නාමල්-නාලක කතාව යුගයක් වසඟ කළ ප්‍රේම කතාවලට දෙවැනි නැත. කොටසින් කොටස කතාව රසවත් වෙන නිසා බොහෝ දෙනා බලා සිටින්නේ මෙහි අවසානයක් දකින්නටය. පුදුමය නම් මේ කතාවේ සමහර සිද්ධි වෙලාවට වෙන්න තිබ්බත් ඒවා තවම හරිහැටි සිදුව නැත. එක්කෝ හිතා මතා එම සිද්ධි නවතා දමා ඇත. නැතිනම් හොඳම හරිය අවසානය වනතෙක් තියෙනවා ඇත. ඒ කොහොම වෙතත් චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක මේ ලිපිය ලියන මොහොතේදීත් කුරුල්ලෙකු මෙන් නිදහසේය. ඒ තවමත් නාලක මේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් නොකිරීම නිසාය.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ කටයුතු රහස් පොලීසිය විසින් සිදුකරනු ලබයි. මෙම පරීක්ෂණයේ ප්‍රධානම සාක්ෂිය වන දුරකථන සංවාදය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා රහස් පොලීසිය විසින් හඬපටය රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන්නේ පසුගිය දිනකය. ඒ අනුව ඒ සඳහා කටහඬ සාම්පල ලබා ගැනීමට පැමිණිලිකරැ නාමලුත් අනෙක් පාර්ශ්වය වන නාලකත් පසුගිය 26 සහ 28 යන දෙදින තුළ රස පරීක්ෂක කාර්යාලයට ගියෝය.
එම කටහඬවල අවසාන ප්‍රතිඵලය මේ වනවිට නිමවී ඇති අතර ඊට අදාළ වාර්තාව සකසා ඇත. එහෙත් තවම අධිකරණයට එය ඉදිරිපත් කරද නැත. එහෙත් ඒ ගැන අප සොයා බැලීමේදී දැනගන්නට හැකිවූයේ එම කටහඬවල් දෙක නාමල්ගේ සහ නියෝජ්‍ය පොලිස්පති නාලකගේ බව තහවුරු වී ඇති බවයි. එසේ නම් මෙකී කතාවේ එක් පරිච්ඡේදයක් ඉදිරියේ අවසන් වනු ඇත.
කෙසේ වෙතත් දැන් ඇත්තේ මෙම කුමන්ත්‍රණය කෙසේ සිදුකරන්න ගියාද මේ පිටුපස සිටින පුද්ගලයා කවුරුන්ද, යන්න දැන ගැනීමය. කෙසේ වෙතත් මේ කතාවේ හොඳම සිද්ධිය වන්නේ එල්.එම්.ජී ගිනි අවි දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පොලිස්පතිවරයා විසින් ලබාදීමය. ඒ නාලක සිල්වාගේ ඉල්ලීම නිසාය. කෙසේ වෙතත් සමස්ත පොලීසියම රාජකාරි සඳහා එල්.එම්.ජී. ගිනිඅවිය ඉවත් කළත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එල්.එම්.ජී. අවි දෙකක් ලබා ගත්තේ කුමක් නිසාද යන්න හැමෝටම ඇති සැකයකි.
මේ සැකය තීව්‍ර වන්නේ පසුගියදා අධිකරණයේ දිගහැරුණු කතාවක් සමඟය. ඒ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් හෙළිකළ දෙයක් නිසාය. ඔහු සඳහන් කර සිටියේ මෙම ගිනි අවි දෙක සැප්තැම්බර් 4 සිට 6 දක්වා අතර කාලයේ මෙම ගිනි අවි දෙක නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොස්තාපල්වරැ දෙදෙනෙකු එළියට රුගෙන ගොස් ඇති බවය. එලෙස රුගෙන ගියේ කුමන හේතුවක් නිසාද යන්න සඳහන් වීමක් නොමැති බවත් මෙය යම්කිසි දෙයකට භාවිත කළාද යන්න දැන ගැනීමට නැති බවත් අධිකරණයේ අනාවරණය විය. එසේම එම ගිනි අවිදෙක රුගෙන ගොස් නැවත රුගෙන ආවත් ඒ ගිනි අවි ලබාගත් ආකාරය සම්බන්ධයෙන් උපසේවා නිලධාරියා කිසිදු සටහනක් යොදවා නැත. ඒ නිසා මේ ගැන සැකයක් ඇති බව අධිකරණයේදී හෙළිදරව් විය.
කෙසේ වෙතත් මේ ගැන සෙවීම සඳහා අධිකරණ තීන්දුව වූයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ගිනි අවිදෙක යොමු කරන ලෙසය. ඒ අනුව දැන් එම ගිනි අවි තිබෙන්නේ රජයේ රස පරීක්ෂකවරයා සන්තකයේය. ඒ අනුව මේ ගිනි අවි භාවිතා කළේ කුමකටද යන්න හෙළිවනු ඇත. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව පරීක්ෂණ එන්න එන්න සංකීර්ණ වන නිසා පසුගියදා අධිකරණය විසින් දෙදෙනාට විදෙස් ගතවීම තහනම් කරන ලදී. ඒ නාමල්ට සහ නාලකටය. දැන් දෙදෙනාගේම ගමන් බලපත්‍ර තිබෙන්නේ අධිකරණයේය.
මෙම ගිනි අවි ලබාදීම අපරාධයක් ලෙස නොසැලකුවත් මෙය සම්පූර්ණයෙන් පරිපාලන විනය රෙගුලාසි උල්ලංඝණය කිරීමකි. ඒ අනුව පොලිස්පතිවරයා විසින් මේ ගිනි අවි ලබා දුන්නා නම් පොලිස්පතිවරයා හෝ එසේ ලබාගැනීම පිළිබඳව තොරතුරු නියත වශයෙන් දන්නවා ඇත. එහෙත් කිසිවකු මේ කතාව අවසාන කරන්නට උත්සාහ ගන්නේ නැත.
නාමල් සම්බන්ධයෙන්ද මේ වනවිට ඔවුන්ගේම පාර්ශ්වයේ හිත මිත්‍රයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිස පවසන්නේ ඔහුව අත්අඩංගුවට ගත යුතු බවය. ඒ ඩෑන් ප්‍රියසාද්ට පවා නාලකව හඳුන්වා දුන්නේ නාමල් බව ඩෑන් පවසයි. ඒ නිසා නාමල් නැමැත්තාද මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු බව ඔවුන් පවසයි. කෙසේ වෙතත් එහි ඇත්ත නැත්ත ඉදිරියේදී රහස් පොලීසියෙන් අනාවරණය කරගනු ඇත. එදින මේ කවුරු කවුරුත් නටන්න සූදානම් වූ නාඩගමේ හරි පිටපත එළියට එනු ඇත.
අසංක කළුබෝවිල