2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

නිල ඇඳුමට ඉන්දියාවෙන් පරණ රෙදි

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

නිදහස් අධ්‍යාපනය තුළ පසුගිය කාලය තිස්සේ අපේ රටේ දරු දැරියන්ට පෙළ පොත් මෙන්ම නිල ඇඳුම් රෙදි ලබාදීම රජයේ සුබවාදී පියවරකි. කාලයක පටන් පෙළපොත් ලබාදුන්නද නිල ඇඳුම් නොමිලයේ පරිත්‍යාග කිරීම අරඹා දැනට වසර 25කි. 1993 වසරේ සිට ලක්ෂ 43කට ආසන්න සිසු සිසුවියන් පිරිසකට නොමිලේ ලබාදෙන පාසල් නිල ඇඳුම් සඳහා වැයකරන මුදල ඉතා විශාලය.

එළැඹෙන 2019 වර්ෂයේදී පාසල් නිල ඇඳුම් වශයෙන් ලබාදීමට ඉන්දියාවෙන් ආනයනය කර වසර තුනක් ඉක්මවූ භාවිතයට නුසුදුසු රෙදි තොගයක් සූදානමින් තබා ඇතැයිද එම රෙදි තොගය පාසල් නිල ඇඳුම් වශයෙන් බෙදාදීමට ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය එක්ව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ. මේ අතර තොරතුරු වාර්තා වී ඇත්තේ අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය හේතුවෙන් ආණ්ඩුවට රුපියල් කෝටි 97කට අධික පාඩුවක් සිදුවන බවය.

ඉන්දියාවෙන් ගෙන්වා වසර තුනක් පරණ වූ රෙදි තොගය කල් ඉකුත් වී ඇති බවත් ඒවා දේශීය රෙදි නිෂ්පාදකයන් සපයන මිලට වඩා ඉහළ මුදලකට මිලදී ගැනීමට රජය සූදානම් වෙමින් සිටින බව දේශීය රෙදි නිෂ්පාදකයෝ අනාවරණය කරති. මෙසේ ගෙන්වූ පළමු රෙදි තොගය 2016 පෙබරවාරි 24 වැනිදා ගෙන්වා ඇති බවත් ඒවා දැනට සීදූව පිහිටි ආයතනයක ගබඩා කර තිබෙන බවත් දෙවන වරට ගෙන්වූ රෙදි තොගය 2016 නොවැම්බර් 24 වැනිදා ගෙන්වා තවමත් කොළඹ වරාය පරිශ්‍රයේ ගොඩගසා ඇතැයිද දැනගන්නට තිබේ. මෙම රෙදි තොගය පේෂකර්මාන්ත සේවා අභ්‍යාස ආයතනය මගින් සිදුකළ තත්ත්ව පරීක්ෂණයෙන් අසමත්ව ඇති බවත්, යම් හෙයකින් රෙදි තොගය රජය මිලට ගන්නේ නම් ලබන 2019 වර්ෂයේදී මෙරට සිසු දරු දැරියන්ට භාවිතයට නුසුදුසු හා දුර්වර්ණ වූ නිල ඇඳුම් ඇඳීමට සිදුවන බවද දේශීය රෙදි නිෂ්පාදකයන් තොරතුරු අනාවරණය කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් තහවුරු කර ඇත්තේ මේ රෙදි තොගය සඳහා මුදල් ගෙවීම නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව සිදුකළ නොහැකි බවය. ඒ පිළිබඳ වාර්තාවක්  2018.07.05 වැනිදා නීතිපතිවරයා වෙත යවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

