2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

රුපියල් දාහක බිලකට තුන්සිය විස්සක් බදු ගෙවන රටක්!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

බදු යන වචනය ගැන ඉතිහාසයේ සිට කතාකර තිබේ. එහි බර ජනතාව මත පැටවෙන බව නොයෙක් ආකාරයෙන් විග‍්‍රහ කර ඇති බවද නොරහසකි. ලෝකයේ සෑම රටක්ම, සෑම ආණ්ඩුවක්ම බදු අය කරයි. එම බදු වැය කරන්නේ ජනතාව වෙනුවෙන් ඉටුකරන කාර්යභාරය වෙනුවෙන් බව මතුපිටින් පෙන්වන ප‍්‍රකට සඳහනකි. බදු ආදායම ජනතාවගේ යහපතට බව ප‍්‍රකාශ වෙයි. එහෙම නමුත් උපයන බදුවලින් සෑහෙන කොටසක් රාජ්‍ය යාන්ත‍්‍රණය වෙනුවෙන් වැය කෙරේ.

ජනතාව බදු ගෙවති. ආණ්ඩුව ඒවා උපයෝගී කරගෙන වියදම් කරයි. මහා භාණ්ඩාගාරයේ දත්ත අනුව රජයට ලැබෙන ආදායමෙන් සියයට 44ක් රජයේ සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්නට සිදුවී තිබේ. රජයේ කාර්යාල, යානවාහන, විදුලිය දුරකථන හා නඩත්තු වියදම් එකතු කළ විට ආණ්ඩු කරගෙනයාම අතින් පාඩු වැඩකි. මහජනතාව වෙනුවෙන් රට පාලනය කරන්නට ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභාව හා පළාත් පාලන ආයතන තිබේ. ඒවා යටතේ ඇති රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ගණන දෙදහසකට වැඩිය. මේවායේ පැවැත්ම ජනතාව වෙනුවෙන් බව ප‍්‍රකාශ වෙයි. බදු වලින් වැඩි කොටස මෙම ආයතන නඩත්තුවටය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය ඇතුළු අංශවලට රජය සහනාධාර සපයයි. සහන අවශ්‍ය ජන කොටසට සෘජු සහනාධාර සැපයේ. මේවා වෙනුවෙන් විශාල වියදමක් අවශ්‍යය. වියදම ගණන් බලන ආණ්ඩු ආදායම හොයන්නේ බදු වලින්ය.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු කර්මාන්ත හා ව්‍යාපාර මෙහෙයවයි. මෙරට විශාලතම ව්‍යාපාරය මෙහෙයවන්නේ ආණ්ඩුවේ පාලනය යටතේය. එය ඛනිජ තෙල් සංස්ථාවයි. විදුලිය බල මණ්ඩලය, ජල සම්පාදනය, ගමනාගමන, ගුවන් සේවය වැනි ආයතන විශාල පිරිවැටුමක් සහිත ඒවාය. එම ආයතන ඉහළ කාර්යක්ෂමතාවයකින් ලාභ සහිතව පවත්වාගෙන යා යුතුය. අසාර්ථක ව්‍යාපාර කරගෙන යන අතර ඒවායේ අති විශාල පාඩුවද ගෙවන්නේ මහජනතාවය. ජනතාවට සේවයක් වශයෙන් අඩු මිලට සේවා සපයන බව මතුපිටින් පෙන්වන නමුත් මෙම සඳහන් කරන ලද පමණක් නොව සඳහන් නොකරන ලද ආයතන වලද අසාර්ථක මෙහෙයුම රටට බරකි.

ආණ්ඩුවේ වියදම අඩු කරන්නට නොහැකියාවක් නැත. නිසි සමීක්ෂණයක් මගින් අසාර්ථක තැන් සාර්ථකත්වයට හරවා ගත හැකිය. ඵලදායීතාව හා කාර්යක්ෂමතාව වැනි සංකල්ප මගින් පිරිවැය කළමනාකරණය කරගැනීමට හැකියාව තිබේ. සම්පත් නිසි සේ පරිහරණය කිරීමෙන් වියදම පාලනය කරගැනීමට අවස්ථාව ලැබේ. මෙවැනි පැති ගැන නිසි අවධානයක් යොමු නොකරන ආණ්ඩු කෙළින්ම හැරෙන්නේ ජනතාවගේ පැත්තටය. වියදම වැඩි බව ප‍්‍රකාශ කරන අතර වියදම සොයාගැනීම අරමුණු කරගෙන බදු පනවයි. ලෝකයේ අනෙක් රටවලට වඩා බදු ප‍්‍රතිශත අඩු බව දක්වන ආණ්ඩුවේ දේශපාලනඥයෝ වෙනත් රටවලට සම වනතෙක් ජනතාවගේ ගෙල සිර කරමින් සිටිති. 

රජයේ ආදායම වැඩි කළ යුතු බවට උපදෙස් දෙන රටට ණයදෙන ආයතන බදු සංශෝධනය කරන එකී තීරණවලට බලකරන බව පැහැදිලිව පෙනෙන කරැණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට තාවකාලික ණය සංචිතයක් සැපයීය. එම ණය වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම අනුව මෙරට වැසියන්ගෙන් තවත් වැඩිපුර අය කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන සේ බලකර තිබේ. රටක වැසියන් පැවැත්මට අඩුවෙන් ගෙවා සෞභාග්‍යවත්ව සිටීම වරදක්ද?

