2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

අන්තර්ජාලය ලක්ෂ 60ක් හිරේ යවයි!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1087

අපේ රටේත් බොහෝදෙනාගේ සමාජ සම්බන්ධතා පවත්වන ප්‍රධාන ක්‍රමය බවට අද  පත්ව ඇත්තේ අන්තර්ජාලයයි. උපන් දින සුබපැතුමේ සිට පෞද්ගලික හිත් තැවුල්, නෝක්කාඩු, පෙම් පලහිලව් මතුනොව විවාහ සැමරුම්, බීච් පාටි වැනි සමූහ ක්‍රියාකාරකම් සඳහා ආරාධනා ලබා දෙන්නේ ද ෆේස්බුක් වැනි ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේය. සමහරුන්ට නම් මේ ඇතැම් සමාජ මාධ්‍ය ජාල හා දවසේ එක මොහොතක් හෝ සම්බන්ධ වන්නට නොහැකි වීම මහා ගැටලුවක් බවට පත්වෙයි. එවන් විටෙක ඔවුන් මහා ජංජාලයක පැටලෙන අතර එය ඔවුන්ගේ මුළු දවසම අවුලක් බවට පත් කර ගන්නා මහා හේතුවක් බවට ද පත්ව තිබේ. කොටින්ම ඔවුන් මේ අන්තර්ජාලයට පිස්සු වැටී මහා ජංජාලයක පැටැලලී සිටිති.

වාර්තාගත අන්දමට මෙරට හැට ලක්ෂයක් ජනයා අන්තර්ජාලයට සම්බන්ධය. එය රටේ ජනගහණයෙන් සියයට විසි පහකි. මෑතකදී වාර්තා වූ විශේෂ කරුණ වන්නේ තරුණ ජනයා අතරින් බහුතරයක් මත්ද්‍රව්‍යවලට මෙන් මෙයට ඇබ්බැහි වී සිටින බවයි. අන්තර්ජාලයට ඇබ්බැහි වූවන් ශ‍්‍රී ලංකාවේ ඉහළ ප‍්‍රතිශතයක් සිටිය හැකි බවට මනෝ වෛද්‍ය විශේෂඥයෝ මැතක සිට විශ්වාසය පළ කර සිටිති. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ (ළමා හා නව යෞවන මානසික සෞඛ්‍යය) වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය මෑතක පැවැත් වූ මාධ්‍ය සම්මන්ත‍්‍රණයකදී නැවත ඒ බව අවධාරණය කළාය. 

අන්තර්ජාලයේ/ විද්‍යුත් මාධ්‍යයේ ප‍්‍රතිලාභ රැසකි. එහි විවාදයක් නැත. එහෙත් ඊට ඇබ්බැහි වූ විට කායික, මානසික රෝග, මානසික ගැටලු ඇති වීමට ඇති අවදානම ලැබෙන ප‍්‍රතිලාභවලට වඩා වැඩි බව ඇ පෙන්නා දුන්නාය. කොටින්ම මේ ඇබ්බැහිය කැපී පෙනෙන ලෙඩක් බවට  දැන් පත්ව හමාරය.

ආසියාවේ අන්තර්ජාලයට ඇති ඇබ්බැහිය ගැන සලකා බලන විට අප සිටින්නෙ ඉදිරියෙනි. චීන ජනතාවගෙන් 10.2%ක් ද, දකුණු කොරියාවේ ජනතාවගෙන් 20%ක් ද, ජපාන ජනතාවගෙන් 9.2%ක් ද අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව පිළිගත් සමීක්ෂණ වාර්තා පෙන්වයි. නමුත් ශ‍්‍රී ලංකාවේ මෙතෙක් අන්තර්ජාල ඇබ්බැහිය පිළිබඳ විද්‍යාත්මක විධිමත් සමීක්ෂණයක් සිදු වී නොමැති නිසා ශ‍්‍රී ලාංකීය ජනතාව අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති නිශ්චිත ප‍්‍රමාණය ගැන ස්ථීරසාර තොරතුරු නැත. එබැවින් මෙබඳු කාලීන සමීක්ෂණයක් කඩිනමින් ආරම්භ කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ (ළමා හා නව යෞවන) අපේක්ෂා හේවාගීගන මහත්මිය ඉහත කී සම්මන්ත්‍රණයේදී අවධාරණය කළාය.

