
කෝටි ගණනින් මුදල් ගෙවා රාජ්‍ය ආයතන වෙනුවෙන් කොළොම්පුරේ මහල් ගොඩනැගිලි කුලී පදනම මත ලබාගැනීම දැන් මෙරට සම්ප්රදායක් වී ඇත. රටේ ප්රමුඛ පෙළේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි මෙලෙස අධික කූලී පදනමට ගොඩනැගිලි මිලදී ගන්නේ ඇයි? අවශ්‍යතාවය හේතුවෙන් ද නැතහොත් යටිමඩි ගසා ගැනීමේ පරමාර්ථයෙන්ද? ඊට පිළිතුරු සොයාගත යුත්තේ ඔබය. අප සූදානම් වන්නේ රටට තවත් ගොඩනැගිලි කුලී කතාවක තොරතුරු අනාවරණය කිරීමටයි. එහි විනිශ්චය ඔබට බාරය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක් නව ගොඩනැගිල්ලකට ගෙනයන කතාවක් පසුගිය සතියේ වාර්තා විය. මෙම ගොඩනැගිලි මාරු පිටුපස ගැටලු ගණනාවක් පවතින බව අපට දැනගන්නට ලැබුණි. ඒ අනුව අපි එහි තතු විත්ති සොයා ගියෙමු. මාසිකව රුපියල් ලක්ෂ 60ක් පමණ වන, වසරකට රැපියල් කෝටි 7ක් ඉක්මවා යන වාර්ෂික බදු පදනමක් යටතේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇත. අනාවරණය වන පරිදි ගනුදෙනුව සිදුවී අවසානය. පළමු වාරිකය ද ගෙවා තිබේ.
මේ සම්බන්ධයෙන් අප පළමුව සොයාබැලිය යුතු කරුණ වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබේදැයි යන්නයි. එහිදී පිළිතුර පැහැදිලිය. එවන් අවශ්‍යතාවක් ඇත. එසේ නම් මෙහි ඇති ගැටලු මොනවාද? ඔබ සිතනු ඇත. ඉඩකඩ පහසුකම් ඇතුළු ගැටලු ගණනාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුහුණදෙයි. එනිසාම මෙම වසර මුලදී නව ගොඩනැගිල්ලක් ලබා ගැනීම පිළිබඳව කටයුතු සිදුව තිබේ.
එහිදී ප්‍රධාන කාරණා දෙකක් මතුකළ යුතුය. මුල් අවස්ථාවේදී දැනට කුලී පදනමට ලබාගෙන ඇති ගොඩනැගිල්ල අවශ්‍යතාවයට නොගැලපීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි දැනගන්නට ලැබිණි. තවද මුදල් අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව සඳහා ලබන වසරේදී නාරාහේන්පිට ඉදිවෙමින් පවතින රජය සතු සුවිසල් ගොඩනැගිල්ලක මහල් හතරක් ලබාදීමට එකඟ වූ බවද අනාවරණය විය. එසේ නම් මෙම ප්‍රධාන කරුණු දෙක සම්බන්ධ කරගනිමින් කතාවේ ඉතිරිය අප ඔබට කිවයුතුය.
සුදුසුකම් නොලැබූ ගොඩනැගිල්ලක් තෝරා ගැනීම.
මෙම ගොඩනැගිල්ල කොල්ලුපිටිය ගාලුපාරට මායිම්ව අංක 408 දරන ස්ථානයේ පිහිටා ඇති බව දැනගන්නට ලැබේ. එය පෞද්ගලික ව්‍යාපාරයකට අයත් මහල් පහකින් යුතු ගොඩනැගිල්ලක් බවටද අපට තොරතුරු ලැබුණි. ඊට අනුව මෙම ගොඩනැගිල්ල පැරණි ගොඩනැගිල්ලකි. පහසුකම් ඉතා අවමය. ඉහළ මහලයේ වර්ෂා දිනවලදී ජලකාන්දුව පවා සිදුවෙයි. මෙම ගොඩනැගිල්ල ඉහතදී වෙළෙඳ ප්රදර්ශනාගාරයක් ලෙස භාවිත වී ඇත. දැනට යම් නවීකරණයක් සිදුව තිබුණද එය ප්‍රමාණවත් නැත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි නවීන පහසුකම්, තාක්ෂණයන් භාවිතයෙන් මහජන සේවා සපයන ආයතනයකට මෙම ගොඩනැගිල්ල නොගැලපෙන බව ඒ අනුව කියැවේ.
පහසුකම් සම්බන්ධ කාරණාවටම ඈඳෙන අවධානයට යොමුවිය යුතු තවත් විශේෂ කරැණක් මතුකරමු. නව ගොඩනැගිල්ලට රැගෙන යන අංශ ලෙස අනාවරණය වන්නේ බදු එකතු කිරීමේ හා විගණනයට අදාළ අංශයි. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය නව ගොඩනැල්ල තුළද ස්ථාපනය කිරීමට සිදුව තිබේ. ඒ සඳහා පහසුකම් මෙම ගොඩනැගිල්ලේ නොමැති බව කියවෙන අතර රුපියල් මිලියන 40 ක් ඒ වෙනුවෙන් අතිරේකව වැයකිරීමට සිදුව තිබේ. පෙර කී ලෙස ඔබට සිහිපත් කළ යුත්තක් තිබේ. මෙම ගොඩනැගිලි ගනුදෙනුව සිදුව ඇත්තේ වසරක් සඳහාය. එවිට මෙවන් විසල් මුදලක් වැයකිරීමේ ප්‍රතිඵල ප්‍රශ්න සහගතය. අදාළ ගිවිසුම්වල මීට අදාළ යම් සහන ක්‍රමවේදක් තිබේදැයි අප හට පැහැදිලි නැත. එහෙත් බැලූ බැල්මට මෙය ජාතික ධනය විනාශ කරන නිරර්ථක ක්‍රියාවකි.
දැන් මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබන වසරේ නාරාහේන්පිටින් ගොඩනැගිල්ලක් ලැබීමේ කතාව
මෙයද දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් අපට ලැබුණු ආරංචියකි. ඊට අනුව කතාව මෙසේය. දේශීය අදායම් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින අපහසුතාව මත නව ගොඩනැගිල්ලක් පිළිබඳව වූ ගැටලුවට පිළියමක් ලෙස නාරාහේන්පිට ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලකින් මහල් හතරක් ලබාදීමට එකඟතාවක් පලවී ඇත. එය ලබන වසරේදී සිදුවීමට නියමිත අතර එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් දැන් පවතින්නේ අවසන් අදියරේය. නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව අසල ඉදිවෙන මෙම ගොඩනැගිල්ල පහසුකම්වලින් සපිරි මෙරටට රාජ්‍ය අංශය වෙනුවෙන් ඉදිවන විශාලම ගොඩනැගිල්ල බවට පසුගිය කාලයේ දී විවිධ වාර්තා පළවිය. එය එසේ නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට සුදුසුම ස්ථානය එය විය හැකිය.
ඊළඟට මතුවන ගැටලුව නම් වසරක් ඉවසා බලා සිටීමට නොහැකි තරම් දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ගැටලුව උග්‍රවී ඇද්ද යන්නයි. එහෙත් දෙපාර්තමේන්තු පාර්ශ්වයෙන් අපට දැනගන්නට ලැබෙන්නේ එය කළමනාකරණය කරගත හැකි මට්ටමේ පවතින බවයි. වසරක් ඉවසා මෙම ගොඩනැගිලි මාරුව කරනු ලැබුවා නම් ආයතනයේ සේවකයන්ටත් පහසුකම් සපිරි සේවා ස්ථානයක් ලබාගන්නට හැකියාව තිබිණි. එමෙන්ම බදු ගෙවන්න ඇතුළු යන එන මහජනතාවට පහසුකම් මෙන්ම හොඳ සේවාවක්ද සපයන්නට අවකාශද තිබිණි. නමුත් සිදුව ඇත්තේ අනෙකකි. සියල්ලටම වඩා විශාල වූ ජාතික ධනය විනාශවීමකි.
කතාව අපිට අනාවරණය වූ පරිදි සරලව ඔබ හමුවේ තැබුවෙමු. කතාවේ අවසාන කොටසේ ඔබ අපෙන් ප්‍රශ්නයක් අසන්නට ඉඩ තිබේ. වරද කාගේද? එක් පුද්ගලයකුට හෝ කිහිප දෙනෙකුට මෙහි වරද පැවරීම සාධාරණ නැත. දූෂිත පරිපාලන හා දේශපාලන ක්‍රමවේදයේ හුදු එක ප්‍රතිඵලයක් ලෙස මෙය අරුත් ගන්වා ගැනීම වඩා සුදුසුය. එහෙත් අපට දැනගන්න ලැබුණු ඇතැම් කාරණා අප නොසඟවා ඔබට කිවයුතුය. හිටපු සහ වර්තමාන දේශීය ආදායම් කොමසාරිස්වරැන්ට මේ පිළිබඳව විවිධ පාර්ශ්වයෙන් චෝදනා නැගෙයි. විටක විශාල කොමිස් මුදලක් මේ ගනුදෙනු පිටුපස වූ බවද කියවෙයි. ඉහළ පුටුවල සිටින්නන්ගේ ඥාති සම්බන්ධතාවක් මත මෙය සිදූවූ බවටද කතා ඇත. දේශපාලන මැදිහත්වීමක් පිළිබඳව පැහැදිලි තොරතුරුක් අපට නොලැබුණි. එය දූෂණයේදී සාම්ප්‍රදායික නොවන කරැණකි. නොපෙනෙන නමුදු දේශපාලනයද මේ පිටුපස තිබිය හැක. කෙසේ නමුත් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වුවත් අප ඒවා යථාර්ථයක් කොට ඔබ හමුවේ තැබීමට මැලිවෙමු. ඊට හේතුව අපේ අරමුණ තොරතුරැ අනාවරණය මිස චෝදනා ගොනු කිරීම නොවන නිසාවෙනි.
අවසානයේ දී චෝදනා කෙසේ වෙතත් යෝජනාවක් කරමු. යථාර්ථය කුමක්දැයි දැන ගැනීමට නම් මේ සිදුවීම් සම්බන්ධ විගණනයක් කළ යුතුමය. විගණකාධිපතිගේ අවධානයට මෙම ගනුදෙනුව යොමුවීම සුදුසුය. මුදල් ඇමතිවරයාගේ හා මුදල් අමාත්‍යාංශයේ අවධානයත් සමස්ත සිදුවීම කෙරෙහි යොමුවේ නම් ඉතා යහපත්ය. මේ සියල්ල මහජන මුදල් බව අපි නැවතත් සිහිපත් කරමු. මෙරට දේශපාලකයන් නිලධාරීන් මෙසේ අවභාවිත කරන්නේ දිළින්දාගේ බත් පතේ පටන් අප උදේ හවස බොන තේ කහට වීදුරුව දක්වා අය කෙරෙන බදු මුදල් බව ඔබට සිහිගන්වා මේ කතාව නිමාකරමු.
චමිඳු නිසල් ද සිල්වා