2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පස් තට්ටුව දැක්ක ගමන් මට කාලය කියන්න පුළුවන්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 356

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)

1971 වසරේ අනියම් කම්කරුවකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු එල්.වී.ඒ. ද මැල් 2006දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබුවේ කැණීම් නිලධාරියකු වශයෙනි. නමුත් ඔහු තවමත් කැණීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩව නියැලෙමින් තම දැනුම හා අත්දැකීම් මුසු කරමින් සිටී.

දෙස් විදෙස් ප්‍රකට පුරාවිද්‍යාඥයන් රැසකගේ ආචාර්ය උපාධි නිබන්ධන සැකසීමට සම්පත් දායකත්වය සා.පෙළ දක්වා පමණක් උගත් මැල් අතින් සිදුවිය. ආචාර්ය ශිරාන් දැරණියගල, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල, ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය විජේරත්න බෝහිංගමුව වැනි විද්වතුන් ඒ අතර සිටිති.

විශ්ව විද්‍යාල සිසුන් සිය ගණනක් කැණීම් ක්ෂේත්‍රයට අත්පොත් තැබුවේ මැල් අතිනි. ඔහු පුරාවිද්‍යා කොමසාරිස්වරු 7 දෙනකු යටතේ සේවය කර තිබේ. “දැන් විශ්ව විද්‍යාල සිසුන් වගේම උපාධිධාරින්ටත් අත්දැකීම් බහුල අපි වගේ අයගෙන් උපදෙස් ගැනීමේ නිහතමානී පුරුද්දක් නෑ. සමහරු ඒකට මැලි වෙනවා.” මැල් පැවසුවේය.
අපි පසුගිය සතියේ මැල්ගේ කැණීම් අත්දැකීම් රැසක් අතර කිමිදුණෙමු. මේ සතියේ තවත් කැණීම් කරමින් අතීතයට චාරිකාවක් යාමට මේ ලිපියෙන් ඔබට ඉඩකඩ ලැබේවි. “පී. ඊ. පී. දැරණියගල මහත්තයා කලකට පෙර රත්නපුරය අවට මැණික් පතල්වලට මධ්‍ය ශිලා යුග මානව අවශේෂ බලංගොඩ මානවයාගේ කියලා නම් කළා. 1979 තමයි ලංකාවේ මුල් වරට පුරාවිද්‍යා ස්ථාන, කාබන් 14ක් ක්‍රමය යටතේ කාල නිර්ණය කළේ. මේ නිසා 1969දී කළ අනුරාධපුරයේ ගෙඩිගේ කැණීම්වලටත් කාල නිර්ණයක් කරල තිබුණේ නැහැ. ඒක හින්දා 1984 ආරම්භ කරපු අනුරාධපුර කැණීමේ ප්‍රධාන අරමුණ වුණේ  කාල නිර්ණය කිරීමයි. &පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිට මැල් අප සමඟ පැවසුවේය.

ඔහු තම අදහස් පැවසුවේ සිතින් අතීතයට යමින් මහත් තෘප්තියක් විඳගනිමිනි. මේ වනවිට පුරාවිද්‍යා ශ්‍රවණාගාරයේ පිරී සිටි ජනතාව ඉන් ඉවත්ව ගොසිනි. ආචාර්ය සෙනරත් පරණවිතානගේ උඩුකය ශීර්ෂ මූර්තිය කවුලු අතරින් පෙනේ.

“ලැබුණු සාධක පිළිවෙළකට ගොනු කර ක්‍රි.පූ. 6 සිට ක්‍රි. පූ. 3 දක්වා හොඳ කාල රාමුවක් හදා ගැනීමට අපට හැකි වුණා. එතැනදී අපට පැරණි යකඩ කම්හලක සාධක හමුවුණා. එතැනදී ශිරාන් දැරණියගල මහත්මයා කිව්වේ අපට පුරාවිද්‍යා දැනුම තිබුණට යකඩ ගැන අධ්‍යයනයට රසායන දැනුමක් නැති නිසා මේක ඉදිරි ආනාගතයට විශ්ලේෂණය කිරීමට වහලා දාමු කියලයි. මට මතකයි වැලි ට්‍රැක්ටර් ලෝඩ් පහක් ගෙනවිත් ඒ කම්හල වහලා දැම්මා. අදටත් ඕනෑ කෙනකුට දැනුමක් තිබෙනවා නම් එතැන කැණීමක් කරන්න පුළුවන්.”

ක්‍රි.පූ. 6 සියවසේ උතුරු ඉන්දියාවේ සිට දියුණු ජන සංක්‍රමණයක් අනුරාධපුරයට සිදුව ඇති බව මේ කැණීම්වලින් සනාථ විය. එය මහාවංශය සඳහන් කරන්නේ විජයාගමනය ලෙසිනි. ක්‍රි. පූ. 6 අනුරාධපුර ඇතුළු නගරයේ විශාලත්වය උතුරේ සිට දකුණට සැ.4/1ක් සහ නැගෙනහිර සිට බස්නාහිරට දිග සැ.1/2කි. ඒ වනවිට නගරයේ මුළු භූමි ප්‍රමාණයෙන් පර්යේෂණ කැණීම් කර තිබුණේ ගෙඩිගේ ප්‍රදේශයේ සුළු ප්‍රමාණයක් පමණි. “අපි අනුරාධපුරය පුරා තැනින් තැන පර්යේෂණ කැණීම් වළවල් දාලා බලමු මේ ආර්ය ශිෂ්ටාචාරයේ කාල නිර්ණය කොයිතරම් දුරට යනවද කියලා කියා දැරණියගල මහත්තයා කිව්වා. ඒ අනුව ඇතුළු පුරයේ සල්ගහවත්ත 01, සල්ගහවත්ත 02, බලගල්ල වත්ත වගේ තැන්වල මී. 3X3 කැණීම් වළවල් 13ක් දැම්මා. මේ කැණීම් කිරීමේදී මහා පාලි දාන ශාලාව අසල කැණීමෙන් ක්‍රි. පූ. 500ට අයත් අක්ෂර සහිත වළං කැබැල්ලක් හමුවුණා. සල්ගහවත්ත 88 පස්  තට්ටුවෙනුත්  අක්ෂර සහිත වළං කැබැල්ලක් හමුවුණා. ඒකත් ක්‍රි. පූ. 500ට අයත් වුණා.”

