2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

මාලි ගිය හමුදා ලොක්කාට බලෙන් දාන්න හදන එන්.ජි.ඕ. තොප්පිය

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ලුතිතන් කර්නල් කළණ අමුණුපුර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා යුදහමුදා කණ්ඩායමේ අණ දෙන නිලධාරීවරයාය. ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි දෙස් විදෙස් පුවත් සේවා රැසක් ඉකුත් 20 දා වාර්තා කළේය. අමුණුපුර මහතාට එරෙහිව මානව හිමිකම් චෝදනා වාර්තා වී ඇතැයි ද එබැවින් මෙම ඉල්ලීම කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළායැයි එහි සඳහන්ව තිබුණි.

කළණ අමුණුපුර මහතාගේ මානව හිමිකම් පසුබිම පිළිබඳ පිරික්සීමෙන් අනතුරැව එම තීරණයට එළැඹුණු බව නිව්ෙයා්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා  ප්‍රකාශ කර තිබුණි. ඉකුත් 19 වැනිදා සිදු කළ ප්‍රකාශය මඟින් වැඩිදුරටත් දන්වා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එම ඉල්ලීම කරන බවය.

කළණ අමුණුපුර මහතා පිළිබඳ මෙම තොරතුරු දකුණු අප්‍රිකාව කෙන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සංවිධානය මඟින් ලබා දී ඇති බවද ඒ අනුව ලුතිතන් කර්නල් අමුණුපුර සාම සාධක භට කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ද ඒ වෙනුවෙන් වෙනත් නිලධාරියෙක් යෙදවීමේ බලය ශ්‍රී ලංකා රජයට පැවරෙන බවද ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ විවිධ මාධ්‍ය වාර්තා මඟින් ලුතිතන් කර්නල් කළණ අමුණුපුර පිළිබඳ එවැනි මාධ්‍ය වාර්තා පළ කළද ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට යුද හමුදාවට ලිඛිතව දැනුම් දී තිබුණේ දින කිහිපයකට පසුවය. එබැවින් එම නිලධාරියා ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග  ගන්නා බවත් ලබන මස දෙවන සතියේදී ඔහු ලංකාවට කැදවන බවත් කීවේය. අමුණුපුර මහතාට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝණය කවරක්ද හෝ පවසා නැති බවද ඔහු කීය. චෝදනාව පිළිබඳ ලිඛිත ඉල්ලීමක් ලැබේනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ අවශ්‍ය කටයුතු සම්පාදනයට යුද හමුදාව සූදානම් බව ද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් ලෙස අනුයුක්තව ශ්‍රී ලංකා සාම සාධක භටයෝ 450ක් පමණ රාජකාරියේ නිරතව සිටිති. ඔවුහු මෙහෙයුම් 7ක රාජකාරියේ නිරතව සිටිති. මේ වනවිටත් දකුණු සුඩානය, ලෙබනන්, අබේ, නිව්ෙයා්ක් නුවර, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බටහිර සහරා මෙන්ම මාලි රාජ්‍යයේ ඔවුහු සේවය කරති. මේ භට පිරිස්වලින් බහුතරය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කිරීම විශේෂිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන ප්‍රමුඛ රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධව සිටියදී ජාත්‍යන්තරයෙන් මෙරට හමුදාවට ලැබී තිබුණේ මහත් කීර්තියකි. වර්තමාන යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ධූරයට පත්වීමෙන් පසුව මාලි දේශයේ රාජකාරි සඳහා භට පිරිසක් පිටත් කර යැවීමට කටයුතු කෙරිණි. ඒ අනුව අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වී ඇති වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට 200කින් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක කාණ්ඩයක් (Combat Convoy Company) පිටත් කෙරැණේ ඉකුත් 2017 වසරේ දෙසැම්බර් මාසයේදීය. එහි අණ දෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් කළණ අමුණුපුර මහතා පත් කෙරැණු අතර දෙවැනි අණ දෙන නිලධාරී ලෙස මේජර් හසන්ත හැන්නදිගේ කටයුතු කළේය.

