
01. සිදු වූ බල පෙරළිය ගැන මොකද හිතෙන්නේ?
02. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔබ එකඟ වෙනවද?
03. මේ වෙනසත් එක්ක මහජනතාව බොහෝ දෙනෙක් තමන්ට බලපා ඇති ප්‍රශ්න විසඳාගැනීමට හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක ඉටුකර ගැනීමට පුළුවන් වෙයිද?
04. ඇතැම් මන්ත්‍රීවරුන් මුදලට පක්ෂ මාරු කරන බවට රටේ ජනතාව අතර මතයක් තියනවා. රජයක් සාදා ගැනීමට මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම සුදුසු වැඩක්ද?
ලංකාවේ සිදු වුණේ රජ කාලේ වගේ කුමන්ත්‍රණයක්
එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල
01. මේක ඇවිල්ලා මම හිතන්නේ රටේ ඉතිහාසයේ අපේ රජ කාලේ ඉඳන් ගත්තම සිදුවුණු ලොකුම දේශපාලන කුමන්ත්‍රණයක්. මේක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බැලුවම නීති විරෝධියි. මොකද ජනවාරි 08 වැනිදා මේ රටේ 62 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂගේ හොරකම් මැරකම්වලට විරුද්ධව. එතකොට මෛත්‍රීපාල මහත්තයා එතනින් ගැලවිලා එළියට ඇවිල්ලා මේ රටේ ජනතාවට ප්‍රකාශ කළේ මේ හොරකම් වංචා, දූෂණවලට තිත තියලා යහපාලනයක් රටට ගේනවා කියලා. එතකොට අවුරුදු 03කට පස්සේ මේ හොරුන්ට, වංචාකාරයන්ට බලය දෙන්න කිසිසේත්ම ජනවරමක් ජනාධිපතිවරයාට ලැබිලා නැහැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයාට බහුතර බලයක් තියෙද්දී පාර්ලිමේන්තුව තුළ විධායක ජනාධිපති ක්‍රමය උපයෝගි කරගෙන වෙනත් අගමැතිවරයකු පත්කිරීම ව්‍යවස්ථා විරෝධියි. ඉතාම ජඩ ක්‍රියාවක් ඒක.
02. පාර්ලිමේන්තුව කල් තැබීම ඉතාම ප්රජාතන්ත්ර විරෝධී වැඩක්. මොකද පාර්ලිමේන්තුව තුළ බහුතරය නැති කෙනෙක් අගමැති ලෙස පත් කරලා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව කල් දැමීම ගැන අපි කනගාටු වෙනවා. මේ අයට මේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නැති නිසා තමයි පාර්ලිමේන්තුව කල් දමා තිබෙන්නේ. අපි ඒක හෙලා දකිනවා.
03. මහජනතාවගේ එවැනි කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි දැක්කා මේකට විරුද්ධව අපි අරලියගහ මන්දිරය ළඟට ජනතාවට එන්න කිව්වම බලාපොරොත්තු වුණාට වඩා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආවා එතැනට. ඒ සියලුම දෙනා එකම හඬින් කියා සිටියේ මේ නව අගමැතිවයා පත් කිරීමට විරුද්ධ බව. ඉතින් ඒ තත්ත්වය යටතේ ජනතාව මේ අයගෙන් සහන බලාපොරොත්තු වෙනවා කියලා හිතන්න අමාරැයි.
04. ඒක ඉතාමත් අශිලාචාරයි. 62 ලක්ෂයක ජනවරමට පිටුපාලා තියන වෙලාවක, ඒ වගේම අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි බහුතරයක් එජාපයට දීපු වෙලාවක මන්ත්‍රීතුමන්ලා මුදලට බල ලෝභීකමින් ඇමැති තනතුරුවලට මෙහෙම පක්ෂ පාවා දී යාම අපි දැඩි ලෙස හෙළා දකිනවා. ඔවුන් මේ කරලා තියෙන්නේ තමන්ගේ ආත්මය පාවා දීමක්.
රට විකුණන මිල නග්ගන පාලනය ඉවරයි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ඒකාබද්ධ විපක්ෂය)
01. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ පරාජය පිළි අරගෙන යනකොට බොහොම සිනාමුසු මුහුණින් හිනා වෙවී ගියා. රටම ඇඬුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව අයින් කළාම අරලියගහ මන්දිරය ඇතුළේ පුටුව බදාගෙන අඬ අඬ ඉන්නවා. රටම හිනාවෙනවා. මේක තමයි හොඳම පණිවුඩය. ඉතින් මේ බල පෙරළියෙන් රටේ මිනිස්සුන්ට ලොකු වාසිදායක තත්ත්වයක් උදාවෙනවා කියලා විශ්වාසයි.
