
තුවාන් ධර්විස් හලාල්ඩීන් මුස්ලිම් ජාතිකයෙකි. 1949 නොවැම්බර් මස පළවැනිදා උපත ලද හලාල්ඩීන්ගේ උපන් ගම වූයේ දෙමටගොඩය. පවුලේ අම්මා, තාත්තා ඇතුළුව සහෝදරයන් දෙදෙනකු හා එක් සහෝදරියක සිටින හලාල්ඩීන්ගේ පවුලේ අද ජීවත්ව සිටින්නේ වැඩිමහල් සහෝදරයා සහ හලාල්ඩීන් පමණි. නමුත් කාලය ගතවෙද්දී හලාල්ඩීන්ට තම ජීවත්ව සිටින සහෝදරයා මුණගැසීමද නතරවුණි.
මරදාන සහිරා විදුහලෙන් සිප්සතර හැදෑරූ හලාල්ඩීන් අධ්‍යාපන කටයුතුවලටත් වඩා බොක්සිං ක්‍රීඩාවට විශාල කැමැත්තක් මෙන්ම හැකියාවක්ද දැක්වූවේය. හලාල්ඩීන් පාසලේදී දක්ෂ ක්‍රීඩකයෙක් විය. උසට සරිලන දේහධාරී පෙනුමකින් යුත් හලාල්ඩීන් පාසලේදී කැපීපෙනුණු ශිෂ්‍යයෙකි. පාසලේදී මිතුරන් අතරේ ඔහු හොඳ මිතුරෙක් විය.
පාසල් මට්ටමින් පැවැත්වූ බොක්සිං තරගවලදී හලාල්ඩීන් ජයපිට ජය ගත්තේය. මේ නිසාම එවකට අනෙකුත් පාසල්වලද මේ අපූරු බොක්සිං ක්‍රීඩකයා ප්‍රසිද්ධියට පත්විය. පාසල් මට්ටමින් ඔහු කුසලාන සහ සහතික බොහොමයක් දිනාගත්තේය.
පාසල් බොක්සිං ක්‍රීඩකයකු වූ හලාල්ඩීන් එතැනින් තම ක්‍රීඩාව නතර කළේ නැත. පාසල් ගමනට ආයුබෝවන් කී මේ බොක්සිං ක්‍රීඩකයා ජාතික මට්ටමේ තරග කිහිපයක්ම නියෝජනය කර ජයග්‍රහණ ලැබුවේය.
“මම සහිරා විද්‍යාලයට යන කාලේ ඉඳන්ම බොක්සිං ක්‍රීඩා කළා. ගොඩක් තරග මම දිනුවා. ජාතික තරග දොළහකට මම සහභාගිවෙලා ඒවායින් තරග පහක් විතර ජයග්‍රහණය කළා. ඉස්සර අපේ ඉස්කෝලෙ විතරක් නෙමේ, අනිත් ඉස්කෝලවල ඉන්න පිරිමි ළමයි පවා මට බයයි.” යැයි හලාල්ඩීන් දේශයට පැවසීය.
හලාල්ඩීන් ක්‍රීඩකයකුව සිටින කාලයේදීම විවාහ විය. කාලයත් සමඟ ඔහු දියණියකගේ හා පුතණුවකුගේ පියෙක් විය. කලකට ඉහතදී හලාල්ඩීන්ගේ බිරිඳ මියගියාය. එතැන් සිට හලාල්ඩීන්ගේ ජීවිතය වූයේ දරු දෙදෙනා පමණි.
“මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. දැන් ඒ කවුරුවත් මාව බලන්නෙ නැහැ. දුවට කරන්න දෙයක් නැහැ. පුතා කියන විදිහට තමයි දුව වැඩ කළේ. දැන් ඒ අය කොහේ ඉන්නවාද කියල මම දන්නෙ නැහැ. මාව බලන්න ඒ අය එන්නෙත් නැහැ. ඒ අය බය ඇති මම ඒ අය එක්ක යන්න එයි කියලා. ළඟදි මම ඉන්න තැනින් මගේ පුතා ගියා. මම එයාව හඳුනාගත්තා. හැබැයි එයා මගේ දිහා බැලුවෙවත් නැහැ. මොනව කරන්නද..?”
දරු දෙදෙනකුගේ පියකු වූ ජාතික බොක්සිං ක්‍රීඩකයෙක් අද මෙසේ මහමඟට වැටුණේය. එකල හලාල්ඩීන්ට මරදානේ නිවසක් තිබිණි. ඔවුන් ජීවත් වූයේ මරදානේය. හලාල්ඩීන් කලකට උඩදී ඒ ඉඩම සහිත නිවහන විකුණා වේරහැර ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත්තේය. මහමඟ වැටෙන්නට පළමුව හලාල්ඩීන් දරුවන් සමඟ ජීවත් වූයේ වේරහැරය. පර්චස් දහයක එම විශාල නිවහනද අද හලාල්ඩීන්ට අයිති නොවේ. දරුවන් දෙදෙනාද හලාල්ඩීන් සමඟ තරහ වූහ. ඔවුන් අතරේ විවිධ විරසකකම් පැවතිණි. හලාල්ඩීන්ගේ බේබදුකමද එයට එක් හේතුවක් විය.
