වූයේ මොවුන්ට බඩේ පහර ගැසීම නොව ජනතාව දැනුම්වත් කිරීම බව අපි මතක් කර දෙන්නමු.

හසිත් අංජන