නැගෙනහිර පළාතේ කල්ලඅඩි පාෂාණ පබ්බත විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර දේවානන්දකිත්ති හිමියන් පැවිදි වීමට පෙර ගිහි කාලයේ සිටි නමට ලබාගත් රියැදුරු බලපත්‍රය වලංගු එකක්ද යන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන ලෙසත්, එතෙක් එම බලපත්‍රය වෙනුවට තාවකාලික රියැදුරු බලපත්‍රයක් උන්වහන්සේ වෙත නිකුත් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් ශරීෆ් මොහොමඩ් සම්සුදීන් මහතා මුතූර් පොලීසියට නියෝග කර තිබිණ.
මෙම නියෝගය සහ ඊට අදාළ සිදුවීම පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වන අතර එහි පෙළගැස්ම මෙසේය.
රත්නපුරේ දේවානන්දකිත්ති හිමියන් වැඩවාසය කරන්නේ ඓතිහාසික ලංකා පටුනට නුදුරුව ඇති මාවඩ්චේන, කල්ලඅඩි පාෂාණපබ්බත විහාරස්ථානයේය. ඉපැරැණි බෞද්ධ උරුමයක් වුවත් ඒ ආසන්නයේ සිංහල බෞද්ධ එක පවුලක් හෝ අද දකින්නට නැත. කොතෙකුත් දුෂ්කරතා හමුවේ වුවද පින්බිම රැකගෙන වාසය කරන උන්වහන්සේ වරින්වර ගොඩනැගෙන ආගම්වාදී සහ ජාතිවාදී හැඟීම් යටපත් කරනු පිණිස සෑම ජාතියකම ජනතාවට වන්දනාමාන කළ හැකි සංහිඳියා බෝධිය ඉදිකිරීම ආරම්භ කළහ. එලෙස සංහිඳියා බෝධිය ඉදිවන්නේ ලොව ප්‍රථම වතාවටය.
බෞද්ධ පවුලක්, පන්සලක් අසල්වැසියෙක් නොමැති පසුබිමක උන්වහන්සේ ගත කරන්නේ දුෂ්කර ජීවිතයකි. සියලු කටයුතු තමන්වහන්සේ විසින් සපුරාගන්නා අතර උන්වහන්සේ පැවිදි වන්නට පෙර ගිහිකල බටහිර වෛද්‍යවරයෙක් වශයෙන් දෙස් විදෙස් රටවල ෙස්වය කර තිබිණ. එහිදී උපයාගත් ධනයෙන් විහාරස්ථානයට කැබ් රථයක් මිලට ගෙන තිබූ අතර, ඊට රියැදුරෙක් යොදවා තැබීමට ආදායමක් නොවීය. එබැවින් උන්වහන්සේ ගිහිකල ලබාගෙන තිබූ රියැදුරු බලපත්‍රය අතැතිව කැබ් රථය ධාවනය කළහ. එමගින් උන්වහන්සේට පමණක් නොව, ගමේ අහළ පහළ උදවියටත් ලැබුණේ ඉමහත් මෙහෙයකි.
දේවානන්දකිත්ති හිමියන් ගොඩනගමින් තිබූ විහාරස්ථානයේ ආලේප කිරීමට තීන්ත මිලට ගැනීමේ අවශ්‍යතාවයක් ඇතිව තිබුණි. ඒ සඳහා උන්වහන්සේ කැබ් රථය පදවාගෙන මුතූර් නගරයට යමින් තිබුණේ ඉකුත් ජූලි 17 වැනිදාය.
මරියන් ශිවමාලෙයි පදිංචිව සිටියේ ඉරුදියපුරම් ප්‍රදේශයේය. වකුගඩු රෝගයෙන් පෙළුණු ඔහු සැත්කමකට භාජනය වී සිට නිවෙසට පැමිණ සිටියේය. වෛද්‍ය උපදෙස් ලැබී තිබුණේ විවේක සුවයෙන් ඇඳට වී සිටින ලෙසය. ඇවිද යන්නට තරම් ශක්තියක් නොවූ ඔහු යතුරුපැදියක නැගී පාරේ ඒ මේ අත වැනෙමින් ගියේය. රත්නපුරේ දේවානන්දකිත්ති හිමියන් පදවාගෙන ආ කැබ් රථයේ වම්පස ඔහු ගැටී තිබුණේ ස්වාමීන් වහන්සේ හැකිතාක් අනතුර වළක්වාලීමට උත්සාහ දරා තිබියදීය.
ගැටුණු යතුරුපැදියේ සංඥා බල්බ, තිරිංග කිසිවක් නොවීය. රෝගී යතුරුපැදිකරුට රියැදුරු බලපත්‍රයක් නොවීය. වෙන යමක් තබා හරිහැටි යතුරුපැදිය පැදවීමට බැරිය. ඔහු පැමිණි යතුරුපැදිය කැබ්රියේ ගැටෙන අයුරු බොහෝ පිරිසක් දැක තිබුණි. රැස්වූ පිරිස රෝගියා රෝහල්ගත කිරීමට පියවර ගත්හ. ඒ සියල්ල සඳහා ස්වාමීන් වහන්සේ උපකාරී වූහ. සිද්ධිය විමර්ශනයට පැමිණි මුතූර් රථවාහන පොලීසියේ නිලධාරීන් හිමිනම අත්අඩංගුවට ගත් අතර සිද්ධිය ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරීවරයාට ආරංචි වීමෙන් කරුණු විමසා පිටත් කර හැරියද අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
රිය අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම, රියැදුරු බලපත්‍ර රහිතව ධාවනය, අපරීක්ෂාකාරී පැදවීම, රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා උන්වහන්සේට එරෙහිව ඉදිරිපත් කෙරිණ. සියලු චෝදනාවලට උන්වහන්සේ නිවැරදිකරු බව කීමෙන් ඉදිරියට නඩුව විභාග කෙරිණ.
එහිදී පොලීසිය අධිකරණයට දන්වා තිබුණේ හිමිනමට පැවිදි නමින් බලපත්‍රයක් තිබිය යුතු බවය. ඊට ක්‍රියාත්මක වූ හිමිනම චීවරය ඉවත් කර අඳනය සහ සිවුරට යටින් ඇති ඇඟලුම සහිතව සිය නීතිඥවරයා හමුවට ගොස් තිබිණ. එහෙත් නීතිඥ උපදෙස් මත උන්වහන්සේ සිවුර ඇඟලාගෙන අධිකරණයට ඉදිරිපත් වූහ. මෙහිදී නීතිඥ ලක්ෂ්මන් බණ්ඩාර මුල්ලේගම මහතා කරුණු දක්වමින් හිමිනම පැවිදි වීමට පෙර ගිහිකල බටහිර වෛද්‍යවරයෙක් බවත්, එවකට ගත් වලංගු රියැදුරු බලපත්‍රය ඇතිබවත් කීය. දැනට විහාරස්ථානයේ ආදායමක් නැති බවත් රියැදුරුට පඩි ගෙවීම කළ නොහැකි බවත් එබැවින් හිමිනම රථය පදවා යන බවත් පැවසීය.
සිද්ධිය වූ අවස්ථාවේ එම රියැදුරු බලපත්‍රය තිබූ බවත් එය පොලීසියට බාරගෙන තාවකාලික බලපත්‍රයක් පොලීසිය විසින් ලබානොදුන් බවත් ඊට පෙර අධිකරණයේදී එම බලපත්‍රය වලංගු රහිත එකක් බවට පොලීසිය දන්වා තිබෙන බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
පොලීසිය රියැදුරු බලපත්‍රය අවලංගු බවට චෝදනා නැගීම හේතුවෙන් හිමිනම වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ගොස් තිබුණේ අගෝස්තු 8 වැනිදාය. එහිදී DL 374992 රියැදුරු බලපත්‍රය හිමිනමගේ ගිහිනමට නිකුත් කර ඇතිබවත් එය 1976 ඔක්තෝබර් 28 වැනි දින නිකුත් කර ඇත්තේ ජීවිත කාලයටම වලංගු වන පරිදි බවද දන්වා තිබිණ.
ඉන්පසුව රත්නපුරේ දේවානන්දකිත්ති සහ දෙවුන්දර ගමගේ සේනාධීර යනු එක් අයෙක් බවට දිව්රුම් ප්‍රකාශයක් ලබාදී ඇත. එසේම ගිහිනමට සහ පැවිදි නමට ඇති ජාතික හැඳුනුම්පත් අංක සමාන බවද එය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සනාථ කරන බවද දැන්වීය.
මේ කරුණු අනුව පැමිණිලිකාර පොලීසිය චූදිත හිමිනමගෙන් පැවිදි නමට රියැදුරු බලපත්‍රයක් ඉල්ලීම සහ තිබූ බලපත්‍රයට තාවකාලික බලපත්‍රයක් නොදීම වරදක් බව සඳහන් කළේය. එමෙන්ම නඩුව අවසන් වනතෙක් හිමිනමට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම් පිළිගත් මහේස්ත්‍රාත්වරයා තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන ලෙස සහ ඉහත කී බලපත්‍රය වලංගු එකක්ද යන්න බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවන ලෙසට පොලීසියට නියෝග කළේය.
වැඩිදුර විභාගය දෙසැම්බර් 10 වැනිදාට කල්තැබුණු අතර නීතිඥ ලක්ෂ්මන් බණ්ඩාර මුල්ලේගම මහතා විත්තිකාර හිමිනම වෙනුවෙන් නොමිලේ ඉදිරිපත්ව සිටී.
සමන්ත ප්‍රදීප් විල්තෙර