රියැදුරකුට තමන් ධාවනය කරන රථය කුමක් වුවත් එහි වේගය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුමය. අනතුරු වළක්වා ගැනීමට එය ඉතා වැදගත්ය. එහෙත් මෙරට ධාවනය වන දුම්රිය එන්ජින්වලින් සීයට අනුවක පමණ වේගමාපක (ස්පීඩෝ මීටර්) නොමැති බව කියවෙන ඇසුවන් මවිත කරවන සුළු පුවතක් අපට වාර්තා විය. ඒ දුම්රියේ අලි ඇතුන් ගැටීම පිළිබඳව කාලීන සංවාදය අතරතුර දීය.
දැනගන්නට ලැබෙන පරිදි වේගමාපක නොමැති වීම හරහා ගැටලු රාශියකට දුම්රිය රියදුරෝ මුහුණ දෙති. දුම්රිය රියැදුරන් හට ගමන නිමා කළයුතු නිශ්චිත කාල සීමාවක් තිබේ. ඒ නිසාවෙන් ඔවුන් වේග සීමා අනුගමනය කළ යුතු වේ. එම වේග සීමා අනුගමනය කරන්නට නම් පැහැදිලිවම දුම්රියේ වේගමාපක තිබිය යුතුවෙයි. හිතේ මිම්මට හෝ වෙනත් ක්‍රමයකට දුම්රිය ධාවනය වගකීම් විරහිත ක්‍රියාවකි. තවත් පසෙකින් විවිධ අනතුරු හේතුවෙන් දුම්රිය සෙමින් ධාවන කළ යුතු ස්ථාන තිබේ. එවන් ස්ථානවල වේගය පිළිබඳව අවබෝධක් ලබා ගැනීමට නම් දුම්රිය එන්ජින් තුළ වේගමාපක තිබිය යුතුවේ.
අලි ඇතුන් දුම්රියේ ගැටීමේ ගැටලුවේ එක් හේතුවක් ලෙස වේගමාපක නොමැති වීම හැඳින්වේ. ඒ පෙරකී පරිදි දුම්රිය එම අවදානම් කලාපවල ධාවන කළ යුතු වේගය අවබෝධ කරගැනීමට අපහසු වීමෙනි. තවද දුම්රිය මාර්ගවල අවදානම් සහිත ස්ථානවලින් දුම්රිය ධාවනය වනවිට වේග සීමාව අඩු කළ යුතුය. එසේ නොමැති නම් දහස් සංඛ්‍යාත මගී ජීවිත සමඟ මහා දුම්රිය අනතුරක් සිදුවීමට අවකාශක් තිබේ. වේග සීමා නොමැති වීම විශාල අවදානමක් බව අවබෝධ කරගැනීමට එම කාරණා ප්‍රමාණවත්ය.
මෙම තත්ත්වය පිළිබඳව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී බොහෝ කරුණු මතුවූ අතර වේගමාපක නොමැති වීමට හේතුව ද අනාවරණය විය.
“වේගමාපක නිසි ලෙස නඩත්තු වෙන්නේ නැහැ. පරණ එන්ජින් තියෙන්නේ. ඒ නිසා පරණ එන්ජින්වලට අවශ්‍ය අමතර කොටස් නැහැ. අලුත්ම සිස්ටම් එකක් අවශ්‍යයි කියලා අපි කියන්නේ. තවම එහෙම ක්‍රමවේදයක් තියනවා කියලා අපිට පෙනෙන්නේ නැහැ.”
දුම්රිය වේගමාපක ගැටලුවට අමතරව දුම්රිය රියැදුරන් මුහුණ දෙන තවත් ප්‍රබල අභියෝගයක් වී ඇත්තේ එන්ජින්වල ඉදිරිපස වයිපර් ක්‍රියාවිරහිත වී තිබීමයි. ඉදිරියේ ඇති දේ පැහැදිලිව දර්ශනය නොවීම හේතුවෙන් අනතුරු ඇති වීමේ සම්භාවිතාවය ඉහළ ගොස් ඇත. වර්ෂාව සහිත අවස්ථාවක මෙය තව භයානක වනු නියතය. ඒ නමුත් වේගමාපක මෙන්ම අබලන් වූ වයිපර් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කටයුතු නිසි ලෙස සිදුවී නැත.
මෙම ගැටලු පිළිබඳව විමසීමට අපි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඇමතූ අතර ඒ මහතා මේ දිනවල විදේශගතවී ඇති බව දැනගන්නට ලැබිණි. මෙම කරැණු සම්බන්ධයෙන් විමසීමක් කිරීමට වෙනත් නිලධාරීයකු සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළ නමුත් එයද සාර්ථක නොවීය.
මේ අතර දුම්රිය වේගය පිළිබඳව කතාවෙන විට දැනගන්නට ලැබුණු තවත් කරුණක් සිහිපත් කළ යුතුය. රියැදුරන් හට වේග සීමාවන් පිළිබඳව පැහැදිලි අවබෝධක් ලබාදී අවදානම් මඟහරවා ගැනීම සඳහා කටයුතු මේ දක්වා නිසි පරිදි සිදුවී නොමැති වීමය. අලි ඇතුන් දුම්රියේ ගැටීම නිසාවෙන් මෙම ගැටලු සියල්ල කරළියට පැමිණියේය. ප්‍රවාහන අමාත්‍යවරයා විසින් විද්වත් වාර්තා කැඳවා අලි ඇතුන් සම්බන්ධ ගැලුවට විසඳුම් ලබාදීමට යන බව දැනගන්නට තිබේ. එහිදී අපි මතුකරන මෙම ගැටලුව සඳහා විසඳුම් ලැබේ යැයි යම් අපේක්ෂාවක් තබාගත හැකිය. එහෙත් එය ස්ථීරසාර ලෙස කිව නොහැක.
එතෙක් මෙතෙක් ලාංකීය දුම්රිය ඉතිහාසයේ දැවැන්ත දුම්රිය අනතුරු පිටුපස වේගය ප්‍රබල හේතුවක් ලෙස නම් වී තිබේ. 1965 දී සිදුවූ ප්‍රකට විල්වත්ත දුම්රිය අනතුරට ද හේතුවක් ලෙස එදා කියවුණේ වේගමාපක ක්‍රියාත්මක නොවීම බව කියති. එවන් තවත් අවස්ථාවන් ඉතිහාසයෙන් සොයාගත හැකිය. අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන වර්තමානයේ කටයුතු කිරීම තුළින් නුදුරේදීම සිදුවන්නට යන දැවැන්ත දුම්රිය අනතුරක සේයාවක් අපට දැනෙයි. යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් ඉන් අනතුරුව වේගමාපක හා එන්ජිමේ අඩුපාඩු ගැන කතා කිරීමේ පලක් නැත. අලි ඇතුන් මියෙන විට නොදැනෙන යථාර්ථය එදිනට බොහෝ දෙනාට දැනෙනු ඇත. අපි එවන් අනතුරක් සිදුනොවේවායි පතන්නෙමු. එහෙත් මෙම ගැටලු සිල්ලරට ගෙන කටයුතු කිරීම අතිශය භයානක බව අවධාරණය කරමු. අවසානයේ දී බලධාරීන්ගේ ඇස් ඇරේවායි කියා ප්‍රාර්ථනා කරනවා හැරෙන්නට අපට කළ හැක්කේ මෙලෙස තොරතුරු අනාවරණය කිරීම පමණක් බවද ලියා තබන්නෙමු.
චමිඳු නිසල් ද සිල්වා