2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියා නෙවෙයි: දැන් යන්නේ රීයුනියන්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

ලංකාවෙන් පලායාමට හෝ පැනගොස් රැකියාවක නිරතවීමට උත්සාහ දරන අයගේ ගමනාන්තය වශයෙන් ඕස්ට්‍රේලියාව තෝරාගෙන තිබුණේ කාලයක පටන්මය. ඒ තත්ත්වය බරපතළ ගැටලුවක් වූයෙන් ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවට පැනයාමට එරෙහිව මෙරට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරණයක් දියත් කළේය.

නීතිවිරෝධී ලෙස කිසිසේත්ම ඕස්ට්‍රේලියාවට ඇතුළු විය නොහැකි අතර, එසේ පැමිණෙන ඕනෑම අයකු අත්අඩංගුවට ගෙන පැපුවානිව්ගිනියාවට හෝ නාවුරු දූපත් වෙත පිටත් කර හරින බවත් ඒ පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත් එම නිවේදනය මගින් පුන පුනා වාර්තා කළේය.

මේ ආකාරයට නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණීම වැළකී තිබියදී මෙරට මිනිස් ජාවාරමේ නිරතව සිටින සංවිධානාත්මක පිරිස් තම ජාවාරම ක්‍රියාත්මක කිරීමට තවත් උපක්‍රමයක් භාවිත කරමින් සිටිති. නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ ගන්නා ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ලබාගෙන ධීවර යාත්‍රා භාවිතයෙන් මුහුදු මාර්ග ඔස්සේ ප්‍රංශයට අයත් රීයුනියන් දූපත වෙත යැවීමේ ජාවාරමක් ඇරඹීම එම උපක්‍රමයයි. මෙසේ රීයුනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට පත්වූ ආසන්නතම අවස්ථාව ඉකුත්දාක මීගමුවට බටහිරින් වූ මුහුදේදී වළක්වාලීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික සෙබළු පිරිසකට හැකියාව ලැබී තිබුණි.

මීගමුව වෙරළ තීරයට මුහුදු සැතපුම් 40ක් පමණ ඈතින් සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් විමර්ශනයට ලක්කිරීමේදී එහි සංක්‍රමණිකයන් 90 දෙනෙක් සිටිනු දැක අත්අඩංගුවට ගැනුණි. එහි පිරිමි පුද්ගලයන් 89ක් සහ එක් කාන්තාවක් පැමිණ තිබුණි. පිරිසගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන තිබුණේ ඔවුන් අම්පාර, හලාවත, මන්නාරම, මාතලේ, මඩකලපුව, උඩප්පුව, තොඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

ශ්‍රී ලංකාවේ සිට රීයුනියන් දූපත වෙත පිටත් කර හැරීමේ මිනිස් ජාවාරමක් වැටලූ පළමු අවස්ථාව මෙය වන අතර, මෙය සංවිධානගත මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදුකළ එකක් බවටද තොරතුරු වාර්තා වී ඇතැයි නාවික හමුදාව පවසයි. 
ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් කුඩා දූපතක් වන රීයුනියාව මැඩගස්කර දූපතට නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇත. මේ දූපතට ආසන්නතම දූපත වශයෙන් මුරැසි දිවයින පිහිටා තිබේ. එය පිහිටා ඇත්තේ කිලෝමීටර් 175ක් පමණ දුරකිනි. 850,000ක පමණ ජනගහණයක් වෙසෙන දූපතේ ඉඩ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2512 කි.

මීගමුව, දංකොටුව, හලාවත සහ වාලච්චේන ප්‍රදේශවල පුද්ගලයන් හතර දෙනකු මේ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන අතර, ඔවුන් වෙනත් පාර්ශ්වයක් වෙත මුදල් ලබාදීම සිදුකර ඇතැයිද වාර්තා වේ. වැඩිදුරටත් වාර්තා වන්නේ කලකට ඉහතදී රීයුනියන් දූපතට පලාගොස් එහි පදිංචිව සිටින බලහපුවඩුගේ ප්‍රසාද් ඉන්දික ඩිලාන් මෙන්ඩිස් නැමැත්තා එරට සිට මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුරයාත්‍රා විසින් දෛනිකව සිදුකරන මෙහෙයුම් අතරතුරදී නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දැරූ විශාල පිරිසක් මේ වසර තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අවස්ථා හයකදී අත්අඩංගුවට පත්ව සිටින පිරිස 122 කි. ඔවුන් අතර පිරිමි 106ක්, කාන්තාවන් 8ක් සහ දරැවන් 8ක් සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.

ඉකුත් සැප්තැම්බර් 11දා මීගමුවට බටහිර මුහුදේදී සැකකරැවන් 90ක්ද, ජූලි 20 වැනිදා පුද්ගලයන් දෙදෙනෙක් තලෙයිමන්නාරම වැලිවර ප්‍රදේශයේදීද, ජූනි 3 වැනිදා කන්කසන්තුරයට උතුරින් පිහිටි මුහුදේදී පුද්ගලයන් 6ක් සහ මැයි 31දා තලෙයිමන්නාරම ඌරැමලෙයි මුහුදේදී පුද්ගලයන් 6ක්ද, අත්අඩංගුවට පත්වූහ. මැයි 16 දින උතුරු මුහුදේදී පුද්ගලයන් 6 දෙනකු මෙන්ම මැයි 5 වැනිදා පේදුරුතුඩුවට වයඹ දෙසින් වූ මුහුදේදී පුද්ගලයන් 14 දෙනකු සංක්‍රමණිකයන් වශයෙන් රටින් පලායද්දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන 2018 වාර්තාව පෙන්වා දෙන්නේ මිනිස් ජාවාරම පිටුදැකීමට පියවර ගන්නා රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බවය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන නිර්දේශ අතුරින් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට මෙරට ආණ්ඩුව පියවර ගෙන ඇතැයිද එහි සඳහන්ය.

ඒ අනුව මිනිස් ජාවාරම වැළැක්වීමට ප්‍රචාරණ ක්‍රියාවලියක් දියත් කිරීම, ජාවාරම් හඳුනාගැනීම හා පිටුදැකීම සඳහා රාජ්‍ය මට්ටමින් පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන් පුහුණුකිරීම මගින් මේ ජාවාරම අඩුකිරීමට ලංකාව සමත්ව ඇතැයිද එහි සඳහන්ය.

ස්තූතිය - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතාට

සේයාරූ - නාවික හමුදා මාධ්‍ය ඒකකය
 සමන්ත ප්‍රදීප් විල්තෙර