බදු අය කරගත යුත්තේ බලහත්කාරයෙන් නොවන බව කෞටිල්‍යගේ මතයයි. ඉන්දියාවේ දකුණු බිහාරයේ මගධ රාජ්‍යයේ විසූ කෞටිල්‍ය එවකට විසු මයුරන් අධිරාජ්‍යයාට ආර්ථික උපදෙස් දී ඇති බව ඉතිහාසය අනාවරණය කරයි. බදු අය කරගත යුතු ජනතාවට නොදැනෙන සේ ක‍්‍රමයෙන් බව සහ වෙළෙඳාම වැඩිකිරීම වැදගත්ය යන අදහස ලෝකයේ පැරණිම විශ්ව විද්‍යාලයක් සේ සැලකෙන තක්ෂිලාවේ උගත් කෞටිල්‍ය එදා පළකර තිබේ. ආර්ථිකයක යථාර්ථය එයයි. මෙම න්‍යාය ඉගෙන ගෙන පාලනයට එන පාලකයෝ මුලින්ම එය අමතක කරති. පැවැත්ම වෙනුවෙන් බදු පනවති. ශ‍්‍රී ලංකාවේ ජනතාව අසීමිතව පනවන බදුවලින් පීඩාවට පත්ව සිටින අතර උපයන සන්තකය ආණ්ඩුවට දී ශෝකාකූලව ජීවත්වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

ආර්ථිකය වර්ධනය කර එහි ප‍්‍රසාරණය මගින් සහ සක‍්‍රීයවන්නට ඉඩහැර විනා ආණ්ඩුවේ බදු ආදායම වැඩිකර ගැනීමට අන්මගක් නැත. ලෝකයේ දියුණු වූ රටවල් තමන්ගේ ආදායම නංවා ගෙන ඇත්තේ රට තුළ ජීවත්වන වැසියන්ගේ ආදායමින් කොටසක් රාජ්‍ය භාරය ලෙස පවරා ගන්නට හැකිතාක් ප‍්‍රයත්න දැරීමෙන් නොවේ. වෙළෙඳාම වැඩි කරගෙන ඇත. ආනයන සහ අපනයන නැංවෙන ආකාරයට ඉඩ දෙන පසුබිම සකස් කර තිබේ. එවැනි පියවරවලින් ආර්ථිකය විශාල වෙයි. ලබාගත හැකි බදු ආදායම වර්ධනය වෙයි. ආර්ථිකය දියුණු කර බදු වැඩි කර ගැනීම මගින් මහජනතාවට කෙළින්ම නොදැනෙන සේ රජයේ ආදායම ඉහළ නගී. ප‍්‍රසාරණයේ ප‍්‍රතිඵලයක් සේ රජයේ බදු ආදායම වැඩිපුර උපයාගත හැකි වෙයි.

ශ‍්‍රී ලංකාව නිදහස ලැබූ වකවානුවේ සිට අද දක්වා සියයට පහක සාමාන්‍ය ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යයි. යුද ගැටුම් අවසන් වූ වහා ආර්ථික වර්ධනය සියයට අට ඉක්මවීය. 2017 වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1 කි. වසර 16කට පසු අඩුම වර්ධනය  බව ප‍්‍රකාශ වෙයි. අඩුම ආර්ථික වර්ධනයක පසුවන අවස්ථාවක රජයේ පැවැත්ම වෙනුවෙන් වැඩිම බදු අය කරන්නේ කෙසේද? එය කෙසේවත් පැහැදිලි නැත.

මුදල් අමාත්‍යංශ මැදි වාර්ෂික වාර්තාව අනුව 2014 අවුරුද්දේ පළමු මාස හතර තුළ රටට ලැබෙන බදු ආදායම සියයට 15.6 කින් අඩුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු වැඩි කරන සේ බල කළේය. ආණ්ඩුව එළිපිට කියා සිටියේ මෙතෙක් පවතින සෘජු හා වක‍්‍ර බදු අනුපාතිකය වෙනස් කරන බවය. ශ‍්‍රී ලංකාවේ ජනතාවට නොදැන එනම් වක‍්‍ර බදු මෙරට බදු ආදායමෙන් සියයට අසූවකට දායක විය.  බදු ගෙවන බව දැන බදු ගෙවීම් වලින් රටට ලැබුණේ සියයට විස්සක ප‍්‍රතිශතයකි. මෙම අනුපාතය සියයට හැට හතළිහ දක්වා වෙනස් කරන බව ප‍්‍රකාශ කෙරිණ. එයට යුහුසුළු වනු සඳහා සෑම පුද්ගලයකුටම බදු ලිපිගොනු අරඹන බව ආදායම් බදු දෙපාර්තම්න්තුව ප‍්‍රකාශ කළ බව මතක ඇත. බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු පැහැර හරිමින් සිටින අතර අය දරාගත හැකි එහෙත් නොලැබෙන බදු ආදායම කොපමණ විශාලද යත් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 1.2 ක් පමණ වන බව දැක්වෙයි. 

