2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

කඩාවැටෙන ගෙයක ඉඳන් ලෝකෙන්ම 3 වැනියා වූ පාරමි මාරිස්ටෙලා

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 321

ආජන්ටිනාවේ පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ 17 හැවිරිදි පාරමී වසන්ති මාරිස්ටෙලාය. ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු පදක්කම වීම මෙහි ඇති සුවිශේෂි තත්ත්වය වන්නේය.

හලාවත අඹකදවිල සරප්පුවත්තේ පදිංචි පාරමී කුලියාපිටිය මැදි විදුහලේ ඉගෙනුම ලබන සිසුවියෙකි. ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගි වී මීට පෙරද පාරමී මව්බිමට ගෞරවයක් හා කීර්තියක් අත්පත් කරදී ඇත. ඒ ජපානයේ සහ තායිලන්තයේ පැවති මළල ක්‍රීඩා තරගවලට සහභාගි වී රන් පදක්කම් දෙකක් ලබා ගනිමිනි. 

ලක් මව රනින් බැබළවූ පාරමී, පාරමිතා පුරන්නේ ඉදිරියේදී ද ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගි වී ලෝකඩ හෝ රිදී පදක්කම් නොව රන් පදක්කම් දිනා ගැනීමටය. මව්බිම රනින් බැබලවීමට පාරමිතා පුරන පාරමීලා සිටින්නේ දුප්පත්කමේ පතුෙල්ය. ඇය මේ ගමන යන්නේ අනේකවිධ වූ ආර්ථික දුෂ්කරතා මැද්දේය.

පාරමී මව් කුසේ මෙලොව එළිය දැකීමට පෙරුම් පුරමින් සිටියදී මව හදවත් රෝගයකට ගොදුරු වී ඇත. මවගේ මේ රෝගී තත්ත්වය මත දෙදෙනාගේම ජීවිතය ඉතා අවදානම් සහගත බව ඇය පරීක්‍ෂා කර බැලූ විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර ඇත. යම් හෙයකින් මව දරුවා බිහි කළහොත් ඒ දරු පැටියා ආබාධිත විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබේ. ඒ නිසා දරු ගැබ ගබ්සා කිරීමට මවගෙන් කැමැත්ත ඉල්ලා ඇතත් ඇය ඊට කිසිසේත් කැමැත්ත ප‍්‍රකාශ කර නොමැත.

වෛද්‍ය විද්‍යාවට ද අභියෝග කරමින් මෙලොව එළිය දුටුවේ නිරෝගී දරුවෙකි. ඉමහත් ගෞරවයක් අත්පත් කරගෙන සුවිශේෂි හැකියාවක් ඇති දක්‍ෂ ක්‍රීඩිකාවකි. මවු කුස තුළ සිටින්නේ ආබාධිත දරුවෙක් යැයි විශේෂඥ වෛද්‍යවරුන් තීන්දු තීරණ ගෙන ගබ්සා කිරීමට යෝජනා කර තිබූ මේ වන විට ජවසම්පන්න ඒ දරුවා ජාත්‍යන්තරයේ පවා කතා බහට අවාධානයට ලක් වූ අති දක්‍ෂ මළල ක්‍රීඩිකාවක වන්නීය.

අප පසු ගිය බ‍්‍රහස්පතින්දා (11) හලාවත අඹකඳවිල සරප්පු වත්තේ පිහිටි නිවස සොයා ගියේ මේ දිරිය දියණිය පාරමී ගැන යමක් ලියන්ටය. ඒ වන විටත් ඇය සිටියේ ආජන්ටිනාවේය. පාරමීගේ පියා අන්තෝනි ටියුඩර් ප‍්‍රනාන්දු මහතා මුහුදු ගොස් සිටියේය. තෙප්පමකින් දියඹට ගොස් මසුන් ඇල්ලීම ඔහුගේ රස්සාවය. නිවසේ සිටියේ පාරමීගේ මව එම්.රීටා මාර්ග්‍රට් සිල්වා (43) මහත්මිය පමණිකි. පාරමිගේ අක්කා නිශාන්ති දිල්හානි ප‍්‍රනාන්දු ද දක්‍ෂ මළල ක්‍රීඩිකාවකි. ඇය රටවල් 08 ක පැවති තරගවලට සහභාගි වී රිදී හා ලෝකඩ පදක්කම් රැසක් හිමිකර ගෙන ඇත.

අක්කාගේ සහ නංගී දිනාගත් පදක්කම් කුසලානවලින් ගෙදර කැබිනට්ටුව පිරිලාය. පාරමීගේ අක්කා සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින්නීය. මේ දෙන්නාටම අයියා කෙනෙක් ද සිටින අතර මේසන් වැඩ කර ජීවිකාව හොයන ඔහු විවාහ වී වෙනම ජීවත් වෙයි.

පාරමීගේ අම්මා ඒ කියන්නේ රීටා මාර්ග්‍රට් මහත්මිය අප හා කතාබහ කළේ සතුටු කදුළු දෙනෙතේ පුරෝගනය.

දැන් ඔය සබරගමුව කැම්පස් එකේ ඉන්න දුව අඹකදවිල ඉස්කෝලේ ඉගෙන ගන්නා කාලයේ එයත් ක්‍රීඩිකාවක්. එයා මුහුදු වෙරෙළේ දුවලා තමා පුහුණුවීම් කළේ. පාරමී පුංචි දුවත් අක්කා පස්සෙන් දුවනවා. එහෙම වැල්ලේ දුවලා තමා ක්‍රීඩිකාවන් වුණේ. පාරමී දුවත් 9 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ අඹකඳවිල ඉස්කෝලෙන්. මගේ මහත්තයා තෙප්පමකින් මුහුදු ගිහින් අල්ලාගෙන එන මාළු ටික විකුණලා තමා අපි ජීවත් වෙන්නේ. ආර්ථික අපහසුකම් නම් එමටයි.

අක්කා නගෝ දෙදෙනා ක්‍රීඩා පිටියේ ජය කෙහෙලි නංවා පදක්කම් පිට පදක්කම් ලබද්දි දියණියන් දෙන්නාගේ ක්‍රීඩා කටයුතු සඳහා මුදල් සොයා දීම මව්පියන් දෙන්නා ඉදිරියේ තිබූ ලොකුම අභියෝගය විය. අන්තෝනි හා රීටා ඒ අභියෝගය ජය ගත්තේ තමන්ට සෙවණ ලබා දුන් නිවස හා ඉඩම ග‍්‍රාමීය බැංකුවට උකස් කර ලක්‍ෂ දෙක හමාරක මුදලක් ණයක් වශයෙන් ලබා ගනිමිනි.

රීටා මහත්මිය ඒ ගැන තොරතුරු හෙළි කරමින් මෙසේ කීවාය.

දුවලා දෙන්නාගේ ක්‍රීඩාවලට වියදම් කරන්න සල්ලි හොයාගන්න විදිහක් නොමැති නිසාම තමයි ගේ බැංකුවට උකස් කළේ. ඒ වෙනකොට දුවලා දෙන්නාම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේ. ශිෂ්‍යත්ව ලැබිලා තමා ඒ ඉස්කෝලෙට ගියේ. ලබාගත් ණය පුළුවන් විදිහට ටික ටික ගෙව්වා. තව ලක්‍ෂයක් විතර ගෙවන්න තිබුණා. ඒ ණය මුදල ගෙවාගන්න නොහැකිව තිබූ නිසා ගේ බැංකුවේ සින්න වෙන්න නියමිතව තිබුණා.

ඒ වෙනකොට පාරමි දුව මළල ක්‍රීඩා තරගාවලියකට ගිහින් ජයග‍්‍රාණය කරලා රන් පදක්කමක් ලබාගෙන තිබුණා. මගේ දුව ගැන විදෙස් මාධ්‍යවල පවා විස්තර පළවී තිබුණා. ඒක දැකලා එංගලන්තයේ ඉන්න බොරලැස්ගමුවේ පදිංචි උපාලි කියලා මහත්මයෙක් දුවද්දි දාන හොඳ සපත්තු ජෝඩුවක් ඇතුළු තෑගි බෝග ගොඩක් අරගෙන අපේ ගෙදරට ආවා. ගේ බැංකුවට සින්න වෙන්න යන බව දැනගත්ත උපාලි මහත්තයා බැංකුවට ගෙවන්න තිබුණ ණය සේරම ගෙවා දැම්මා. උපාලි මහත්තයා නොහිටින්න අපිට උරැම වන්නේ මහ පාර යැයි රීටා මහත්මිය කිව්වේ උපාලි මහතාට දහස්වාරයක් පිං දෙමිනි.ඒ වෙනකොටත් ණයකාරයකන් ගෙදරට සොයාගෙන ඇවිත් සිටි බවත් ඇය කියයි. 

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එච්.එන්. හේරත් මහත්තයා පාරමි දුවගේ ක්‍රීඩා පුහුණුකරු ජනිත් ජයසිංහ මහත්මයා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතියේ අය අපට හැකි උපරිම අයුරින් උදව් කරනවා. එහෙම උදව් නොකරන්නට දුවට මේ වගේ ජයග‍්‍රහණ ලබන්න කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සැම දෙනාවත් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. පිටරට ක්‍රීඩාවලට යන්න ටිකට් අරගන්න වියදම් කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. අතේ වියදම ඉස්කෝලෙන් දෙනවා. ඇඳුම් පැළඳුම්වලට තමා අපිට වියදම් යන්නේ.

ලොකු දුව ක්‍රීඩා තරගවලට ලංකාවේ හැම තැනකම එක්කගෙන ගියේ මම. ලොකු දුවට වියදම් කරලා ඒ වෙනකොට අපි නැත්තටම නැතිවෙලා හිටියේ. ඒ හින්දා පාරමී දුව ක්‍රීඩාවලට යනවට කොහෙත්ම මම කැමති වුණේ නැහැ. පාරමීගේ තාත්තාගේ සහ ලොකු දුවගේ  ඕනෑකමට තමා එයාලා ක්‍රීඩාවලට දිගටම යොමු කළේ.

පාරමී ගැන තවත් විශේෂ හෙළිදරව්වක් ද කිරීමට රීටා මහත්මිය අමතක කළේ නැත.

මේ ඒ කතාවයි.

පාරමී දුව කුසට ඇවිත් කියා දැනගෙන ටික කාලයකට පස්සේ තමා දැනගත්තේ මම හෘද රෝගියෙක් කියලා. මගේ එක නහරයක් සිහින් වී ඇති බව දොස්තර මහත්මිය කිව්වා. මගේ නහයෙන්, කටින් වරින් වර නිතරම ලේ එන්න පටන් ගත්තා. රෝහල් ගතවී ප‍්‍රතිකාර ලබා ගත්තා. මේ නිසා මම හොඳටම දුර්වල වුණා. මේ නිසා දොස්තර මහත්වරු කිව්වා බිහිවෙන්න ඉන්න දරුවා අංගවිකල වෙන්න පුළුවනි මගේ ජීවිතේ හරිම අවදානම් කියලා. විශේෂඥ දොස්තර මහත්වරුන් මේ බව පැවසුවා. කළලය ගබ්සා කිරීමට කැමැත්ත ඉල්ලුවා. බිහිවෙන දරු පැටියා අංග විකල වුණාට කමක් නැහැ කොච්චර දුප්පත් වුණත් අපි හදාගන්නවා ගබ්සා කරන්න කැමති නැහැ කියා තරයේම අපි කියා සිටියා.

දරු ගැබ ඉවත් කරගන්න කැමැත්ත දෙන්නේ නැහැ කියා සමහර නර්ස් නෝනලා මට බැන්නා හිතුවක්කාර ගැහැනියක් කියා. මගේ හෘද රෝගි තත්ත්වය නිසා සිරැරට ඇතුළු කරන ඩයි වර්ගයක් විෂ වෙන්න පුළුවන්. ඒ නිසා තමා අංගවිකල දරුවෙක් බිහිවෙන්න පුළුවන් කියා විශේෂඥ දොස්තර මහත්වරු කීවේ. ඒත් මම ගණන් ගත්තේ නැහැ. මගේ පපුවේ ලේ නහරයේ තිබුණ අවහිරතාවට නැති කරන්න බැලුන් එකක් යැව්වා. ඒ වෙනකොට මම හොඳටම කෙට්ටු වෙලා. ඇවිද ගන්නවත් පණක් නැහැ. ඒ කාලයේ ඇවිද්දේ මගේ නංගිගේ හා මහත්තයාගේ ආධාරයෙන්. මම මැරෙයි කියා සිතුවා. ඒ නිසා මගේ දරු පැටියාට පාරමී කියා නම තියන්න කියා පොතක ලියා තැබුවා.

මාරවිල ලංසිගම කන්‍යාරාමයේ මාරිස්ටෙලා නැමැති ඉතාලි ජාතික කන්‍යා සොහොයුරියකගේ  මුදල් ආධාර මත කොළඹ පෞද්ගලික රෝහලකින් රීටා මාර්ගර්ට් මහත්මියගේ සැත්කම සිදු කර ඇත.

අද ක්‍රීඩාවේ ජයකෙහෙලි නංවන පාරමී මෙළොව එලිය දුටුවේ 2001 වසරේ අෙප්‍ර්ල් මාසයේය. ඒ ගැන රීටා මහත්මිය කිව්වේ මෙවැනි කතාවකි.

දුව හම්බවෙද්දි එයාගේ බර කිලෝ 1 ග‍්‍රෑම් 800 ක් විතර ඇති. මම හිටිය දුර්වල තත්ත්වය මත දුවට මව් කිරි දෙන්න බැරිව ගියා. ඒ වෙනකොට මම තවත් දුර්වල වෙලා හිටියේ. බබා ලැබුණට පස්සේ සිහිය නැතුවත් හිටියා. සීසර් කරලා ගත්තේ. මව් කිරි දෙන්න බැරිව ගිය නිසා දුවගේ බර හොඳටම අඩු වුණා. හුඟක්ම පුංචියි. හුඟ දෙනෙක් කිව්වා මොකටද මේකිව අරගෙන ආවේ. වඩාගන්නවත් බැරි තරමට කෙසඟයි කියලා. කවුරැ මොනවා කිව්වත් මමයි මහත්තයි ගණන් ගත්තේ නැහැ. දරුවාගේ වෙනත් අඩු පාඩුවක් තිබුණේ නැහැ. එහෙම හිටිය දුව අද ජාත්‍යන්තර තරගවලට සහභාගි වලා ජයග‍්‍රහණ ලබන එක ගැන මටයි මහත්තයාටයි තියෙන්නේ වචනවලින් කියන්න බැරි තරම් සතුටක්.

පාරමී මම දැම්ම නම. වසන්ති කියන නම දැම්මේ මගේ නංගි වසන්ති. සිස්ටර් මාරිස්ටෙලාට ගෞරවයක් වශයෙන් ඒ නමත් දැම්මා. ඔන්න ඔහොම තමා පාරමී වසන්ති මාරිස්ටෙලා කියා දුවට නම වැටුණේ. මාරිස්ටෙලා කියන නමේ කෑල්ලේ තේරුම අහසේ දිදුලන තරුව කියා මට කෙනෙක් කිව්වා. ඇත්තෙන්ම මගේ දූ අහසේ දිදුලන දීප්තිමක් තරුවක් යැයි ඇය කිව්වේ නිම් හිම් නැති සතුටකින්ය.

පාරමී මොලොවට නිරෝගි දරුවෙක් ලෙස බිහි කිරීමට ඇය මරණය පෙනි පෙනී නොවිඳින දුක් වින්දාය. සැබැවින්ම ඇය දිරිය මාතාවක් වන්නීය. 

මේ අපි ඉන්න ගේ කඩා වැටෙන්න ළඟයි. තද වැසි දවස්වලට වතුරෙන් යට වෙනවා. ජපානයේ තරගයකට සහභාගි වෙලා දුව රන් පදක්කමක් දිනාගත් බව පත්තරවලින් දැනගත්තාට පස්සේ සජිත් ෙප්‍ර්මදාස ඇමතිතුමා දුරකථනයෙන් කතා කරලා ඕනෑම උදව්වක් ඉල්ලන්න කියා කිව්වා. කඩා වැටෙන්න යන ගේ අලුත්වැඩියා කරලා දෙන්න. ඒ හොඳටම ඇති කියා ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඊට පස්සේ කිහිපවරක්ම එතුමාට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් තවම කතා කරන්න බැරිව ගියා.

පාරමී දුව දුවලා ලෝකයෙන්ම තුන්වැනි තැනට ආවා කියා දැනගත්තාම කියන්න බැරි තරම් සතුටක් ඇතිවුණා. දුව ඒ රටේ ඉඳලා කතා කළා. රන් පදක්කමක් දිනා ගැනීමට බැරි වෙච්ච එක ගැන එයා දුක් වෙනවා කියා කිව්වා. 2020 අවුරැද්දේ යොවුන් ඔලිම්පික් තරගයෙන් කොහාමහරි රන් පදක්කමක් දිනාගන්නවා අම්මේ කියා දුව කිව්වා. මම සිත සැනසුවා. අපට උදව් උපකාර කළ සැම දෙනාටම සදා ණය ගැතියි. 

පසුගිය දවස් ටිකේම මහත්තයා මුහුදු ගියත් මාළු බොහොම පොඩ්ඩයි අහුවෙලා තිබුණේ. ලොකු දුව එයාගේ වියදම හොයාගන්න ගෙදර කූඩුවක් හදලා ලව් බර්ඩ්ස්ලා විකුණනවා. අපි ඉන්න මේ ගේ කඩා වැටෙයි කියන බය තමා තියෙන්නේ. යැයි කතාබහ නිමා කිරීමට මත්තෙන් රීටා මහත්මිය පැවසුවාය.

පාරමීගේ මවට හා පියාට කතා කර කිසියම් ආධාරයක් උපකාර කිරීමට කැමති අයට 070 2277394 යන දුරකථන අංකයට කතා කිරීමට පුළුවන.

 ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

සේයා රූ - මාදම්පේ එස්. හේරත්