මාලි දේශයට ගිය නිලධාරීන් 200 දෙනා අතර රෙජිමේන්තු 10කට අයත් නිලධාරීන් 16ක් සහ සෙසු නිලයන් 184කින් සමන්විතය. එම බලඇණියට අණ දෙන ලුතිතන් කර්නල් කළණ අමුණුපුර මහතා 2004 ඔක්තෝබර් මාසයේදී හයිටියේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව ගිය පළමු ශ්‍රී ලාංකික හමුදා බලඇණියේ කපිතාන්වරයෙක් වශයෙන් කටයුතු කර තිබිණ. එවකට එම බලඇණියට අණ දී තිබුණේ මේජර් ජෙනරාල් අමල් කරැණසේකර මහතාය.

අවුරුද්දක කාල සීමාවක් සඳහා මාලි දේශයට ගිය යුද හමුදා භට කණ්ඩායමේ රාජකාරි කාලය 2018 දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතය. මාලි දේශයේ සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින් විශේෂ වර්ගීකරණ යටතේ පිරිස් වශයෙන් පිටත්වූ බලඇණිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 7 වැනි පරිච්ඡේදයේ සලකා ඇති නියමයන් අනුව එක්සත් ජාතීන්ගේ සාමය බලාත්මක කිරීමේ හමුදා මෙහෙයුම් සඳහා යොදවා තිබේ.

මාලි දේශයේ රාජකාරියට ගිය සෙබළුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයෝ වෙති. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරැ බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරැ බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බළකාය, ඉංජිනේරු සේවා බළකාය  මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ නිලධාරීහු ද මේ සඳහා එක්ව සිටිති.

එහෙමනම් හමුදා ඛණ්ඩයම ගෙන්වන්න ඕනේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිම කෙනකුට අපේ හමුදාව ගැන නීති පනවන්න අයිතියක් නෑ. වෙන රටකට සංවිධානයකට අපේ හමුදාව බැඳිලා නෑ. සාමසාධක හමුදා බලඇණියක් විදිහට රාජකාරියට ගිය පිරිසක් අතරින් එක නිලධාරියකුට විතරක් චෝදනා කරන්නේ කොහොමද? එහෙම නීතියක් නෑ. මේක දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක අවශ්‍යතාවයට කරන වැඩක්. විදේශ එන්. ජී. ඕ.වලට වුවමනා විදිහට අපේ හමුදාව හසුරැවන්න බෑ. කිසිම නීත්‍යානුකූල පදනමක් නෑ. මේ ආණ්ඩුවත් එක එක්කෙනා කියන දේ කරන්න හදනවා. එක් නිලධාරියෙක් පමණක් මෙහෙම කැඳවනවා නම් අපේ හමුදා ඛණ්ඩයම නැවත මේ රටට ගෙන්වාගත යුතුයි. 

අපි නිලධාරියා ගෙන්වා ගන්නවා

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු

මේ පිළිබඳව පුවත් වාර්තා වුණාට ශ්‍රී ලංකා යුද හමුදාවට ලිඛිතව දැනුම් දුන්නේ දිනකිහිපයකට පසුවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව දැන්වූ නිසා අපේ නිලධාරියා අපි ගෙන්වා ගන්නවා. ගෙන්වා ගත්තාට පසුව අපේ නිර්වද්‍යතාවය අපි සනාථ කරනවා. ඒකට අපිට අයිතියක් තිබෙනවා. ඉදිරියටත් අපි සාම සාධක හමුදාවන් එක්ව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා එහෙම ඉල්ලීමක් තිබේනම් අපි ඒකට ගරැ කරනවා. මේක ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා පමණයි. ලුතිතන් කර්නල් අමුණුපුර ඇතුළු පිරිස අවුරැද්දක කාලයක් සඳහා පිටත්ව ගියේ. ඔවුන්ගේ ඉල්ලීම අනුවයි පිටත්ව ගියේ. මානව හිමිකම් උල්ලංඝණය කරන පසුතලය මත සිදු කළත් ස්ථිර චෝදනාවක් කියලා නෑ.

මේ භට පිරිස රෙජිමේන්තු 10කට අයත් වෙනවා. එතැන නිලධාරීන් 16ක් සහ සෙසු නිලයින් 184ක් ඉන්නවා. සමස්ත පිරිස 200ක් වෙනවා. ලුතිතන් කර්නල්වරයා ලබන මාසයේ දෙවන සතියේදී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නවා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර