2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

පියාගේ පිහි පහරින් මරු දුටු දරදඬු පුතා

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

නාහෙට නාහන මුරණ්ඩු ගති පැවතුම පුරුදු හැටිය. කරදඬු උස් මහත් වෙත්ම කසාදයක් කරගෙන සහකාරිය නිවසට කැඳවාගෙන ආවේ ඔහුමය. එහෙත් ඒ මුරණ්ඩු සැමියා ළඟ ජීවත් වන්නට බිරිය කැමති වූයේ නැත. දීගය හමාර කර නීතියෙන් වෙන්වූ ඇය වෙනතකට ගියාය. තනි වූ නුවන් චතුරංග අම්මා, තාත්තා හා නිවෙසේ කල් ගෙවූයේ හැකි සෑම මොහොතකම හොඳ හැටි මත්පැනින් සප්පායම් වෙමිනි.

ස්ථිර රැකියාවක් නොකළ චතුරංග පිය උරුමයෙන් ආ ධීවර රැකියාවේ නිරතව සිටියේ පාසල් ගමන අතරමඟ අත්හල දා පටන්මය.

වෙන්නප්පුව දකුණු කඩවත ප්‍රදේශයේ ධීවරයන් බහුල වුවත් බහුදින යාත්‍රා කීපයකින් වෙන්ව තවත් බෝට්ටු කීපයක ධීවරයන් චතුරංගට සේවය කිරීම සඳහා ඇරයුම් කර තිබුණි. එහෙත් වරක් දෙකකට වැඩිය පිටස්තර බෝට්ටුවල සේවයට නොගිය චතුරංග සිය පියා සමඟ එක්ව රැකියාවට මුහුදු යාම පිටස්තර අයවළුන් සමඟ යනවාට වඩා පහසුයැයි ඔහු නොයෙක් වර පවසා තිබිණ. දිනෙක මුහුදු ගමනක් අවසානයේ පැමිණෙන පිය පුතු දෙන්නා සෑම සන්ධ්‍යාවකදීම කට ගොන්නක් බීම පුරුද්දක් වශයෙන් සිදු කළහ.

දෙදෙනා එකට මත්පැන් සාද නොපැවැත්වුව ද රාත්‍රි කාලයේ නිවෙසේ හමුවන්නේ හොඳ හැටි පදම් වූ පසුවය. එවිට දෙන්නාට දෙන්නා රුස්සන්නේ නැති වාර අනන්තය. ඇනුම්පද, අසභ්‍ය වචන හුවමාරු කරගන්නා වාර අනන්තය. මේ කරදරය කෙතරම් වදයක් වුවත් තාත්තාගේත් පුතාගේත් වගතුග හොඳින් දන්නා අම්මා ඒවාට සම්බන්ධ වීමට ගියේ නැත.

ගතවෙමින් තිබී ඇත්තේ 13 වැනිදා පස්වරුවයි. පසුදා අළුයම පිය පුතු දෙදෙනා එක්ව මුහුදු යාමට අවශ්‍ය ආම්පන්න සියල්ල සූදානමින් තැබුවෝය. ඒ දවස පුරාම දැල පළුදු ගැට ගසා අසුරා පිළියෙල කිරීමෙන් පසුවය. අනතුරුව සවස් යාමයේ හෝරාව සුපුරුදු ලෙසින් ගෙවී ගියේ පියාත් පුතාත් ගෙදරින් නික්ම යාමෙනි. වෙනදා පරිද්දෙන්ම පළමුවෙන් නිවසට ආ තාත්තා ගෙදර තිබූ යතුරු පැදියේ නැගී කඩමණ්ඩිය දෙසට ගියේය. වැඩි වේලාවක් නොගොස් යළිත් නිවසට ඔහු යතුරුපැදිය මිදුලේ තබා අසල්වැසි නිවසක කෙනෙක් මුණගැසීමට ගියේය.

මිනිත්තු තිහක් පමණ ගතවෙමින් තිබියදී නුවන් චතුරංග කළබලයෙන් ගෙදරට පැමිණියේය. යතුරුපැදිය මිදුලේ ඇතත් එහි යතුර පෙනෙන්නට නොවීය. සාලයේ මේසේ උඩ හෝ වෙනයම් තැනක යතුර තිබුණේ නැත. හදිසියට යන්නට ආ චතුරංගට යතුර නොතිබීම ඉවසුම් නොදෙන කාරණයක් විය. ඒ ගැන සිය මවගෙන් විමසීමේදී ඇය පවසා තිබුණේ “තාත්තා කොහේදෝ ගිහින් ආවා.. එහෙනම් යතුරත් අරන් යන්න ඇතැයි” යනුවෙනි..

පුරුදු ලෙසින් පියාගේ ගමන අනුමාන කළ චතුරංග අසල්වැසි නිවෙසක් වෙත ගියේය. එහි සිය පියා රැඳී සිටිනු දැක දොස් මුරයක් තබා තිබුණේ යතුරුපැදියේ යතුර රැගෙන ගියාටය.

එතැනදි ගෝරනාඩු කරමින් යතුර රැගෙන ගිය චතුරංග පිටත්ව තිබුණේ කේන්තියෙනි. ඉන්පසු පැය දෙකකට පමණ පසුව චතුරංග නිවසට පැමිණ සිටියේ තවත් කටගොන්නක් බීගෙන පියා හා රණ්ඩු කරන්නට සහ බැණ වදින්නට සූදානම් සහිතවය.
චතුරංගගේ නිවසට අඩි කීපයක් ඈතට වන්නට වෙනම මුළුතැන්ගෙය සකසා තිබුණි. චතුරංගගේ පියා රාත්‍රී ආහාරය භුක්ති විඳිමින් සිටි‍යේ මුළුතැන්ගෙය තුළය. යතුරුපැදිය මිදුලේ නැවැත්වූ වහාම චතුරංග උගුර පාදමින් පියා සොයා ආවේය.

මුළුතැන්ගෙට වැදුණු චතුරංග පරැෂ වචන කියමින් බැණ වැදුණේය. හේතුව යතුරැපැදියේ යතුර පියා විසින් රුගෙන ගොස් තිබූ සිදුවීමය. චතුරංගගේ පියාත් සිටියේ තරමකට පදම් වීගෙනය. දරැවාගේ කට වචන ඔහුට ද ඉහිලුම් දුන්නේ නැත. එබැවින් ඔහුගෙන් පිටවී තිබුණේ ද සැර පරැෂ වචන මාලාවකි. කෝපයෙන් සිටි චතුරංග අතට ගත්තේ කුස්සිය මුල්ලක තිබූ කුඩා ලී පුටුවකි. එයින් පහරක් එල්ල කරමින් පියා බිම පෙරළා දැමූ පුත්‍රයා තාත්තාට තවදුරටත් පහර දෙන්නට උත්සාහ කළේය.

කෙසේ හෝ පුතාගේ ප්‍රහාරයෙන් බේරෙන්නට උත්සාහ කළ තාත්තාගේ අතට අසු වී තිබුණේ කුස්සියේ පරිහරණයට තැබූ පිහියකි. කෝපය ඉහවහා ගිය තාත්තා වැරෙන් පිහි පහරක් එල්ල කළේය. පහර වැදී තිබුණේ චතුරංගගේ පපුව පෙදෙසටය. එසැණින් චතුරංග පියාගේ ග්‍රහණයෙන් මිදී තිබූ අතර කුස්සිය පුරා ලේ ගලා යමින් එතෙක් වෙලා තිබූ අඬදබරය නැවතී ගියේය. සිද්ධ වුණේ කුමක්දැයි බලන්නට අම්මා පැමිණ තිබුණේ ඒ මොහොතේය. ඒ වනවිටත් චතුරංග ලේ විලක් මැද වැටී සිටි අතර තාත්තා එතැනින් පලා ගොස් තිබුණි.

මවගේ හඬ නැගීමට එතැනට පැමිණි අසල්වැසියෝ එක්වී චතුරංග මාරවිල රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්හ. අවාසනාවකට ඒ වනවිටත් චතුරංග ජීවිතක්ෂයට පත්වී සිටියේය. ඒත් සමඟ මාරවිල රෝහල් පොලීසිය විසින් සිදුවීම පිළිබඳව වෙන්නප්පුව පොලීසියට දන්වා තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ නිවසට ගොස් විමර්ශන ඇරඹීය. ඒ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් සිටි පියා අත්අඩංගුවට ගෙන තිබුණේ වෙරළාශ්‍රිත වගුරු බිමක සැඟවී සිටියදීය. ඔහුගේ තොරතුරු අනුව ඝාතනය සඳහා යොදාගත් පිහිය සොයා ගැනුණේ නිවස පිටුපස සඟවා තිබියදීය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් අබේසිරි ගුණවර්ධන, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරී සුරංජිත් කුමාරපේළි, වෙන්නප්පුව පොලිස් අධිකාරී අර්නස්ට් පෙරේරා, වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදුසිංහ, උප පොලිස් පරීක්ෂක රුෂාන්, පොලිස් සැරයන් 32 631 කරැණාරත්න, සමඟ පොලිස් කොස්තාපල්වරුන් වන 340 8, ගාමිණී, 8388 ජයරත්න, 35 867 බණ්ඩාර සහ 68 343 ජයසූරිය යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

- සමන්ත ප්‍රදීප් විල්තෙර