02. පාර්ලිමේන්තුව කල් තැබීම තුළ බොහොම පැහැදිලිව කියන්න ඕන ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට තිබෙන බලතල අනුව අගමැතිවරයා පත් කළා. එතකොට ඒ පත්කරපු අගමැතිවරයා පත්වුණු මොහොත වෙනකොට පාර්ලිමේන්තුව නොවැම්බර් මස 05 වැනිදා තිබුණ රජයේ අයවැය ඉදිරිපත් කරන්න තමයි යෝජනා වෙලා තිබුණේ. තිබුණු රජයේ අයවැය ඉදිරිපත් කරලා නව රජයක් ආවම අපිට කිසිසේත්ම ඒ අයවැයට අනුව කටයුතු කරන්න බැහැ. මොකද ඒ අයවැයේ තියෙන්නනේ තනිකරම රට විකුණන ඒවා. මිල වැඩිකරන ඒවා. ඒකට අපි කැමති නැහැ. අනික මේ දින 11යි කල්දාලා තියෙන්නේ. ඒ නිසා අලුත් දෙයක් නෙවෙයි මේක. ප්රජාතන්ත්ර විරෝධී නැහැ. ඒ නව රජයේ අවශ්‍යතාවයක් මත සිදුකරපු දෙයක්.
03. දැන් මේ වෙනකොට අත්‍යවශ්‍ය බඩුවල මිල අඩු කරලා තියෙනවා. ජනතාවට නව අගමැතිවරයා පත්වෙලා දින කිහිපයක් යෑමට මත්තෙන් තමයි මිල අඩු කරලා ජනතාවට සහන ලබාදුන්නේ. දැන් ගිය ආණ්ඩුව යටතේ බොහෝ ජනතාව බයෙන් හිටියේ උදේට ඇහැරෙන කොට මොනවා වැඩි වෙලා තියෙයිද කියලා. ඒ වගේම අද කොටස් වෙළෙඳපොළේ පැහැදිලි වර්ධනයක් ඇතිවෙලා තියෙනවා. ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරලා තියෙනවා. දැන් රටේ ජනතාවට බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා.
04. ඔය මුදලට සල්ලිවලට ගන්නවානම් මට අහන්න තියනවා එක ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් 2011 දී එජාපයේ 44යි හිටියේ. එතකොට එය 113ක් දක්වා ආවේ ඒ අයත් සල්ලිවලට ද ගත්තේ කියන එක. මේක අමූලික බොරැවක්. මන්ත්‍රීවරුන් වෙන්දේසි කරන්න බැහැ. හැබැයි අපි දන්නවා ඔය අරලිගහ මන්දිරයේ ඉඳන් අපේ මන්ත්‍රීවරුන්ට කතා කරලා තියෙනවා. නමුත් ඒ මිලට විකිණෙන්න අපේ මන්ත්‍රීවරු සූදානම් නැහැ. ඒ වගේම අපිට එකතු වුණ කවුරුත් අපෙන් රුපියල් දෙකක්වත් අරගෙන නැහැ.
මැතිසබය කල් දාන්න ජනපතිට පුළුවන්
කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර
01. 2015 ජනාධිපතිවරණයේදී විවිධ මත දරන අය එකතු වෙලා එක ප්‍රශ්නයක් උඩ ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. ඒකෙන් වුණේ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්කරලා අලුත් කෙනෙක් පත්කරගන්න එක. නමුත් පොදු එකඟත්වයක් නැතුව මොවුන්ට ආණ්ඩුවක් අරගෙන යන්න බැරි වුණා. ඉතින් දිගින් දිගටම මොවුන් අතර ප්‍රශ්න ඇති වුණා. ඒක ප්‍රතිපත්ති ගැටුමක්. ඒක තමයි මේකට ප්‍රධාන කාරණය.
02. පාර්ලිමේන්තුව කල් දැමීමට ජනාධිපතිවරයාට බලයක් තියනවා ඕනෑම වෙලාවක. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දීලා තියෙන්නේ විශේෂ අවස්ථාවන් යටතේ පාවිච්චි කරන්න. සමහර ජනාධිපතිවරු ඒක අසාධාරණ විදිහට පාවිච්චි කරනවා. නමුත් ඔවුන්ට ඒකට චැලේන්ජ් කරන්න බැහැ. මේකේ සදාචාරාත්මක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් රටේ ජනාධිපතිවරයා මරන්න ප්ලෑන් කරලා තියෙනවා. ඔහු ඒක පොලිස්පතිට කියනවා. නමුත් පොලිස්පති නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ තමන්ගේ ආරක්ෂාව සලසාගන්න එතුමා මේ විදිහට නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරන්න ඇති. දැන් ආරංචි විදිහට 05 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවනවා. ඊට පස්සේ බලමු ඉතින්.