අපේ රටේ ද අන්තර්ජාල භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව පෙනීයයි. නාගරික ජනගහණයෙන් 15%ක්ම අන්තර්ජාලය භාවිතකරයි. ජනගහණයෙන් 87%ක ප්‍රමාණයක් ජංගම දුරකථන සංඥා ලැබෙන ආවරණ කලාපවල ජීවත්ව සිටිති. මින් වැඩි පිරිසක් අන්තර්ජාලය පිරික්සන්නේ ජංගම දුරකථනය හරහාය. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 6ක් පමණ අන්තර්ජාලය පාවිච්චි කරති.  දැනට ජංගම දුරකථන සබඳතා මිලියන 25ක් ලංකාවේ ඇත. මිලියන 4.5ක ජනතාවක් රටේ මුහුණු පොත පාවිච්චි කරති. ඉන් 67%ක් පිරිමි සහ 33%ක් ගැහැනු වෙති. ඒවා අතරෙනුත් ව්‍යාජ ගිණුම් (ෆේක් අකවුන්ට්) 26%ක් බව වාර්තා වේ. ඒනම්  කියන්නේ සෑම සත්‍ය ගිණුම් 5ට එකක්ම ව්‍යාජ ඒවා බවය.

මේ වගේ වටපිටාවක් තුළ අපේ රටේ මුහුණු පොත සහ අන්තර්ජාලය මෙන්ම විද්‍යුත් උපාංග සඳහා ඇති ඇබ්බැහිය ඉහළ ප්‍රතිශතයක් විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරිය යෝජනා කරන්නේ තව තවත් කල් නොමරා මෙය සොයා ගැනීමට විධිමත් සමීක්ෂණ ක්‍රියාවලියක අවශ්‍යතාව මතුව ඇති බවය.

මේ වන විට දකුණු කොරියාව අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් සේ සලකයි. අන්තර්ජාලයේ සෙල්ලම් කරන්නට ඇබ්බැහි වූ දරුවන් කෑමට බීමට සහ මුහුණ සේදීම වැනි සුවතාවන් ගැන පවා සැලකිල්ලක් නොදැක්වූ නිසා සිරුරුගත ලෙඩ රෝග ද, ඇස් රෝග වැඩි වීම ද, කන් ආබාධිත තත්ත්ව වැඩි වීම ද, සමාජ ආශ්‍රයෙන් ඈත් වීම නිසා හටගන්නා මානසික රෝග ද අන්තර්ජාල ඇබිබැහියේ විපාකයන් ලෙස ඔවුන් අතර පැතිර ගොස් තිබුණි.

ඔවුන් වෙනුවෙන් අද දකුණු කොරියාවේ වැඩමුළු, පංති හා සහන සේවා මධ්‍යස්ථාන ඇරඹී ඇත. සමූහයක් එක්ව ලබා ගන්නා උපදෙස් වැඩමුළුවකට සහභාගී වන අන්තර්ජාල ඇබ්බැහියෙන් පෙළෙන මේ අය තම තමන්ගේ ඇබ්බැහිය ගැන කතා කරන්නේ හරියට මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවෙන්නට එක්වූවන් පුනරුත්ථාපන අමද්‍යප වැඩමුළුවකදී  කතාබහ කරන අන්දමිනි. මේවන විට චීනයේ සහ අමෙරිකාවේ ද අන්තර්ජාල ඇබ්බැහියෙන් ගැලවෙනු සඳහා මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝග එකතුවට අලුතින් එක් කරනවාද නැද්ද යන්නත්,  එය සූදු කෙළිය සඳහා වූ ඇබ්බැහිය හා සමානව සලකා උත්තේජක අපහරණ ආබාධ කොට්ඨාශයට (substance related disorders) ඇතුළත් කරන්නේ ද යන්නත් ගැන දැන් කතාබහ ඇරැඹී ඇත.

අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වීම කුඩා කළ ළමයින් පරිගණක ක්‍රිඩාවලට ඇබ්බැහි වීමටත් වඩා දරුණු මට්ටමක පවතින බවයි සමහර සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ. මේ නිසාම අන්තර්ජාල ඇබ්බැහිය බෙහෙත් ගන්නට වුවමනා රෝගයක් ලෙස හඳුනා ගැනෙන මට්ටමට පවා දැන් දැන් පත්වෙමින් තිබේ. මෙය දැන් Internet Addiction Disorder ලෙස වෙනම හඳුනා ගැනෙන තරමටම කැපී පෙනෙන බලපෑමක් ඇතිකර හමාරයි.

ලෝකයේ අන්තර්ජාලය භාවිත කරන්නවුන්ගෙන් 5%ත් 10%ත් අතර ප්‍රමාණයකට මෙම රෝගය වැළදී ඇති බව සමහර වාර්තා පෙන්වා දෙයි. මේ කාණ්ඩයට වැඩියෙන්ම අයත් වන්නේ අවුරුදු 18ත් 49ත් අතර පිරිසය. චීනයේ විද්‍යා ඇකඩමිය මඟින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල මඟින් අනාවරණය වූයේ අන්තර්ජාලයට ඇබ්බැහි වූවකුගේ සහ සුරාවට ලොල් වූ අයෙක්ගේ යන දෙදෙනාගේම මොළයේ ක්‍රියායාකාරීත්වය එක සමාන බවය. මේ නිසාම අන්තර්ජාල ඇබ්බැහිය ප්‍රතිකාර කිරීමට අවැසි රෝගයක් ලෙස දැන් දිනෙන් දිනම තහවුරු වෙමින් තිබේ.

අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගයට ගොදුරු වෙමින් ඇත්දැයි දැනගැනීමට පහත සඳහන් සරල ක‍්‍රමවේදය භාවිතා කළ හැකිය. පහත සඳහන් ප‍්‍රශ්නවලින් එකකට හෝ වැඩි ගණනකට ඔබේ පිළිතුර “ඔව්” නම් ඔබත් අන්තර්ජාලයට ඇබ්බැහි වූ අයකු විය හැකිය.

1. නිරන්තරයෙන්ම අන්තර්ජාලයට පිවිසීම පිළිබඳව කල්පනා කරයි. යම් මොහොතක මුහුණුපොත (FB), අන්තර්ජාලය ආදියට පිවිසීමට නොහැකි නම් දැඩි අපහසුවක් දැනේ. වෙනත් කාර්යයක නිරත වන අතරතුර වුවද වරින්වර මුහුණුපොත (FB), අන්තර්ජාලය ආදියට පිවිසීමට උත්සාහ දරයි.

2. මුහුණුපොත (FB), අන්තර්ජාලය භාවිතය ආරම්භ කළ දින සිට මේ දක්වා එහි දිනකට රැඳී සිටින කාලය ක‍්‍රමයෙන් වැඩි කරයි. මුලදී සතියකට වරක් හෝ දෙවරක් එහි සැරිසැරුව ද අද වන විට වැඩි වේලාවක් එහි රැඳේ. ඇතැම්විට ආහාර ගන්නා අතරතුර පවා අවට සිටින අනෙක් පුද්ගලයන් පිළිබඳව නොතකා මුහුණු පොතේ රැඳෙයි.

3. තමන් මුහුණුපොතට (FB), අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව දැනී ඉන් ගැලවීමට අදිටන් කර ගනියි. භාවිතය වැඩි බවත්, අඩු කර ගත යුතු බවත්, පාලනය කර ගත යුතු බවත් සිතා මුහුණුපොත (FB), අන්තර්ජාලය භාවිතය අඩු කර ගැනීමට උත්සාහ දරයි. එහෙත් එම උත්සාහය අසාර්ථක වෙයි.

4. මුහුණුපොත (FB), අන්තර්ජාලය භාවිතය අඩු කර ගැනීමට ගන්නා උත්සාහයේදී තමන්ම අපහසුතාවයට පත්වෙයි. “අද මම මුහුණුපොත (FB), අන්තර්ජාලය භාවිතය නොකරමි/ භාවිතය අඩු කරමි” ආදි වශයෙන් උදෑසන අවදිවන විට දැඩිව සිතා ගනි. නමුත් දහවල් 2.00 පමණ වන විට ඉවසා සිටීමට නොහැකි වේ. ඒ මත්ද්‍රව්‍ය භාවිතයේදී ඇබ්බැහි වී ඇති අයකුට මත්ද්‍රව්‍ය නොමැති විට දැනෙන යම් යම් අපහසුතාවලට තරමක් දුරට සමාන වේ. මුහුණුපොත (FB), අන්තර්ජාලය ඇබ්බැහිය සිදු වී ඇති අයකුට ඒවාට ප‍්‍රවේශම් වීමට නොහැකිවිට සිතට දැඩි අපහසුතාවක් දැනේ.

5. මුහුණුපොත (FB), අන්තර්ජාලය නිසා පුද්ගලයකුට ඇති වටිනා දේ අහිමි වෙයි. සමීපතයන්, දරුවන්, මව, පියා, යහළු, යෙහෙළියන්, පෙම්වතා, පෙම්වතිය සහ කාර්යාලීය හිතවතුන් සමඟ ඇති සබඳතා අඩුවෙයි. සමාජ සම්බන්ධතා අහිමි වෙයි. වෘත්තියේ ඉදිරියට යාමට ඇති අවස්ථා මඟ හැරෙයි.

6. මුහුණුපොත (FB), අන්තර්ජාලය, පරිගණක ක‍්‍රීඩා (Games)වලට ඇබ්බැහි වී ඇති අයෙක් තමන් මේවා පාවිච්චා කරන ප‍්‍රමාණය සැඟවීමට උත්සාහ ගනි. “දැන් ඔයා Social Media පාවිච්චි කරනවා වැඩියි නේද?” ලෙස කිසිවකු හෝ විමසුවහොත් පැය 6ක් හෝ 7ක් වැනි දිගු කාලයක් එහි සැරිසැරුව ද එය විනාඩි 30කට හෝ 15කට ලඝු කර පෙන්වයි.

7. තමන්ගේ ගැටලු, ප‍්‍රශ්න මඟහරවා ගැනීමට හෝ ජීවිතයේ නීරස බව මඟහරවා ගැනීමේ එකම මාර්ගය ලෙස මුහුණුපොත(FB), අන්තර්ජාලය, විද්‍යුත් මාධ්‍යය භාවිත කරයි.

මෙම කරුණු අතරින් එකක් හෝ කිහිපයක් යම් පුද්ගලයකුට ඇත්නම් ඔහු හෝ ඇය අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති අයකු ලෙස සැලකේ. නැතහොත් ඇබ්බැහියක අවදානම ඇති පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. එසේ නම් කළ යුත්තෙ සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයකුගේ උපකාර පැතීමයි.

කුඩා කාලයේ සිට දරුවන් මේ අන්තර්ජාල ජංජාලයෙන් බේරාගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක්  පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය අපේක්ෂා හේවාගීගනගේ මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.

"අපි දන්නවා අද වන විට මෙවැනි තිර සහිත විද්‍යුත් මෙවලම් ගැන නොදන්නා කෙනෙක් නැහැ. පුංචිම දරුවෝ පවා දන්නවා මේ උපකරණ ක්‍රියාත්මක කරන ආකාරය ගැන. අම්මලා තාත්තලා තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න බොහෝ වෙලාවට කරන්නේ එක්කෝ රූපවාහිනිය දාලා දෙන එක. නැත්නම් ගේම් එකක් දාලා ෆෝන් එක දෙන එක. මේක ඉතාම අයහපත් ප්‍රතිඵල ලබා දෙන්නක්. රිජ්වේ ආර්යා ළමා රෝහලේ මගේ අංශයට සහ මට අදාළ විෂයට අදාළව එවැනි දරුවන් විශාල ප්‍රමාණයක් මට මුණගැසෙනවා. ඇතැම් දරුවෝ තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු පවා නොතකා තිර සහිත විද්‍යුත් උපකරණවලට කාලය මිඩංගු කරන්න පුරුදු වුණ අය. ඒ අයගේ මවුපියන් දරුවන්ව ඒ ඇබ්බැහියෙන් ගලවගන්න තමයි අපි ගාවට රැගෙන එන්නේ.

මෙය අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම බලපාලා තිබෙන තර්ජනාත්මක ගැටලුවක්. ඒ නිසා කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගම් මඟින් මේ සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා.

ඉන් පළමුවැන්න තමයි වයස අවුරුදු 2ට අඩු දරුවන්ට මෙම තිර සහිත විද්‍යුත් උපකරණ මාධ්‍ය සියල්ල භාවිතයට දීම නුසුදුසුයි. මෙතැනදී තිර සහිත විද්‍යුත් උපකරණ කියන්නේ රූපවාහිනිය, පරිගණකය, ලැප්ටොප් යන්ත්‍ර, අයිපෑඩ්, ටැබ් යන්ත්‍ර හා ජංගම දුරකථන ආදී සියල්ලම. අවුරුදු දෙකට අඩු දරුවන්ට මෙවැනි සීමාවක් යොදලා තිබෙන්නේ ඉතාම වැදගත් කාරණා කිහිපයක්ම පදනම් කොට ගෙන.

මේ වයසේ දරුවන් දවසේ වැඩි වේලාවක් මෙවැනි උපාංගයන්ට නිරාවරණය වීමෙන් ස්නායු පද්ධතිය මේරීමේ සහ සංවර්ධනය ඌණ වීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එපමණක් නෙවෙයි, දරුවන්ගේ භාෂාමය ගැටලු, සමාජ සබඳතාවල ගැටලු සහ චර්යා රටාවන්ගේ ගැටලු ඇති වීමටත් පුළුවන්. ගොඩක් අම්මලා තාත්තලා අහනවා "දරුවෝ ඒවා බලලා වචන ඉගෙන ගන්නවා. ඉතින් ඇයි මේවා නරක" කියලා. ඇත්තටම දරුවා අනුකරණය කිරීමෙන් වචන හුරුවෙනවා තමයි. නමුත් දරුවා එහි නිවැරදි අර්ථය සහ එය නිවැරැදි තැනට යොදන ආකාරය ගැන ඉගෙන ගන්නේ තවත් කෙනකු හා සන්නිවේදනය කිරීම මඟින්. මෙතැනදී එහෙම යහපත් සන්නිවේදනයක් වෙන්නේ නැහැ. එය ඒකපාර්ශ්වීය සන්නිවේදනයක් කතාන්දරයක් කියා දීම තුළින් හා දරුවා සමඟ කතා කිරීම තුළින් සිදුවන දේ ඉන් බලාපොරොත්තු වෙන්න බැහැ.

මීළඟට අවුරුදු 3 සහ 5 අතර දරුවන්ට දවසකට උපරිම පැයක පමණ කාලයක් පමණයි මෙම තිර සහිත මෙවලම් භාවිත කිරීම සුදුසු. එතැනදිත් ඉක්මනින් සහ වේගයෙන් චලනය වන රූපරාමු ඇති වැඩසටහන් සුදුසු වන්නේ නැහැ. ප්‍රචණ්ඩකාරී දර්ශන හා අසභ්‍ය දර්ශන නැති අධ්‍යාපනික වැඩසටහන් වඩාත් සුදුසුයි. මෙම වැඩසටහන් නරඹන විට ඒවා ගැන කියාදීමට දරුවා අසල වැඩිහිටියෙක් සිටිය යුතුමයි.

වයස අවුරුදු 5 සිට 13 වන තෙක් දරුවන්ට කිසිසේත්ම අතේ තබාගෙන පාවිච්චි කරන උපාංග ලබා නොදිය යුතුයි. විශේෂයෙන්, ලැප්ටොප් සහ ටැබ් වගේ උපකරණ. එමඟින් දරුවා වඩාත් නුසුදුසු දේට ඇබ්බැහි වීමට පුළුවන්. ඔවුන්ට කුමන ආකාරයක හෝ වීඩියෝ ගේම්, අන්තර්ජාල ක්‍රීඩා ආදියට ප්‍රවේශය ලබා නොදිය යුතුයි.

