
ලෝකයේ අන් රටකින් යමක් ආනයනය කරන්නේ ඇයි? වෙළෙඳපොළක් පවතින හෙයිනි. ජනතාවට ඒවා මිලදී ගැනීමට අවශ්‍යය. රටට බහුලවම ආනයනය කරන දේ මොනවාද? සීනි, කිරිපිටි හෝ තිරිඟු පිටි යැයි උපකල්පනය කළ හැකිය. දොඩම් හෝ ඇපල් වැනි පළතුරු යැයි තර්ක තිබේ. නමුත් රටට වැඩිපුරම ගෙන්වන්නේ ඉන්ධන, රත්රන්, රෙදිපිළි, කාර්, සිමෙන්ති හෝ ස්මාට් ජංගම දුරකථන බව සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ගෙන්වා ඇති භාණ්ඩ වර්ග අතරින් විශාල ආනයන ලේඛනයේ ඇති වර්ග විස්සක් මේ ලිපිෙය් අැති සටහනේ දක්වා තිබේ. සාමාන්‍ය ජනතාවට තිබුණොත් යහපත්ය. නොතිබුණත් ප්‍රශ්නයක් නැත. නමුත් ආනයන පාලනය කිරීමට යෝජනා කරන්නේ මොනවාද? දුප්පත් මනුෂ්‍යයන්ට ද මිලදී ගතහැකි පළතුරකි. නැතිනම් ආහාර වර්ගයකි. අලුත්ම මෙවලමක් මිලදී ගතනොහැකි සාමාන්‍ය ජනයා වෙනුවෙන් ගෙන්වන පාවිච්චි කළ මෙවලම්ය. පාවිච්චි කළ විදුලිය උපකරණ, ගෘහ භාණ්ඩ, වාහන හෝ වාහන අමතර කොටස්ය. අලුත් දේ ගෙන්වනවිට ආණ්ඩු විශාල බදු අයකරයි. ඒවායේ තීරු බදු හා වෙළෙන්දාගේ ලාභ ප්‍රතිශත සලකන විට මිලදී ගත හැකි පිරිස සීමිතය. සාමාන්‍ය ජනතාව අලුත් මෙවලම් දෙස බලමින් වෙනත් රටක භාවිතා කළ වායු සමීකරණ යන්ත්‍රයක් හෝ ශීතකරණයක් මිලදී ගන්නේ වෙන කළ නොහැකි දෙයක් නැති හෙයින් බව තේරැම් ගත යුතුය.
ඉහළ පැළැන්තියේ නිවසක ඇති ස්වභාවයට සමීපවෙන්නට පොදු ජනතාව තුළ නොනිත් ආශාවක් තිබේ. නමුත් ආණ්ඩුව ඒවා පාලනය කර ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන මිල ඉහළ නංවා ඇත. බදු පැනවීමෙන්ය. ඉන්දියාවේ දී හෝ ජපානයේ දී මිලදී ගත හැකි අලුත් කුඩා මෝටර් රථයක් එහි හැබෑ වටිනාකම මෙන් තුන්සිය හෝ හාරසිය ගුණයක් වැඩිපුර ගෙවා මිලදී ගන්නට සිදුවී ඇත. වෙනත් රටක දී රුපියල් ලක්ෂ පහක් පමණ වන රථයක් මෙරට දී රුපියල් ලක්ෂ පහළොවක් විස්සක් හෝ එයටත් වැඩිය. සමහර දියුණු රටවල අවුරුද්දක් පාසා විදුලි මෙවලම්, ගෘහ උපකරණ හා ගෘහ භාණ්ඩ අලුත් කරයි. එයට හේතුව අඩු මිලට ගතහැකි අතර අලුත්වැඩියා කරමින් භාවිතය පාඩුවක් බැවිනි. මෙරට බහුතරයක් දෙනා එවැනි උපාංගයක් මිලදී ගන්නේ ජීවිත කාලයටම එකකි. ජනතාවට අත තැබිය නොහැකි තැනකට එකී අලුත් භාණ්ඩවල මිල නංවන අතර ඒවා දෙස බලමින් අලුත්වැඩියා කළ උපකරණයක් මිලදී ගන්නට සාමාන්‍ය ජනතාවට සිදුවී තිබේ.