03. රටේ ගැඹුරු ආර්ථික අර්බුදයක් තිබෙන බව රටේ ජනතාව දන්නේ නැහැ. ආණ්ඩුව ඒක කිව්වෙත් නැහැ. විපක්ෂය ඒක කිව්වෙත් නැහැ. මාධ්‍ය පැවසුවෙත් නැහැ. මේක මේ රටට නිදහස ලැබුණට පස්සේ තිබෙන ගැඹුරුම ආර්ථික අර්බුදය. රටේ නිෂ්පාදනයක් නැහැ. නිෂ්පාදනය බින්දුවට බැහැලා. ඉතින් රට තියෙන්නේ තාමත් අර්බුදයක.
04. ඒක කියන්න දෙයක් නැහැනේ. මේක අශීලාචාර, සදාචාරාත්මක නැති දෙයක්. නමුත් ඒක තමයි සංස්කෘතිය. මේක ඇතිවෙන්න මොකද්ද හේතුව? දූෂණය. මේ දූෂණයට හේතුව මොකද්ද? විධායක ජනපති ක්‍රමය එකක්. මැතිවරණ ක්‍රමය එකක්. නව ලිබරල් ආර්ථික ක්‍රමය එකක්. මේ තුනෙන් තමයි මේ දේශපාලන සංස්කෘතිය හැඩගැහිලා තියෙන්නේ. ඉතින් මේ කාරණා තුන වෙනස් කරන තුරු මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ.
රනිල්ගේ පුටුවේ මහින්ද වාඩිවුණාට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ
ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
01. රටේ දේශපාලන අස්ථාවරත්වයක්, ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් පාර්ලිමේන්තුව කල් දාලා කරපු දේශපාලන කුමන්ත්‍රණයක් මේක. මේ රටේ 8ට කලින් සිදු කරන්න හදපු හමුදා කුමන්ත්‍රණ දෙකක් අසාර්ථක වුණා. නමුත් පැහැදිලිවම අපේ කලාපයේ, පකිස්ථානයේ, බංගලාදේශයේ, ඇෆ්ගනිස්ථානයේ සිදු වුණා වගේ දේශපාලන කුමන්ත්‍රණයක්. මෙයට ජනාධිපතිවරයා සෘජුවම වගකියන්න ඕන. ඔහු තමයි මේ රට අද මේ තරම් ව්‍යාකූලත්වයට පත් කළේ.
02. පාර්ලිමේන්තුව කල් තැබීම ගැන කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. ජනතාව ඡන්දය දීලා අපිව පත් කරලා තිබෙන්නේ මේ රටේ සිදුවන ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒවට පාර්ලිමේන්තුව හරහා යම් හෝ විසඳුමක් ලබාගන්න. කෙසේ නමුත් රටේ යම් දේශපාලන ව්‍යාකූලත්වයක් මතු වුණාට පස්සේ ඒක විසඳගන්න හොඳම තැන තමයි පාර්ලිමේන්තුව. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නට අත්තනෝමතික බලයක් ව්‍යවස්ථාවෙන් පවරලා තිබ්බට ඒක වල් බූරු නිදහසක් වගේ පාවිච්චි කරන්න ඔහුට අයිතියක් නැහැ. දැන් මේ වෙන සිදුවීම් කිසිවක් අපි අනුමත කරන්නේ නැහැ.
03. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා වාඩි වුණාට මේ රටේ අමුතු දෙයක් සිදුවන්නේ නැහැ. මොකද මෛත්‍රී - මහින්ද සංයෝගයෙන් රටේ ආර්ථිකය ගොඩනගලා සමාජ සාධාරණත්වය කරන්න පුළුවන්නම් 2005 – 2015 කාලයේ ඔවුන්ට ඒක කරන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම මෛත්‍රී - රනිල් සංයෝගයෙන් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්නම් මේ අවුරුදු තුනහමාරක කාලය තුළ ඔවුන්ට ඒක කරන්න තිබුණා. ඒ නිසා මෙම සංයෝගයටත් රටට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ.
