2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ලොකු කෙළිකාරයන්ගෙ සුරලෝකය කළඹන #MeToo සුනාමිය

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව සිය 2017 “වසරේ පුද්ගලයා” ලෙසින් නම් කරනු ලැබ තිබුණේ “නිහඬ බව බිඳින්නෝ” නමින් හඳුන්වන කාන්තාවන් පිරිසකි. කොටින්ම, ඒ වනවිටත් ලෝක ප්‍රසිද්ධව සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට Time සඟරාවේ මෙම “වසරේ පුද්ගලයා” අංශයේ හිමිකරගත හැකිවූයේ දෙවැනි ස්ථානයයි. මේ අය කවුද? ඒ වනවිටත් කළඑළි බැස තිබූ #MeToo සමාජ ජාල විරෝධතාවේ සාමාජිකාවන්ය. දැන් බටහිරින් ඉන්දියාවටත් එතැනින් ආසියාකරයටත්  කඩාවැදී ඩෙඟා නටන #MeToo ප්‍රසිද්ධ වේදිකාවේ පිළිගැනීමට ලක්වූයේ ඒආකාරයටය. 

තමන් ලිංගික අතවරවලට ලක් වූ බව පැවසූ විවිධ පසුබිම් සහිත තෝරාගත් කාන්තාවන් පිරිසකගේ ඡායාරූපයක් එදා Time සඟරාව සිය කවරයේ පළ කළේ දශක ගණනාවක් ඇතුළත දක්නට ලැබුණ වේගවත්ම සමාජ ව්‍යාපාරයට ඔවුන් මුල් වූ බව සඳහන් කරමිනි. ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි මේ සමාජජාල මුල්කරගත් ව්‍යාපාරය  #MeToo ලෙස ඒ වනවිටත් ලොවපුරා මහත් ප්‍රසිද්ධියකට පත්ව තිබුණි. ලිංගික අතවර පිළිබඳ ලජ්ජාව කෝපයක් බවට හරවමින් දහස් ගණන් ජනතාව වීදියට කැඳවා බලගතු පුරුෂයන්ට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීමට එම ව්‍යාපාරය සමත් වූ බව Time සඟරාවේ අදහසය. එහෙත් දැන් #MeToo ප්‍රසිද්ධ පුද්ගලයන් ඉවක් බවක් නැතිව හඹායන, ඔවුන් සිය  ඉහළ සමාජ ස්ථරයෙන් කාණු පල්ලටම ඇද දමන ප්‍රචණ්ඩ සුනාමි  ප්‍රවාහයක් වී හමාරය. එහි අලුත්ම බිල්ල ඉන්දියාවෙනි. ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම්.ජේ. අක්බර්ය. 

#MeToo යටතේ ලිංගික චෝදනා එල්ල වූ ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම්.ජේ. අක්බර් ඉකුත් බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු මෝදි රජයේ ලොකු කෙළිකාරයෙකි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, නීතියෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වන තමන් එය ඉටුවනතුරු සදාචාරාත්මක ලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවය. ඒ සමඟම 97දෙනෙකුගෙන් යුතු යෝධ නිතීඥ බළමුළුවක් පෙරටුකරගත් ඔහු තමන්ට එරෙහිව චෝදනා නඟන මාධ්‍යවේදිනියක වන  ප්‍රියා රමණි ප්‍රමුබ කාන්තාවන් කණ්ඩායමකට එරෙහිව ඉතිහාස ගතවන අපහාස නඩු හටනකට සැරසී හමාරය.

ඉන්දියාවේ හිටපු ප්‍රබල කර්තෘවරුන්ගෙන් අයෙකු වූ ඔහු, The Telegraph සහ The Asian Age යන ඉංග්‍රීසි පුවත්පත්වල කර්තෘත්වය දරා තිබේ. ඒ සමයේ වූ බව කියන සිද්ධි සම්බන්ධයෙන් ප්‍රියා රමණි වෙතින් ඔහුට එල්ල වී ඇති චෝදනා “බලහත්කාරී හැසිරීමේ” සිට සම්පූර්ණයෙන්ම ලිංගික හිරිහැර කිරීම දක්වා පරාසයක පවතී. පසුගිය ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙම චෝදනා හිතාමතා එල්ලකර ඇති බවය. අමාත්‍යවරයාට මෙම චෝදනා පළමුවරට එල්ල වූයේ, මාධ්‍යවේදී ප්‍රියා රමණි, ඇයට කාර්යාලයේදී මුහුණදීමට සිදුවූ අතවරයක් සම්බන්ධයෙන් පළ කළ ලිපියක් හරහාය. ඇය පළකළ මුල් ලිපියෙහි අමාත්‍යවරයාගේ නම සඳහන් කර නොතිබූ අතර, ඔක්තෝබර් 8 වැනිදා ඇය එම ලිපිය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කරමින් සඳහන් කර තිබුණේ එම ලිපිය අමාත්‍ය අක්බර් සම්බන්ධයෙන් ලියූ බවය.