2017 වසරේ නොවැම්බර් මාසයේදී ආණ්ඩුව විශේෂ නියෝගයක් නිකුත් කළේය. එයට අනුව ගව මස් හා ඌරු මස් ආනයනයට පැවැති තහනම ඉවත් කෙරිණි. ආරක්ෂක හේතු මත පනවා තිබුණ යම් යම් සන්නිවේදන හා විද්‍යුත් උපකරණ තහනම ආරක්ෂක අනුමැතියට යටත්ව ඉවත් කර ඇත. අන්ධකාරයේ ගමන් කළ හැකි කණ්නාඩි, ලේසර් මෙවලම් හෝ විශේෂ ආහාර වර්ග සඳහා තිබුණ තහනම ඉවත් කරන්නේ ඇයි? හැන්දෑවේ වෙළෙඳපොළට යන දුප්පත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විය හැකිය. පොළට ගොස් පිටරටින් ගෙන්වූ ගව මස් හෝ ඌරු මස් ටිකක් යහමින් මිලදී ගෙන නිවසට එන්නට හැකිය. ආණ්ඩුව සාමාන්‍ය ජනතාව ගැන හිතන්නේ එහෙමය. එපමණක් නොව පළතුරක් වවාගෙන කන්නට බැරිකමක් නැති හෙයින් ඇපල්, මිදි, දොඩම් යනාදිය ගෙන්වීම සීමා කරන පියවර ගනී. ලෙඩක් දුකක් හැදී දරැවෙකු රෝහල් ගතකරන වෙලාවේදී “අනේ දරුවාට ඇපල් ගෙඩියක්වත් අරන් යන්ට විදියක් නැහැ. යැයි හිතන දුක්බර මාතාවකට දැනෙන සිතිවිල්ලට මෙම තහනමෙන් ලැබෙන උත්තරය කුමක්ද? ඇති හැකි ජනතාවට මෙම තහනම බලපවත්වන්නේ නැත. ඕනෑම මිලක් ගෙවා මිලදී ගැනීමට ප්‍රශ්නයක් නැත. තහනම බලපාන්නේ සාමාන්‍ය ජනතාවටය.
උග්‍ර විනිමය අර්බුදයකට මුහුණ පා සිටින රටක් වශයෙන් ගන්නා තීන්දුව පොදු ජනතාවට හිරිහැරයක් විය යුතු නැත. ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ අවස්ථාවේදී තාවකාලික ණය සංචිතයක් නිකුත් කළ මූල්‍ය අරමුදල ණය සමඟ ඉදිරිපත් කළ කොන්දේසි මාලාව අනුව ආනයන පාලනයට පියවර ගෙන ඇති බව පෙන්වා දීම අවශ්‍යය. ජනතාවට විශාල හිරිහැරයක් වී තිබේ. ආදායම හා වියදම පාලනය කරගැනීම පමණක් නොව විදේශ විනිමය උපයා ගත හැකි මාර්ග ගැන කරන මුල්‍ය අරමුදලේ බලපෑම තියුණු ස්වභාවයක් ගෙන ඇත. රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය, ඉන්ධන හා විදුලිය මිල සූත්‍ර සහ සහනාධාර කපාහැරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ජාත්‍යන්තර ණය දෙන ආයතනයක් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ගැන තීරණය කරන තැනට පත්වීම බරපතළ ප්රශ්නයකි. මෙරට ආදායම හා වියදම ගැන සලකා බලා අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය.