එතෙක් අප රටේ අක්ෂර භාවිතය මහින්දාගමනයත් සමඟ (ක්‍රි.පූ 250) පැමිණි බවට ඉතිහාසඥයන් අතර පිළිගැනීම විය. පාසල්වල මෙන්ම විශ්ව විද්‍යාලවල ද ඉගැන්වූයේ ඒ ඇසුරිනි. නමුත් ආචාර්ය දැරණියගලගේ සොයා ගැනීම බොහෝ ඉතිහාසඥයන් තුළ පමණක් නොව ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් අතර ද කුකුසක් ඇති කළේය “මට පස් තට්ටුවක් දැකපු ගමන් කාලය කියන්න පුළුවන්. මේක දුටුගැමුණු රජ්ජුරැවන්ගේ කාලේ කියලා. මේක කාවන්තිස්ස රජතුමාගේ කාලේ කියලා. පස් තට්ටු ඉහළ සිට පහළට යනවිට අවධි ගණන මට මතකයෙන් කියන්න පුළුවන්. ඇතුළු නුවර අතීතය ක්‍රි. පූ. 9 දක්වා යන බවත් අපට කියන්න පුළුවන් වුණා.

අනුරාධපුර ඇතුළු නුවර තමයි පස් තට්ටු අධ්‍යයනයට හොඳම ප්‍රදේශය. අනුරාධපුරයේ යටින්ම හමුවන්නේ මව් පාෂාණය. ඊට පසු බොරළු පස් තට්ටුව. අපි ඒක කාල නිර්ණය කරලා තියෙන්නේ අවුරුදු 5550ක අතීතයට. මධ්‍ය ශිලා යුගයේ ගල් ආයුධ ඉන් ලැබෙනවා. ඊට පසු යකඩ යුගය එනවා. මධ්‍ය ශිලා යුගයේ සිට යකඩ යුගය දක්වා (ක්‍රි.පූ. 9) පිම්මක් පැනීමක් තමයි අනුරාධපුරයේ දකින්න ලැබෙන්නේ. මේ කාලයේ අපේ රටේ ජනතාව  අශ්වයන් භාවිත කළා. ශාක ගෘහකරණය කරමින් යකඩ භාවිත කළ ජනතාවක් බව ඔප්පු වුණා. මේ මතය එළියට දැම්ම ගමන්ම විශ්වවිද්‍යාලවල ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් අතර මත ගැටුමක් ඇති වුණා. ඉතිහාසඥයන් පිළිගන්නේ අක්ෂර භාවිතය ක්‍රි. පූ. 3 ඇති වූ බවයි. පස් තට්ටු පැටලුණා ද කියලත් ඒ අතර මත ගැටුමක් ඇති වුණා. නමුත් අපගේ ස්තරානුකූල කැණීම්වලට අනුව කිසිම පැටලීමක් වීමට ඉඩක් නෑ.”

අනුරාධපුර කැණීම් ප්‍රතිඵල ගැන විද්වතුන් අතර එකඟතාවයක් ඇති වුණේ නැත. ලංකාවේ හැමදෙයකම දක්නට ලැබෙන මත ගැටුම පුරාවිද්‍යාවටත් පොදු විය. ආචාර්ය ශිරාන් දැරණියගල එවිට පවසා සිටියේ අපි මේ ගැටුම්වලින් ඈත් වෙලා ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන්ට කැණීම් කිරීමට ඉඩ ලබා දෙමු කියාය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් එංගලන්තයෙන් කීර්තිමත් පුරාවිද්‍යාඥයන් දෙපලක් වූ මහාචාර්ය කොල්වින් සහ ආචාර්ය රොබින් කනිංහැම් අනුරාධපුරයට පැමිණියහ. “අපි කරපු සල්ගහවත්ත 1 කැණීම් වළ ළඟින්ම රොබින් මහත්තයට කැණීම් කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඔහු කරපු කැණීම්වලින් ලැබුණෙත් ඒ ප්‍රතිඵලමයි. ඊට පසු ජාත්‍යන්තර මට්ටමින් මේ මතය පිළිගැනීමට ලක්වුණා. දැන් ඔන්න යාන්තම් එක්තරා මතයක් පාසල් පොත්වලටත් වැටිලා තිබෙනවා  ක්‍රි.පූ. 500 අක්ෂර භාවිතය තිබුණු බව” මැල් තම කතාව අවසන් කළේ සිනහවක් මුව තුළ රඳවා ගනිමිනි.

►කුසුම්සිරි විජයවර්ධන