එම ට්විටර් පණිවුඩයෙන් පසුව තවත් කාන්තාවන් පිරිසක් අමාත්‍යවරයාට චෝදනා කරමින් ඉදිරියට පැමිණ තිබේ. අමාත්‍යවරයාට චෝදනා කර ඇති කාන්තාවන්ට සහය පළ කරමින් තවත් මාධ්‍යවේදීන් සහ කාන්තාවන් විශාල පිරිසක් සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබිණි.

ඇමැතිවරයාට එරෙහි මේ අලකලංචිය කරළියට එන්නට පෙර #MeToo ප්‍රචණ්ඩ රැල්ලට ප්‍රසිද්ධ චරිත ගණනාවක්ම ගොදුරු වූහ. දිගින් දිගටම නැගෙන මෙම චෝදනා ආරම්භ වූයේ කෙසේදැයි පැවසීම අපහසු නමුත්, ඔක්තෝබර් 4 වැනි දින මුලින්ම සඳහන් වූයේ විකට චරිත සඳහා ප්‍රසිද්ධ ප්‍රහසන නළුවෙක් වන 33 හැවිරිදි උත්සාව් චක්‍රබෝතිගේ නමය. ඔහු තමන්ට අසභ්‍ය නිරුවත් ඡායාරූප එවූ බව චෝදනා නගමින් තරුණ ප්‍රහසන නිළියක් ට්විටර් පණිවුඩයක් පළ කිරීමෙන් පසු බොහෝදෙනා සිය අත්දැකීම් හෙළි කිරීමට පෙළඹිණි. මෙම නළුවා තවත් කාන්තාවන් කීපදෙනෙකුට එවන් ඡායාරූප යවා හෝ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලා හෝ ඇති බව ට්විටර් පණිවිඩයට පිළිතුරු දුන් කාන්තාවෝ පවසති. මේ සෑම පණිවුඩයකම අදාළ ඡායාරූප එවූ පුද්ගලයාගේ නම මකා දමා තිබිණි. උත්සාව් චක්‍රබෝති මෙම චෝදනාවන් පිළිගත් අතර, පසුදින ඒ වෙනුවෙන් සමාව අයැද ට්විටර් පණිවුඩයක් පළ කළේය. ඒ සමඟ දෙබරයට ගල් වැදුණාක් සේ #MeToo හෑෂ් ටැගය ඉන්දියාවේ අන්තර්ජාලය තුළ ඉතා වේගයෙන් පෙරැළි කරන්නට විය.

දින තුනක් ඇතුළත තවත් විකට නළුවන් සහ සිනමාකරුවන්, විවිධාංග නළුවන් සහ අධ්‍යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවන්, ජනප්‍රිය කතුවරුන්ට එරෙහිව චෝදනා එල්ල වන්නට වූ අතර #MeToo හෑෂ් ටැගය ඉන්දියාවේ අන්තර්ජාලය තුළ ඉතා වේගයෙන් පැතිරී යන්නට විය. ප්‍රවීණ නළු ආලෝක් නාත්, සිනමාවේදින් වන විකාස් භාල්, සුභාෂ් ගයි, සජිඩ් ඛාන්, රජාත් කපූර්, අශීෂ් පටිල්, අජිත් ටාකූර්, කන්ගානා රනුට්, පියුෂ් මිස්රා, සුල්ෆී සායීඩ්, ගුර් සිම්රාන් කම්බා, කනාන්ජිල්, මාධ්‍යවේදීන් වන ප්‍රශාන්ත් ජා, ගෞතම් අධිකාරි, කේ.ආර්. ශ්‍රිනිවාස්, මයාන්ක් ජායින්, ෆාඩ් ෂා, සතාද්රු ඕජා, ගායකයන් වන කයිලාෂ් කහේර්, අභිජිත් භට්ටාචාර්ය, රාඝූ ඩික්සිත් සහ සංගීතඥ අනූ මලික් එලෙස චෝදනාවලට ලක්වූ දැවැන්ත චරිත කීපයකි. මේ අතර ප්‍රධාන පෙළේ ලේඛකයන් ලෙස ලංකාව තුළද ප්‍රසිද්ධ සචීන් ගාග්, චේතන් භගත්ගේ නම්ද ගෑවී තිබුණි. 

#MeToo හෑෂ් ටැගය වෙතින් ලොකුම කලබැගෑනිය ඇති කළේ බොලිවුඩ් නිළියක වන දත්තාය. චෝදනාවට ලක්ව සිටින්නෙ සුප්‍රකට බොලිවුඩ් නළු නානා පටේකාර්ය. එය ද්වේෂ සහගත ප්‍රහාරයක ලකුණු ගෙන හැර පා ඇත්තේ නානා පටේකාර් මෙන්ම නිෂ්පාදක සාමි සිද්දික්, අධ්‍යක්ෂක රාකේෂ් සාරංග්, නර්තන රචක ගනේෂ් ආචාර්යා යන 4 දෙනාම ඔවුන්ගෙ මොළ පරීක්ෂාවටත් බොරු අල්ලන මැෂිමක පරීක්ෂාවටත් ලක්කළ යුතු බව කියා තිබිමෙනි. ටනුශ්‍රී දත්තා පවසන පරිදි ඇයට සිනමාවෙන් ඉවත්වීමට බලපා ඇත්තේ තමන් රංගන තලයකදී මුහුණ දුන් එම සිද්ධියයි.

ඉන්දියාව තුළ ලිංගික හිංසන පිළිබඳ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2017 වර්ෂයේදී 50කට අධික මහාචාර්යවරුන්ට චෝදනා එල්ල කරමින් නීති ශිෂ්‍යාවක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කළාය. මෙම සටහනේ කිසිවෙකුගේ නමක් සඟවා තිබුණේ නැත. මේ වනවිට බොහෝ හෙළිදරව් සිදුකර ඇත්තේ මාධ්‍යවේදිනියන් විසිනි. මහාධිකරණ විනිසුරුවරයෙක්ද ඔවුන් චෝදනා එල්ල කරන අය අතර සිටී. එමෙන්ම, මීළඟ සතියේ තවත් හෙළිකිරීම් සිදුවීමට ඉඩ ඇති බව පෙනී යයි.

මෑත කාලයේ #MeToo සක්‍රියව ඇරුඹුණේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටයින්ට එරෙහි ලිංගික අතවර චෝදනා එල්ලවීමෙන් අනතුරුවය. එයින්  පන්නරය ලද බොහෝ කාන්තාවෝ Me Too නම් හෑෂ් ටෑගය යටතේ තමන් මුහුණදුන් අතවර පිළිබඳව හෙළිදරව් කිරීමට පෙළඹුනහ. ලොවපුරා දසලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට සිය අමිහිරි  අත්දැකීම් හෙලිකිරීම පිණිස #MeToo සහයෝගිතා ව්‍යාපාරයක් බවට පත් වූයේ ඒ ආරම්භයත් සමගිනි.

MeToo වදන් පෙළ මුලින්ම ජාලයට එක් වූයේ දශකයකට පමණ පෙරය. ටරානා බර්ක් නමැති ක්‍රියාකාරිනිය විසිනි. එය ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්වුණේ ඇලිසා මිලානෝ නිළිය 2015 ඔක්තෝබර් 15 දා පළකළ “ඔබ ලිංගික අතවරයකට, ලිංගික හිංසනයකට ලක්ව ඇත්නම් මේ පණිවුඩය සමග #MeToo කියා ට්විටර් කරන්න” යැයි තැබූ ආන්දෝලනාත්මක සටහනත් සමගය. පසුදා වනවිට එයට ලැබුණු ප්‍රතිචාර 30,000ද පැන්නේය. මේ ප්‍රචණ්ඩ ජනමත සුනාමියේ ආරම්භය එතැනය. ලංකාව තුළද දැන් මේ රැල්ල පණ ගසමින් තිබේ. ක්‍රීඩකයන් ඇතුළු කිහිප දෙනෙකුගේ නම් එළියට එන ලකුණු පහළ වී හමාරය. 

මේ අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන නමුත් ලිංගික හිංසනය යනු දඬුවම් කළ හැකි වරදක් යයි බොහෝ දෙනා නොදන්නා බව සිය සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා වාර්තා කළේය. කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක්වෙන බව එය කියයි.

ප්‍රසිද්ධ ස්ථානවලදී පමණක් නොව අන්තර්ජාලය ඔස්සේ කෙරෙන “සයිබර් බුලින්” (Cyber bulling) හෙවත් අපහසුතාවන්ට ලක්කිරීම තරුණ කාන්තාවන් වර්තමානයේ මුහුණදෙන තවත් බරපතළ ලිංගික හිංසනයකි. මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය.

යම් අවස්ථාවක “ඔබ එවන් හිංසනයකට ලක්වන්නේ නම්” එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝදෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලීසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී. #MeToo අන්තර්ජාල සුනාමියේ අතරමං වනවාට වඩා එය වඩාත් ප්‍රායෝගිකය.

 සුගත් පී.කුලතුංගආරච්චි