මැදි ආදායම් රටක් වශයෙන් සලකන ශ්‍රී ලංකාව මෑතකාලය තුළ පොදු ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව සීමාකරන ප්‍රතිපත්ති අනුගමනය කළේය. බදු වැඩිකරන ලද අතර උපයන ආදායම සීමාකරන ක්‍රියාමාර්ග ගැනිණ. ජනතාව අත ඇති ධනය උපයෝගී කරගෙන මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීමෙන් කිසියම් ප්‍රමාණයකින් ආනයන වියදම අඩු කර ගැනීම ඉලක්ක කරන ලද බව පෙනේ. ආනයන අඩු කරගැනීමෙන් තොරව සම්බන්ධ තාවකාලික ගැටලුවට උත්තර සොයා ගත නොහැක. අඩු කරන්නේ ඉහළ සමාජයේ පැවැත්මට අවශ්‍ය දේ නොවේ. පහළ පැළැන්තියේ සාමාන්‍ය පොදු ජනතාව පරිහරණය කරන දේය.

ආනයන සීමාකරන පියවර සමාජයේ පහළ ස්තරයට හිරිහැරයක් කළ යුතු නැත. තාවකාලිකව ඉන්ධන, රත්තරන්, කාර්, සිමෙන්ති හෝ ස්මාට් දුරකථන වෙනුවෙන් පාලනයක් පැනවිය නොහැකි මන්ද? ගව මස් හෝ ඌරු මස් ආනයනයට අවසර දීම අත්‍යවශ්‍ය කාරණයක්ද? වගකිව යුතු අංශ මේ ගැන අවධානය යොමු කළ යුතුය.
ආනයන සීමාකරන අතර රටට අවශ්‍ය විනිමය උපයා ගැනීම අරමුණු කරගෙන ඒවා ලැබෙන මාර්ග වැඩි දියුණු කළ යුතුය. නමුත් ඉක්මනින් එවැනි පියවරක් අනුගමනය කරන්නට හැකියාවක් රටට නැත. වැඩපිළිවෙළක් රහිත බව පැහැදිලිව පෙනේ. පිළිගත් ආර්ථික ක්‍රමවේද අනුව පෙන්වන්නේ සාමාන්‍යයෙන් සියයට පහක ආර්ථික වර්ධනයක් මගින් සියයට දහයක ආනයන ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය. ආර්ථිකය දියුණු කරන්නට අපේක්ෂා කරන පාලනයන් ආනයන ද්‍රව්‍ය වෙනුවෙන් ඉල්ලුමක් ඇතිවිය හැකි බව අවධානයට ගත යුතුය.
ආනයන පාලනය කිරීම මගින් පොදු ජනතාවට තවත් දුෂ්කරතා මතු වී ඇත. ඛණිජ තෙල්, ආහාර පාන හා සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයන බදු නැංවීම ජීවත් වීම අසීරුකර ඇත. සාමාන්‍ය ජනතාව පරිහරණය කරන තෝරා ගත් ආනයනික වෙනුවෙන් පමණක් බාධා කරනු වෙනුවට අනවශ්‍ය ආනයන දුර්මුඛ කිරීම කළ හැකිය. මතට තිත බව කියන ආණ්ඩුව විදේශීය මත්පැන් තහනම් නොකරන්නේ ඇයි? දුම්කොළ ආනයනය නතර කිරීම ගැටලුවක් ද? සුඛෝපභෝගී වාහන ගෙන්වීම තාවකාලිකව තහනම් නොකරන්නේ ඇයි?
2017 අය වැය අනුව වසර 2040 සිට ඉන්ධනවලින් ධාවනය කරන වාහන භාවිතා කිරීම නතර කෙරේ. එය නීල හරිත ආර්ථිකයයි. එම නියෝග තිබිය දී අඩුම තරමින් පාර්ලිමේන්තු මැතිඇමැතිවරු, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මට්ටමින් විදුලිය බලයෙන් ධාවනය වන වාහන භාවිතා නොකරන්නේ මන්ද? මැතිඇමැතිවරු ගෙන්වා ඇති එක වාහනයක මිල රුපියල් ලක්ෂ හාරසියයක් පන්සියයක් අතර වෙයි. මේවා තව වසර දහයකින් විනාශ කරනු නිසැකය. ඒවායෙන් පළමුවෙන් ගමන ආරම්භ කිරීම සුදුසුය. වඩා වැදගත් ආදර්ශය බව සිහිපත් කරනු වටී. රජයේ ගමනා ගමන සේවාවලට විදුලිය බස් ගෙන්වා ඉන්ධන පරිහරණය පාලනය කළ නොහැකි මන්ද? පසුගිය අයවැය විදුලිය බස් පනහක් ගෙන්වන්නට මුදල් වෙන් කළේය. ආණ්ඩුවට එම බස් පනහ ගෙන්වා ගැනීමට තවමත් නොහැකි වී තිබේ. පොදු ජනතාව වෙත ප්‍රහාර එල්ල කරන්නට කලින් ආණ්ඩුව තමන් කැපවීමක බව පෙන්වන්නට වගබලා ගැනීම වැදගත්ය. පාලනය පටන්ගැනීම ඉහළින් කළ යුතුය.