2011 වර්ෂයේ සිට පාසල් නිල ඇඳුම් සැපයීම සිදුකර තිබුණේ දේශීය රෙදි නිෂ්පාදකයින් විසිනි. 2014 වර්ෂය වනවිට එම සැපයුම මීටර් ලක්ෂ 80කට වඩා ඉහළ නැගීමට දේශීය නිෂ්පාදකයින් පියවර ගෙන තිබූ අතර කමිස හා ගවුම් රෙදි මෙන්ම නිල් හා සුදු කලිසම් රෙදි ඉහත ප්‍රමාණයෙන් අඩක් සැපයීමට දේශීය නිෂ්පාදකයින් සමත්ව තිබුණි. මේ අතර  පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා සඳහා සිවුරු රෙදි මීටර් ලක්ෂ තුනක් පමණ සැපයීමටද පියවර ගෙන තිබුණි. යහපාලන රජය පත්වූ 2015 වර්ෂයේ සිට දේශීය රෙදි නිෂ්පාදකයින්ගෙන් රෙදි මිලට ගැනීම නවතා දමා සතොස මගින් ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු මගින් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත්තේ රෙදිවල බාල තත්ත්වය හේතුවෙනි. මේ සිදුවීමෙන් පසුව බලධාරීන් පාසල් නිල ඇඳුම වෙනුවට වව්චර පත් ලබාදීම හඳුන්වා දී තිබුණි. වසර තුනක් පුරා රෙදි තොගය ගබඩා කර තිබෙන පසුබිමක ඉහත කී කැබිනට් පත්‍රිකාව සැකසෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ඒකාබද්ධවය.

ගනුදෙනුවේ භයානකත්වය පෙන්වීමට මෙම තොරතුරු පමණක් ප්‍රමාණවත්ය. දේශීය නිෂ්පාදකයින් විසින් කමිස රෙදි, ගවුම් රෙදි මීටරය සඳහා අයකරන මුදල රු.161ක් වශයෙන්ද සුදු කලිසම් රෙදි මීටරය රු.210ක්ද නිල් කලිසම් රෙදි මීටරය රු.240ක්ද දුඹුරු පාට කමිස ගවුම් රෙදි මීටරයට රු.240ක් සහ සිවුරු රෙදි මීටරය රු.240ක් වශයෙන්ද රෙදි කැපීම හා ඇසුරුම් කිරීම සඳහා රු.8ක මුදලක් අය කිරීමට නියම කර තිබිණ. මේ සඳහා රජය වැයකළ යුතු සමස්ත වියදම රු.2,193,225,539 කි. ඊට ඇසිරීමේ ගාස්තුව රු.12,017,587.50ක්ද ඇතුළත්ය.

ඉන්දීය සමාගම මගින් ආනයනය කර ලබාගන්නේ නම් ඔවුන් සෑම රෙදි මීටරයක් සඳහාම මිල නියම කර ඇත්තේ රු.280ක් වශයෙනි. ඔවුන්ගෙන් ඇණවුම් කරන ප්‍රමාණය රෙදි මීටර් 8.468,609ක් ලෙස සඳහන්ය. මේ සඳහා රේගු ගාස්තු, සෙස් බද්ද. 5%ක වැට් බද්ද, ප්‍රමාද ගාස්තු හා ප්‍රවාහන වියදම රහිතව රු.2,372,132,277.18ක් ලෙස දක්වා තිබේ. මේ අනුව අවශ්‍ය රෙදි මීටර් 12,017,587ක ප්‍රමාණය මිලදී ගන්නේ නම් රජයට වැයවන මුදල රු. 3,366,232,244.02කි. ඒ අනුව සිදුවන මහජන මුදල් නාස්තිය රු.1,173,006,705.02කි.

මේ අනුව රෙදි තොගය දේශීය වශයෙන් මිලදී ගන්නේ නම් විදේශයට ඇදී යන්නේ නූල් සඳහා වන මුදල පමණක් බවත් එය ඉහත මුදලෙන් 40%ක් පමණ බවත් දේශීය නිෂ්පාදකයන් පෙන්වා දෙයි. සමස්තය දෙස විමසීමේදී පැහැදිලි වන්නේ සියලු රෙදි ප්‍රමාණය ඉන්දීය සමාගමෙන් මිලට ගන්නේ නම් රුපියල් මිලියන 1100කට අධික මුදලක් නාස්ති වන බවය.

සමන්ත ප්‍රදීප් විල්තෙර