සෘජු හා වක‍්‍ර බදු අතර අනුපාතය වෙනස් කර ජනතාවට සහන දෙන බව ප‍්‍රකාශ කර බලයට පත් වූ ආණ්ඩුව දැන් හැම පැත්තෙන්ම ජනතාව වට කර තිබේ. මැති ඇමැතිවරු, නිලධාරීහු හා විශේෂ පැලැන්තියේ අය බදු සහන අත්පත් කරගෙන සිටිති. ඉකුත් අප්‍රේල් මාසයේ සිට උපයන විට බදුවල ප‍්‍රමාණ වෙනස් කෙරිණි. බදු රහිත සීමාව රුපියල් ලක්ෂය දක්වා වැඩි කළ නමුත් වැටුපට අමතරව ලැබෙන වාහන, ඉන්ධන, අතිකාල හා වෛද්‍ය ප‍්‍රතිලාභ වැනි දීමනා පවා වැටුප් ආදායමට එකතු විය. එම අවස්ථාවේ දී ගෙවන ප‍්‍රමාණය ඉහළ ගිය අතර මෙම නියෝගය මැති ඇමැතිවරුන්ට ද අදාළ කෙරිණ. තමන්ගේ වැටුප අඩුවන විට මහා කලබැගෑනියක් කළ මහජන නියෝජිතයෝ තමන් කරන්නේ ගරු සේවයක් බව දක්වා එම බදු ඔවුන්ගෙන් ඉවත් කරගත්හ. බදු රහිත වාහන, අති විශාල පහසුකම් පමණක් නොව බදු රහිත වැටුප් ලබන මැති ඇමැතිවරු ජනතාව වෙත සියලු පිරිවැය පටවන අසතුටුදායක පාලනයක් කරා නැඹුරු වී සිටිති.

බදු වර්ග මොනවාද? ඒවා ගෙවන්නේ  කොපමණ ප‍්‍රතිශතයකින්දැයි නිශ්චිතව දන්නා කෙනකු නැත. ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළහොත් බදුවර්ග ගැන විග‍්‍රහයක් කරන්නට අසමත්ය. මහ ආණ්ඩුවෙන්, පළාත් ආණ්ඩුවෙන් හා පළාත් පාලන ආයතනවලින් එකිනෙකට වෙනස් හා තරගකාරී අන්දමට අය කරන බදුවලින් ජනතාව හෙම්බත් වී සිටිති. උදාහරණයක් වශයෙන් මෙරට දුරකථන භාවිතය වර්ධනය වී ඇත. සෑම පුද්ගලයකු අතම දුරකථනයක් තිබේ. දුරකථන ඇමැතුම් වලට රුපියල් එකක් වියදම් කරන  ඕනෑම පුද්ගලයකු කතා කාලයේ දී ශත පනස් දෙකක් රජයට බදු වශයෙන් ගෙවයි. දත්ත භාවිතයේදී එය සියයට විස්සක් පමණ වේ. වැට් හා වෙනත් බදු ගෙවන්නට ලියාපදිංචි වී ඇති හෝටලයකින් ආහාර වේලක් ගෙන එයට රුපියල් දාහක බිලක් ගෙවන  ඕනෑම අයකු එයින් රුපියල් තුන්සිය විස්සක් ආණ්ඩුවට ගෙවන බව සඳහන් කළ යුතුය. එක පෙට‍්‍රල් ලීටරයකින් රු. 66.57 ක් බදු අය කර රු. 5.54 ක ලාභයක් ලබන බව අනාවරණය වී තිබේ. මෙරටට ගෙන්වන විට රු. 86.98 ක් වන ඩීසල් ලීටරයකින් රු. 34.30 ක් බදු අය කර තවත් රු. 2.16 ක් ආණ්ඩුව ලාභ ලබන බව සඳහන් කර ඇත. රටට ගෙන්වන අර්තාපල් කිලෝවකින් රුපියල් තිහක බද්දක් අය කෙරේ. ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් විස්සකි. සීනි කිලෝවක් වෙනුවෙන් රජයේ බද්ද රුපියල් 44.50 කි. පර් යේෂණ වාර්තා අනුව අවුරුද්දකට ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝ තිස් දෙකකි. එක පුද්ගලයෙකු සීනි වලින් පමණක් නොදැන ගෙවන බද්ද කොපමණ දැයි මෙයින් අවබෝධ කරගත හැකිය.

බදු ගෙවීම සාධාරණීකරණය කළ හැකිය. මෙම බදු වැය කරන්නේ මහජන යහපතටද? රෝහලේ බෙහෙත් නැත. පාසලේ පහසුකම් ඉතාමත් දුර්වලය. පොදු ප‍්‍රවාහනය විශාල ගැටලුවක් බව සඳහන් කළ යුතුය. බදු ගෙවන ජනතාවට ලැබෙන අස්වැසිල්ල කුමක්ද? සාධාරණීකරණය කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ගාමිණී සරත් ගොඩකන්ද