මෙරටට ආනයනය කරන ප්‍රධාන ආනයන වර්ග විස්සක විස්තර
1. පිරිපහදු කළ ඉන්ධන වර්ග - ඇ. ඩො. බිලියන 2.1 (සියයට 12.8කින් අඩු වී තිබේ.)
2. රත්තරන් ඇ. ඩො. මිලියන 649.9 (සියයට 231.3කින් ඉහළට)
3. රෙදිපිළි ඇ. ඩො. මිලියන 612.6 (සියයට 22.6කින් ඉහළට)
4. බොරතෙල් ඇ. ඩො. මිලියන 547.4 (සියයට 55.2කින් පහළට)
5. කාර් ඇ. ඩො. මිලියන 547.4 (සියයට 7.7කින් පහළට)
6. සිමෙන්ති ඇ. ඩො. මිලියන 521.1 (සියයට 1කින් ඉහළට)
7. දුරකථන පද්ධති හා ස්මාට් දුරකථන ඇ. ඩො. මිලියන 479.5 (සියයට 66.5කින් ඉහළට)
8. ඖෂධ වර්ග ඇ. ඩො. මිලියන 390.6 (සියයට 32.8කින් ඉහළට)
9. යකඩ හා ආශ්රිත අමුද්‍රව්‍ය ඇ. ඩො. මිලියන 359.3 (සියයට 89.7කින් ඉහළට)
10. ට්‍රක් රථ ඇ. ඩො. මිලියන 336.2 (සියයට 84.3කින් ඉහළට)
11. ගුවන් යානා හා වෙනත් ආශ්රිත දේ ඇ. ඩො. මිලියන 325.3 (සියයට 2,831කින් ඉහළට)
12. තිරිඟු පිටි ඇ. ඩො. මිලියන 303.2 (සියයට 6.5කින් පහළට)
13. සහල් ඇ. ඩො. මිලියන 300.8 (සියයට 1,593කින් ඉහළට)
14. සකස් කළ කිරි පිටි, රසකළ කිරි පිටි හා ක්‍රීම් ඇ. ඩො. මිලියන 294.3 (සියයට 6.2කින් ඉහළට)
15. ගල් අඟුරු හා ඒවායෙන් නිපදවූ දේ ඇ. ඩො. මිලියන 258.9 (සියයට 116.6කින් ඉහළට)
16. අමු රෙදි සියයට අසූ පහක් කපු ඇ. ඩො. මිලියන 257.6 (සියයට 3.8කින් පහළට)
17. යතුරුපැදි ඇ. ඩො. මිලියන 250.5 (සියයට 122.6කින් ඉහළට)
18. සීනි ඇ. ඩො. මිලියන 246.6 (සියයට 12.3කින් පහළට)
19. සැහැල්ලු නැව්, ප්‍රහාරක බෝට්ටු හා පාවෙන ඩොක් යාත්‍රා ඇ. ඩො. මිලියන 237 (සියයට 12,859කින් ඉහළට)
20. ගෑස් ඇ. ඩො. මිලියන 218.3 (සියයට 6.1කින් ඉහළට)
- වසර 2013 සිට 2017 වනවිට ප්‍රතිශතයක් වශයෙන් ආනයන වියදම ඉහළ හෝ පහළ ගිය ප්‍රමාණය වරහන් තුළ දැක්වෙයි.
►ගාමිණී සරත් ගොඩකන්ද