2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

බලය වෙනස් වීමෙන් ආණ්ඩුව මුහුණ දෙන අභියෝග

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

පැය දෙක තුනක් ඇතුළත ශ‍්‍රී ලංකාවේ දේශපාලන ප‍්‍රවණතා වෙනස්වීම පසුගිය සතියේ විශේෂ ලක්ෂණයකි. 2019 වසරේ අය වැය යෝජනා හෙට එනම් නොවැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ නමුත් අද වනවිට ස්වභාවය අනෙක් අතකට හැරී තිබේ. මෙතෙක් පැවැති සම්මුති ආණ්ඩුව බලයෙන් පහ වී ඇති අතර අලුත් අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති අතර නව කැබිනට් මණ්ඩලයක්ද පත්ව තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය අලුතින් ආරම්භ කිරීමෙන් පසු ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් යෝජනා කරන්නට බොහෝ දුරට ඉඩ ඇත. අයවැය ඉදිරිපත් කිරීමට පහසුව නැති හදිසි අවස්ථාවක අතුරු සම්මත ගිණුමකින් රජයේ වියදම් වෙනුවෙන් මුදල් ලබාගැනීම අලුත් දෙයක් නොවේ. දේශපාලන වාතාවරණය ආර්ථිකය කෙරෙහි බලපවත්වන්නේ කෙසේදැයි විමසා බැලීම වැදගත්ය.

අගමැති ධුරය වෙනස් වූ වහා පළමු දිනයේදීම කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක් පෙන්නුම් කළේය. එය ස්ථාවර එකක් වශයෙන් සැලකීමට හැකියාවක් නැත. දෙවැනි හා තුන්වැනි දිනවල දී සුපුරුදු එනම් මෙතෙක් පැවැති එපමණ උද්‍යෝගයක් නැති තැනට පත්විය. විනිමය අනුපාතිකය ස්ථාවර රහිත බව නැවතත් නිරීක්ෂණය කළ හැකි විය. ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රු.177.32 ක මිලක් දක්වා අවප‍්‍රමාණය වීමක් සටහන් කෙරිණි. කොටස් වෙළඳපොළ හෝ විනිමය අනුපාතිකය අලුතින් සිදුවිය හැකි ආර්ථික ප‍්‍රවණතා කෙරෙහි බලපාන ප‍්‍රබල සාධක වශයෙන් සැලකිය නොහැකිය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය එක්තරා ආකාරයක දුෂ්කර අවධියක පසුවෙයි. පැවැති ආණ්ඩුව එය සක‍්‍රීය කරනු සඳහා විවිධ උපාය අනුගමනය කරන ලද අතර ආර්ථිකයෙහි වේගය අඩු කිරීමට තීරණය කිරීම එහි වැදගත් උපායක් වශයෙන් සැලකිය හැකිය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකි. ජනතාව වෙත බදු පනවා මිල දී ගැනීමේ හැකියාව සීමා කරන ලද අතර මිල දී ගැනීමේ අවශ්‍යතාව අධෛර්යවත් කරන අන්දමට ආනයන පාලනය කරන පිළිවෙතක් අනුගමනය කරන ලද බව සඳහන් කළ යුතුය. මිල පියවා ගැනීම අරමුණු කරගෙන ඉතා ආන්දෝලනයට ලක් වූ ඛනිජ තෙල් මිල සූත‍්‍රය හඳුන්වා දුන් අතර ඉදිරියේදී විදුලිය මිල සූත‍්‍රයක්ද පනවන බව ප‍්‍රකාශ වී තිබුණි. එකී තීරණ සාමාන්‍ය ජනතාවට සැනසුමක් ඇති කරන ලද තත්ත්වයක් නොවේ. ආර්ථික වේගය අඩු කිරීමට ගත් පියවර ගැන රට තුළ විශාල විරෝධයක් තිබුණි. ආණ්ඩු වෙනස් කිරීමට ගත් පියවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් නොවන නමුත් රට තුළින් එයට එල්ල වූ ඇල්මැරැණ ප‍්‍රතිචාර ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳී ජනතාව ගේ ඉඟියක් සේ සැලකීම වරදක් නොවේ.

මැදි ආදායම් රටක පුරවැසියන් වශයෙන් මහජනතාවගේ අපේක්ෂා ඉහළය. රට තුළ ආනයන වියදම එය පෙන්වන කදිම සංකේතයකි. වාර්ෂික ආනයන වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට තිහක් දක්වා ඉහළ නැග තිබේ. මිල දී ගැනීමට උවමනාව ඇති ජන කොටස ඉහළ යනවිට වෙළඳපොළ සතු බඩු භාණ්ඩ තිබිය යුතු අතර ආනයන පාලනය කිරීමෙන් හිඟයක් ඇති කිරීම ආර්ථිකයෙහි දුබලතාවයකි. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති එයට වගකිව යුතුය. අද වනවිට ජනතාවට අවශ්‍ය ජීවන වියදම අඩුකරන ක‍්‍රමයකි. ඛනිජ තෙල්, බස් ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, එළවළු පළතුරුවල සිට සෑම දෙයකම මිල දරාගත නොහැකි තැනකය. මේවා කොතැනකින් හෝ පාලනය වෙනවා නම් වැසියෝ කැමැතිය.  

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්වභාවය ඉදිරි කාලයේ දී කෙබඳු මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේද? හොඳ හෝ නරක ගැන ඉක්මන් බලාපොරොත්තු පළ කරන්නට හැකියාවක් නැත. පසුගිය වසරේ  ආර්ථිකයේ වර්ධනය සියයට 3.1ක සීමාවේ පැවැතිණ. එය වසර දහසයකට පසු අඩුම වර්ධනයයි. සංවර්ධන වේගය ඉහළ නැංවීම හැර ජනතාවගේ ඇඟට දැනෙන ආර්ථිකයක් උදාකර ගැනීමට හැකියාවක් නැත. ආර්ථිකය හකුළුවන තීරණය වෙනස්කර ආර්ථික ප‍්‍රසාරණයකට අවශ්‍ය වන වෙනස්කම් කිරීම වැදගත්ය. එය අලුත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති වලින් හෙළිදරව් කරගත යුතුය. මිල සුත‍්‍රය අහෝසි කරන බව දැනට ප‍්‍රකාශයට පත්ව තිබේ.

බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරන බවට ඉඟියක් පළ වී තිබේ. බදු අය කරන ක‍්‍රමය සරල කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජකාරි භාරගන්නා අවස්ථාවේදී කියා සිටියේය. එවකට ජනාධිපති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතා 2009 වසරේ දී රජයේ බදු පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. වසරක් තුළ එම වාර්තාව භාරදුන් අතර එම වාර්තාව ක‍්‍රියාත්මක වූයේ නැත. 1977 වසරේ දී එවකට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 24 ක් වූ අතර ආණ්ඩුවල කරන ලද බදු අයකර ගැනීමේ අක‍්‍රමවත් බව හෙයින් 2017 වනවිට බදු ප‍්‍රතිශතය සියයට 14 දක්වා පහළ වැටී තිබුණි. දේශීය වාර්තා තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන ලද කොන්දේසි අනුගමනය කරන්නට පසුගිය රජය ක‍්‍රියා කළේය. වහා බදු වැඩි කරගැනීමට එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 දක්වා බදු අය කරගැනීම අරමුණු කරගෙන ව්‍යාපාර ලියාපදිංචියේ සිට ජනතාව කන බොන දේ දක්වා මහා පරිමාණයෙන් බදු වැඩි කිරීමට යෝජනා කර තිබුණි. පසුගිය සතියේද පෙන්වා දුන් පරිදි මෙරට හෝටලයකින් ආහාර ගන්නා අවස්ථාවක රුපියල් දහසක බිලකින් තුන්සිය විස්සක් ආණ්ඩුවේ බදුය. රුපියල් දාහක දුරකථන බිලක් ගෙවන පුරවැසියකු එයින් රුපියල් පන්සිය විස්සක් ආණ්ඩුවේ බදු ගෙවයි. මෙවැනි බදු ක‍්‍රමයකින් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබුණේ නැත. ජනතාව විශාල බදු බරක සිටියදී බදු රහිත වාහන ඇතුළු විශාල වරප‍්‍රසාද අත්පත් කරගත් පාලකයන් ගේ තීන්දු ගැනීමේ විලාසය මහජනතාව අතෘප්තියට පත් කළේය.

