අප රට තුළ පිහිටා ඇති වැව්වල ලූලා, වලපොත්තා වැනි දේශීය මාළුන් පැටව් දමා බෝවීම නිසා බොහෝ ධීවරයෝ බිළිපිත්ත හෝ දැල් මාර්ගයෙන් මාළුන් අල්ලා ගනිති. වර්ෂ 1952 දී පමණ ලංකාවට “තිලාපියා” මාළුවා හඳුන්වාදුණි. තිලාපියා රට තුළ ඉතා සීඝ්‍රයෙන් බෝවී රට තුළ හොඳ නිෂ්පාදනයක් ඇතිවිය. 1978 දී පමණ ඉන්දියාවෙන් “කැට්ලා, මිරිගාල්” වැනි මාළුන් ද හඳුන්වාදුණි. මේ මාළුන් ආහාරයට ගනු ලබන්නේ අපේ ජලයේ ඇති පාවෙන ඇතැම් නොපෙනෙන තරමේ කුඩා පැළෑටියි. මොවුන් ශාක භක්ෂක මාළුන්ය. මෙම මාළුන්ගේ වර්ධන වේගය දේශීය මාළුන්ගේ වර්ධනයට වඩා වැඩි වේගයක් පවතී. මොවුන් වැව් තුළ බෝවීමක් සිදුනොවේ. මේ නිසා අභිජනන මධ්‍යස්ථානයෙන් මාළු පැටව් බෝ කිරීමක් සිදුකර වැව්වල තැම්පත් කිරීමක් සිදුවේ.
“අපි මේ මාළු පැටවකු වැවට දමද්දී පැටවාගේ ප්‍රමාණය සෙන්ටිමීටර් පහක් පමණ වෙනවා. බර සාමාන්‍යයෙන් ග්‍රෑම් පහක් හයක් පමණ වෙනවා. නමුත් වසර එකක් හෝ දෙකක් ගතවෙද්දී මේ මාළුවාගේ බර කිලෝ පහක් දහයක් අතර වෙනවා. මේ වනවිට වැව්වලින් කිලෝ තිහක සහ කිලෝ පනහක මාළුන් ද සොයාගෙන තියෙනවා. අපේ මාළු බෝ කරන අභිජනන මධ්‍යස්ථාන ලෙස දඹුල්ල, උඩවලව, නුවරඑළිය, ඉරණමඩු වැනි ප්‍රදේශවල පිහිටා තියෙනවා.” යැයි ධීවර හා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) කේ.බී.සී. පුෂ්පලතා මහත්මිය දේශයට පැවසුවාය.
මෙලෙස බෝ කරනු ලබන වැව් මාළුන් ජලාශ වර්ග දෙකකට වෙන් කෙරේ. “නිත්‍ය ජලාශ” ලෙසින් හඳුන්වන විශාල ජලාශවලට දැමීම එයින් එක් ක්‍රමයකි. අවුරුද්ද පුරාම ජලය පැවැතීම මෙම ජලාශයේ ප්‍රධාන ලක්ෂණයයි. පරාක්‍රම සමූද්‍රය, සේනානායක සමූද්‍රය, මින්නේරිය, පදවිය වැනි විශාල වැව් මේ වර්ගයට අයත් වේ. ඒ ජලාශවලට මෙම කැට්ලා මාළුන් දමා බෝ කරගනී. තිලාපියා වැනි මාළුන් ජලාශවලදී ස්වභාවිකව පැටව් බෝ කිරීමක් සිදුවුව ද කැට්ලා, මිරිගල් මාළුන් එසේ බෝ වීමක් සිදුනොවේ. ඒ නිසාම අභිජනන මධ්‍යස්ථානයේදී ගෑනු සතුන් වෙන් කර එන්නතක් ලබාදී බිත්තර ගෙන පැටව් බෝ කරයි. එය විශාල කර්තව්‍යයකි. බිත්තරයකින් එනු ලබන පැටවා “පසු කීටයා” ලෙස හැඳින්වේ. සති දෙකකින් පසුව එය “ඇසිත්තා” නමින් හඳුන්වයි. දවස් හතළිස් පහක් පමණ වෙද්දී “ඇඟිල්ලා” බවට පත්වේ. (ඇඟිල්ලක ප්‍රමාණයකින්) මේ “ඇඟිල්ලා” තත්ත්වයේදී බොහෝ විට වැව්වලට මුදාහැරීම සිදුවේ. එවැනි මාළුන්ට පීනා ගොස් අවශ්‍ය ආහාර ගෙන තනියම ජීවත් වීමේ හැකියාව පවතී.
නිත්‍ය වැව්වලට අමතරව “කාලීන ජලාශ”වල ද මාළු ඇතිකරයි. නිත්‍ය ජලාශ බොහෝ විට පාලනය කරනු ලබන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හෝ මහවැලි අධිකාරිය යටතේය. කාලීන ජලාශවලදී මෝසම් වර්ෂාවෙන් ජලය පිරී අගෝස්තු, සැප්තැම්බර් කාලවලදී ජල හිඳීමක් සිදුවේ. මෙහි කාලයකදී පමණක් ජලය පිරේ. ඒවා කාලීන ජලාශ වේ. මෙවැනි කුඩා ජලාශ වැඩිපුරම පාලනය වන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙනි. ගොවි සංවිධාන යටතේ පිහිටා ඇති අනු කණ්ඩායම් මේ හා සම්බන්ධව පවතී.
මේ ධීවර සංවිධාන විසින් නීතියක් යටතේ දැල යොදා මාළුන් අල්ලා ගනු ලබයි. විශාල වැව්වලදී පරිපාලන නීති මාලාවක් පවතී. වැවේ යන වේලාව, මාළුන් අල්ලන නැවත ගෙන ආයුතු වෙලාව, එක් ධීවරයකු දැමිය යුතු දැල් සංඛ්‍යාව, දැලෙහි ප්‍රමාණය ආදිය නීති මාලාවකින් සමන්විත එක තොටුපළක මෙම මාළු ගෙන ඒම තීරණය වේ.
“ධීවරයෙක් දැලෙන් මාළු අල්ලා ගොඩට ගෙන ආ විට ධීවර සමිතියෙන් ඒ මාළු ගෙන ධීවරයාට මුදලක් දී වෙළෙන්දන්ට විකිණීමක් සිදුවෙනවා. තවත් ක්‍රමයකින් ධීවරයා මාළු ටික ගෙන ආ විට සමිතියට කොමිස් මුදලක් සමඟ අයකොට වෙළෙන්දන්ට මාළු ටික දෙනවා. ඒ කොමිස් මුදලින් මාළු පැටව් තැන්පත් කිරීම සඳහා යොදා ගන්නවා. වැව් මාළු ඒ ආශ්‍රිතව මිනිසුන්ට ආහාරයට ගන්න ලැබෙනවා. නමුත් ලැබෙන ප්‍රමාණය ඉතා වැඩියි.” යැයි කේ.බී.සී. පුෂ්පලතා මහත්මිය පැවසීය.
උඩවලවේ ජලාශයෙන් දිනකට කැට්ලා මාළුන් කිලෝ දෙදහසක් තුන්දහසක් පමණ ලැබේ. ඒ ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනයට එය ඉතා වැඩිය. මේ නිසා වැව් මාළු මිල ඉතා අඩුවේ. නිෂ්පාදනය වැඩිවෙද්දී මිලේ අඩුවීමක් සිදුවේ. මේ නිසා මේ මාළු මිල ස්ථාවරව තබා ගැනීමටත් මාළු අපතේ නොයැවීමට පෞද්ගලික අංශයත් හා සම්බන්ධ කර ගනිමින් ධීවර හා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් කැට්ලා මාළුන් ටින් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
බොහෝ දෙනා වැව් මාළු කෑමට ප්‍රියතාවයක් නොදක්වන බව කියයි. එයට හේතු කිහිපයක් බලපායි. එනම් වැව් මාළුවල පවතින මඩ ගන්ධයට හා වැව් මාළු සුද්ධ කිරීමට ඇති නොහැකියාවයි. නමුත් මෙම ටින් කළ කැට්ලා මාළු පිරිසිදු කොට ඉතා රසවත් ලෙස පිස ටින් කිරීමක් සිදුකර ඇත. ආහාරයට ගැනීමට පෙර ටින් එක විවෘත කොට රත්කොට ගැනීමක් පමණක් සිදුකළ යුතුය.
“මේ වැව් මාළු ටින්වලට කෘත්‍රීම රසකාරක ඇතුළු කරලා නැහැ. මෙයින් කාලය ඉතිරි වෙනවා. බොහෝ දෙනා වැව් මාළු සුද්ධ කරන්න දන්නේ නැහැ. මාළුවල පවතින මඩ ගඳට සමහරු වැව් මාළු උයන්නේ නැහැ. ඒ කිසිම මහන්සියකින් තොරව ඉතා රසවත්ව, ඉතා ඉක්මණින් වැව් මාළු රස බැලීමේ හැකියාවක් තියෙනවා. මාස තුනක් කල්තබා ගැනීමේ හැකියාව ද තිබෙනවා. මේ වනවිට කැට්ලා මාළු කරිය, මාළු බැඳුම සහ මාළු සැන්විච් ප්‍රේස්ටි එක ලෙසින් වර්ග තුනක් ටින් කරලා තියෙනවා.”
යැයි කේ.බී.සී. පුෂ්පලතා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
පිටරටවලින් ගෙනෙන සැමන් එකට වඩා අපේ දේශීය මත්ස්‍ය ආහාරයට ගැනීම ගුණදායක වේ. මෙය ඉතා සාධාරණ මිලකට ඔබටත් මිලදී ගැනීමේ හැකියාව පවතී.
►දිශානි ජයමාලි කරුණාරත්න