බොක්සිං වළල්ලේ ජයග්‍රහණ බොහෝමයක් ලැබූ හලාල්ඩීන් අවසානයේදී මහමඟට වැටුණි. ඔහු අනුන්ගෙන් අතපා ජීවත්වන හිඟමන යදින තත්ත්වයට පත්විය. එතැන් සිට හලාල්ඩීන්ට පිහිට වූයේ පාරේ ගමන් ගන්නා ජනතාවය. පාරක් අයිනේ කුඩා ගෝනි ඇඳක් තබාගනිමින් එහි දවස ගෙවන හලාල්ඩීන්ට අහළ පහළ අයගෙන් ආහාරපාන ලැබුණි. බොක්සිං ක්‍රීඩකයකු ලෙස කාලයක් තම ජීවිතය ගත කළ මේ හිටපු ක්‍රීඩා ශූරයා සිඟන්නකු බවට පත්වූයේ එලෙසිනි.
ඔහු වැස්සට ඇතිපදමට තෙමෙයි. අව්වට පිළිස්සෙයි. කනාමැදිරි එළියෙන් සහ පාරේ විදුලි එළියෙන් ඔහු රාත්‍රිය ගෙවයි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් බොහෝ දෙනා රාත්‍රියට සුව නින්දක් ලැබුවද හලාල්ඩීන් ඇදහැලෙන වර්ෂාවෙන් බේරෙන්නට, හිරකඩෙන් බේරෙන්නට තව තවත් එම කඩමළු වූ ගෝනි ඇඳේ ගුලිගැසුණේය. අවසානයේදී එම අවාසනාවන්ත ජීවිතයට ආයුබෝවන් කියා අලුත් ජීවිතයක් ගත කරන්නට මේ බොක්සිං ක්‍රීඩකයාට අවස්ථාව ලැබුණි.
“ප්‍රවීණයන්ගේ බොක්සිං සංගමය මෙසේ පිහිටවීමට මූලික අරමුණු කිහිපයක්ම තියෙනවා. ලංකාවේ බිහිවුණු ජාතික සහ ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩකයන්ගේ එකමුතුවක් ලෙස අපි සංගමය ආරම්භ කළා. මෙයින් ප්‍රවීණ බොක්සිං ක්‍රීඩකයන්ගේ සුබසාධක කටයුතු සෙවීම, බොක්සිං ක්‍රීඩාව හැකිතාක් දුරට ලංකාව පුරා ප්‍රචලිත කිරීම සහ දුප්පත් ක්‍රීඩකයන්ට අතහිත දීම මෙහි ප්‍රධාන අරමුණු වුණා. ඒ මගින් අපි සොයා බැලීමේදී තමයි ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ හලාල්ඩීන් ක්‍රීඩකයා මහමඟ හිඟාකනවා කියලා අපිට ආරංචි වුණේ. ඒ වෙද්දී ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වෙලයි හිටියේ. ඒ නිසයි හලාල්ඩීන් ක්‍රීඩකයාට උදව් කරන්න අපි සංගමය තීරණය කළේ.” ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ බොක්සිං සංගමයේ ලේකම් මේජර් මහින්ද හෙට්ටිආරච්චි දේශයට එසේ කීය.
ඒ අනුව ඔවුන්ගේ මැදිහත්වීමෙන් මේ මස 21 වැනිදා කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ පිහිටා ඇති (අල්ෆරීඩ් වැඩිහිටි නිවාසයට) ඔහු ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ. එයින් හලාල්ඩීන්ට ආහාරපාන, ඉඳුම්හිටුම් සහ බෙහෙත් ඇතුළු සියලුම පහසුකම් සපයනු ඇත. ඒ සඳහා මාසිකව වියදම් වන සියලුම මුදල් සංගමයෙන් ලබාදීමට තීරණය කර තිබේ.
මේ අනුව ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ බොක්සිං ක්‍රීඩකයකු කාත් කවුරුවත් නැතිව මහමඟ සිඟන්නෙක් සේ අවසන් හුස්ම හෙළනවා වෙනුවට ජීවිතයේ අවසන් කාලය හෝ මෙසේ නිවාසයක ගෙවන්නට අවස්ථාවක් ලැබීම කොයි තරම් නම් වටීද? ඒ අවස්ථාව උදාකර දුන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ බොක්සිං සංගමයට සියලු ක්‍රීඩාලෝලීන්ගේත් ජනතාවගේත් ගෞරවය හිමිවිය යුතුය.
දිශානි ජයමාලි කරුණාරත්න
: සුමුදු හේවාපතිරණ