අවුරුදු 13-18 දක්වා දරුවන්ට උපරිම වශයෙන් දවසට පැය දෙකක කාලයක් ලබාදීම ප්‍රමාණවත්. දරුවාගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කිරීමට, ගෙදර අය සමඟ ගත කිරීමට, නිදාගැනීමට ආදී ප්‍රධානම දේවල්වලට කාලය ගැනීමෙන් අනතුරුව ඉතිරිවන කාලයෙන් පැය දෙකක් තමයි මෙහිදී සඳහන් වන්නේ.

ඔවුන් වීඩියෝ ක්‍රීඩාවල යෙදෙනවා නම් උපරිම දවසකට පැය භාගයක් එයට ලබා දුන්නට කමක් නැහැ. නමුත් ප්‍රචණ්ඩකාරී ක්‍රීඩා සුදුසු නැහැ. මේ මොන දේවල් කළත් මවුපියන් දරුවන් මේ උපකරණ භාවිතයෙන් කරන දේවල් ගැන අවධානයෙන් සිටීම වැදගත්.

ඇත්තටම තමන්ගේ නිවෙස තුළ ඒ පිළිබඳව යම් සැලසුමක් තිබුණොත් හොඳයි. එයින් පුළුවන් ඇබ්බැහිය හා අවභාවිතය වළකා ගන්න. ගෙදරදී අම්මට තාත්තට පුළුවන් අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් ඒ උපාංග නිදන කාමර තුළට රැගෙන යෑමට ඉඩ නොදී නිවෙසේ එක් නියමිත ස්ථානයක එය භාවිත කිරීමට ඉඩ සලසන්න. ඒ වගේම කෑම කන වේලාවට, විනෝද චාරිකා යන විට සහ පවුලේ අය එකතු වන වේලාවට එම උපකරණ භාවිත නොකරන ලෙසට ඔවුන්ට අවවාද කිරීමට, දරුවන් පමණක් නොවෙයි වැඩිහිටියන්ටත් පුළුවන් එවැනි සීමාවන් පනවාගෙන ඇබ්බැහි නොවී ඉන්න. විශේෂයෙන් නිදන කාමරය තුළ රූපවාහිනිය තැබීම හෝ පරිගණකය තැබීම කිසිවිටෙක නොකළ යුතුයි.

මේ ආකාරයට එකඟතාවක් හා සැලසුමක් නැති වුණොත් තමයි ඇබ්බැහියකට ගමන් කරන්නේ. පවුලේ සාමාජිකයන් අතර සුහඳතාව බිඳවැටීම, සමාජයීය සබඳතා බිඳවැටීම පමණක් නෙවෙයි මානසික ගැටලු සහ මෙම උපකරණ දීර්ඝ කාලීනව භාවිත කිරීමේ වැරදි ඉරියව් තුළින් කොඳු ඇටපෙළේ ආබාධ, ස්නායු රෝග, අක්ෂි රෝග වගේ දේවල් පවා ඇති විය හැකියි.” 

තාක්ෂණික උපකරණ හා තිර සහිත විද්‍යුත් උපකරණවලට ඇබ්බැහි වීම තුළින් මොළයේ ස්නායු සෛලවලට හානි වීම, මතකය, භාෂණය, කථනය, දෘෂ්ටිය, චර්යා රටා, සංවේදිතාව, හැඟීම් ආදියෙහි නිවැරදි පැවැත්මට ද හානි වන බව මේ වන විට සාක්ෂි සහිතව ප්‍රත්‍යක්ෂ වී අවසන්ය. විශාදය, මානසික ආතතිය, තාවකාලික උමතුව, ෆැන්ටසි වයිබ්‍රේෂන් සින්ඩ්‍රෝම් (දුරකථනය වයිබ්‍රෙට් වන බව නිතර දැනීම) වැනි මානසික සංකූලතා රුසකට ද එය ඉඩහසර පාදනු ඇත. 

♦ සුගත් පී. කුලතුංගආරච්චි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05