කෙසේ වෙතත් ලෝක ආර්ථිකයේ පවතින නොසන්සුන් තත්ත්වය, ආර්ථික වර්ධනයට බාධා කරන කාලගුණ ස්වභාවය පරාජය කර අවම වශයෙන් සියයට පහ ඉක්මවන ක්ෂණික වර්ධනයක් වෙනුවෙන් පසුබිම සකස් කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන රටාව ඉක්මනින් වෙනස් කළ යුතුය. එය රජයේ ආදායම් මටට්ම කෙරෙහි ද බලපාන බව සඳහන් කිරීමට අවශ්‍යය. ආයෝජන නංවන තීරණ ගැනීම ආණ්ඩුවක වගකීමකි. රාජ්‍ය වත්කම් ප‍්‍රමාණවත් නොවන අවස්ථාවක පෞද්ගලික අංශයේ ආයෝජන වේගයෙන් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වැදගත්ය. නිෂ්පාදනය නැංවීමට පියවර ගැනීම අවශ්‍යය. රට තුළ ඕනෑම දෙයක් නිපදවීම ආර්ථිකය සක‍්‍රීය කිරීම කෙරෙහි බලපාන සාධකයකි. නිෂ්පාදනය අඩාල කරන්නට හේතුවන සාධක කවරේද යන්න සොයාබලා ඒවා නිරාකරණය කළ යුතුය. අකාර්යක්ෂම තත්ත්වය හා ඵලදායීතාවය ඇති කිරීම අවශ්‍යය.

ආණ්ඩුව බලය අත්පත් කරගෙන අගමැති පත් කරගත් ආකාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන බවට තර්කයක් පැන නැගී තිබේ. බටහිර රටවල් එය ඉදිරියට ගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය වහා පාර්ලිමේන්තුව කැඳවන සේ ඉල්ලා නිවේදන නිකුත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද යම් පෙළඹවීමක් කර ඇත. මෙම රටවල බලපෑම තියුණුවීමට ඉඩකඩ බැහැර කළ නොහැකිය. යුරෝපා හා ඇමරිකානු රටවල් ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති සහන කෙරෙහි නැවත සලකා බැලීමක් කරන්නට ඉඩ තිබේ. මාළු අපනයනයට දී තිබුණ ජී.එස්.පී.ප්ලස් වරප‍්‍රසාද හෝ ඇඟළුම් කර්මාන්තයේ වාසිදායක තත්ත්ව වෙනුවෙන් දී තිබුණ අවසරය ගැන එම රටවල් නැවත සමාලෝචනයකට යාමට බැරිකමක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම ගැන මිණුම් දඬු බටහිර ප‍්‍රජාව අත තිබේ.

ශ‍්‍රී ලංකාවේ අපනයන හා ආයෝජන අවස්ථා ගැන ඇති විය හැකි බලපෑම ගැන වෙනම සාකච්ඡා කිරීම අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ දේශපාලන වෙනස්කම්වලින් රට තුළ ඇති විය හැකි ආර්ථික පරිවර්තනය පමණක් නොව එයට පීඩනයක් එල්ල කරනු ඇතැයි සැලකිය හැකි බටහිර රාමුව ගැන ද අවධානය වැදගත්ය. ආණ්ඩුවක බලය ලබාගැනීමට කෙසේ වෙතත් එම බලය ජනතාවාදී පැවැත්මක් තුළ පවත්වාගෙන යාම පහසු නැත. ඉදිරියේ දී පවත්වන මැතිවරණ, ඒ වෙනුවෙන් දෙන පොරොන්දු, රජයේ සහනාධාර වැඩපිළිවෙළ හා ජනතාව ඉල්ලන සියලු දේ වෙනුවෙන් හිස නැමීම අරභයා ක‍්‍රියා කිරීම අතිශය අභියෝගයකි.

ගාමිණී සරත් ගොඩකන්ද