04. කිසිදු සදාචාරයක් නැහැ. ජනතාව ඡන්දය දුන්නේ එක පක්ෂයකින් ඉල්ලන පුද්ගලයකුට. එතකොට ඒ පක්ෂයට දීපු ඡන්ද අරගෙන වෙනත් පක්ෂයකට පැති මාරු කිරීම කිසිදු දේශපාලන සදාචාරයකට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි 19 වැනි සංශෝධනයේදී ජ.වි.පෙ අපි යෝජනා කළේ මේ පිල් මාරුවෙන මන්ත්‍රීවරුන්ට වැට බඳින්න. නමුත් ඒ වෙලාවේ සන්ධානයත්, එ.ජා.ප.යත් දෙගොල්ලන්ම අත උස්සලා ඒ යෝජනාව පරාජයට පත්කළා.
මේ කල් දැමීම ගැන අපට එකඟ වෙන්න බෑ
මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. එම්. සල්මාන්
01. මේක අපි කවුරුත් නොහිතපු වෙලාවක සිදුවුණු අනපේක්ෂිත සිදුවීමක්.
02. මේ විදිහට පාර්ලිමේන්තුව කල් තැබීම ගැන එකඟ වෙන්න බැහැ. මොකද පාර්ලිමේන්තුව කල් තැබීම සාමාන්‍ය සම්ප්‍රදායන් තුළ කරන අවස්ථා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී වෙනත් අරමුණක් වෙනුවෙන් මේක කල් දැම්මා කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
03. එහෙම හිතන්න බැහැ. මොකද මේ රටේ ආර්ථිකය මේ වෙනකොට තියෙන්නේ යහපත් තත්ත්වයක නෙවෙයි. ඒ වගේම ටික කාලයක් යයි රටේ ආර්ථිකය මේ විදිහට හදාගන්න. ඩොලරයේ අගය වැඩිවීම මේ වෙනකොටත් සිදුවෙනවා. තාවකාලික විසඳුම් ලබා දුන්නට මේකට පිළියමක් නෙවෙයි. දීර්ඝකාලීන විසඳුමක් ලබා දුන්නොත් තමයි මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පුළුවන් වෙන්නේ.
04. රජයක් හදා ගැනීමට මන්ත්‍රීවරුන් පැති මාරු කිරීම සදාචාරාත්මක නැහැ. ඒක සාධාරණීකරණය කරන්නත් බැහැ. මහජනතාව ඉදිරියට ගිහින් ඡන්දය ඉල්ලන ඕනෑම මහජන නියෝජිතයෙක් ඊළඟ ඡන්දය එනකම් එකම මතයක ඉන්න ඕන. තමන්ට වාසි වුණත් අවාසි වුණත් මොකද? ඔවුන් නියෝජනය කරන්නේ මේ රටේ පොදු ජනතාව.
මැතිසබය කල් දැමීමට අපි විරැද්ධයි
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්මි යෝගේස්වරම්
01. පසුගිය සතියේ හිටිහැටියේම සිදුවූ මෙම ආණ්ඩු පෙරළිය ගැන පුදුමයට පත්වුණා. මෙතෙක් දේශපාලනයේ සිදු නොවුණු ආකාරයේ වෙනසක්. ඒක පාර්ලිමේන්තුව රැස් වුණාම දැනගන්න පුළුවන් වෙයි ඉදිරියේදී කවුද ඉන්නේ කියලා.
02. පාර්ලිමේන්තුව කල් තැබීම ගැන අපි කිසිසේත්ම සතුටු වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට බලය තිබුණත් පාර්ලිමේන්තුව කල් තියන්න මේ අවස්ථාවේ කල් තැබීම ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. ඒක සදාචාරාත්මක නැහැ.
03. මේ වනවිට ඩොලරයේ අගය ඉහළ ගිහින්. දිනෙන් දිනම රුපියල කඩා වැටෙමින් තිබෙනවා. උතුරු, නැගෙනහිර අපේ දෙමළ ජනතාව බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්නවා. පසුගිය රජයෙන් දෙමළ ජනතාවට මෙන්ම රටේ ජනතාවට සහන ලබා දෙනවා කිව්වත් රටේ තිබුණු ආර්ථික අර්බුදය හමුවේ ඒවා කිසිවක් කිරීමට නොහැකි වුණා. අපි හිතන්නේ නැහැ වත්මන් අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවක් බිහි වුණත් හැකි ඉක්මනට ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි කියලා.
04. කිසිදු දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකු පක්ෂ මාරු කරන එක ගැන අපේ හිතේ කිසි පැහැදීමක් නැහැ.