
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියන් 350191 දෙනෙක් පෙනී සිටියහ. අගෝස්තු මස පැවැති විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ (ඔක්තෝබර් 05) නිකුත්විණි. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හේතුවෙන් බොහෝ දරුවන් සතුටට පත්වූ අතර තවත් කණ්ඩයමක් ඉතා දුකට පත්වූහ.
ඕනෑම විභාගයක ප්‍රතිඵල අනුව මේ තත්ත්වය උදාවුවද බොහෝවිට ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ විභාගයක් නොව හුදෙක්ම ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ ජීවිතේ කඩඉමක් ලෙස හැඳින්විය හැක. මේ නිසා බොහෝවිට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දරුවන්ටත් වඩා මව්පියෝ සතුටට පත්වෙති. දුකට පත්වෙති.
ඕනෑම මව්පියකුගේම බලාපොරොත්තුව වන්නේ තම දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දීමයි. වර්තමානයේදී බොහෝ තරුණ තරුණියන් විවාහ වීමටත් පෙර කොළඹ නගරාසන්න ප්‍රදේශයේ නිවසක පදිංචිවන්නට හෝ ඡන්ද ලේඛනයට නම් ඇතුළත් කර ගැනීමට මහන්සි වෙති. විවාහ වූ දෙපළකගේ ඊළඟ සිහිනය වන්නේ දරු සුරතල් බැලීමටත් පෙර දරුවාගේ උප්පැන්න සහතිකය ලිවීමට සුදුසු කොළඹ නගරයේ ලිපිනයකි. වර්තමානයේදී කොළඹ ජනප්‍රිය පාසල් ආසන්නයේ ඇති බොහෝ නිවෙස් කුලී පදනම මත ලබාදෙන්නේ ඉතාමත් වැඩි මුදලකටය. එක වසර පන්තියට තම දරුවන්ව කොළඹ කොළඹ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගත නොහැකි වුණු මව්පියන්ගේ ඊළඟ ඉලක්කය වන්නේ ශිෂ්‍යත්ව විභාගයයි.
එතැන් සිට තම දරුවන් ඇදගෙන පාසල් අධ්‍යාපනයට අමතරව මාපියෝ අමතර පන්තිවලට ළමයින් ගෙනයති. මෑතකදී ශිෂ්‍යත්ව විභාගය සඳහා දෙමළ ප්‍රශ්න දෙකක් හෝ තුනක් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර තිබුණ ද වර්තමානයේදී බොහෝ මව්පියෝ දෙමළ විෂය වෙනුවෙන් අමතර පන්තිවලටද දරුවා රැගෙන යති.
බොහෝ අම්මලා දරුවා අමතර පන්ති ගෙනගොස් දරුවා පන්තියට ඇතුළුකර ඒ අසලින් අමතර පන්තිය අවසන් වනතුරු රැඳී සිටිති. මේ නිසාම බොහෝවිට මේ කාලයේදී බොහෝ අම්මලාද ශිෂ්‍යත්වය ඉගෙන ගනිති. ශිෂ්‍යත්වලාභී අම්මලා ඕනෑතරම් මේ කාලයේදී දැකිය හැක. අම්මලාට උපදෙස් දීමට පන්ති පවත්වන ටියුෂන් ගුරුවරු ද සිටින බව පෙනේ.
මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු තැන ගැනීමට ළමුන් දෙදෙනෙකුටම හැකිවුණි. ඒ ලකුණු එකසිය අනූ නවයක් ලබා ගනිමිනි. මේ ප්‍රතිඵල අනුව පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බුමිත් මෙත්නුල් විතානගේ පළමු ස්ථානය ගත් සිසුවෙකි. ඒ ජයග්‍රහණය පිළිබඳව බුමිත්ගේ මව වන ලෝචනා වික්‍රමආරච්චි මෙසේ අදහස් දැක්වූවාය.

“බුමිත් කියන්නේ මගේ පුතා. එයා ඒ තරම් කලබල දරුවෙක් නෙමේ. එයාගේ පාඩුවේ එයා ජීවත්වෙනවා. ඉස්කෝලේදී වුණත් පුතා වැඩිය ක්‍රීඩා කටයුතුවලට නැඹුරු වුණේ නැහැ. එයා ගුරුවරු උගන්වන දේ හොඳින් අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉඳලා ආවම පුතා ගෙදරදී කරගෙන එන්න දෙන ගෙදර වැඩ තනියම කරනවා. අමාරුම තැනක් ආවොත් තමයි මගෙන් අහන්නේ. පුතා එක්ක මම ප්‍රශ්න පත්‍ර ගොඩක් සාකච්ඡා කළා. පුතා ඉගෙනීමට ගොඩක් උනන්දුයි. හැබැයි සමහර දවස්වලට පාඩම් නොකර නිදාගන්නේ. ඒ හැමවෙලේම පාඩම් කරන්න කිය කියා අපි පුතාට බලකළේ නැහැ.”
ලෝචනා අද සතුටුවෙන ආදරණීය මවකි. ශිෂ්‍යත්ව ප්‍රතිඵල එක්ක බුමිත් ඒ සතුට අම්මාට ලබාදුනි. නමුත් මොනතරම් බලාපොරොත්තු තියාගෙන සිටියද එවැනි සතුටක් ලබන්නට හැකි නොවුණ අම්මලාද වෙති. හෝමාගම පදිංචි එම්. රුවන්මලී ද එවැනි මවකි. ඇය තම දියණියගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධව අදහස් පළකළද පුවත්පතේ නම් පළ කිරීමට අකමැති විය.
“මගේ දුව මේ පාර ශිෂ්‍යත්වයට පෙනී හිටියා. දුව ගොඩක් මහන්සි වුණා. එයා වගේම අපිත් ගොඩක් මහන්සි වුණා. මගේ දුවගේ තාත්තා පෞද්ගලික ආයතයක වැඩ කළේ. ඉතින් මම තමයි දුවව පන්ති එක්කගෙන ගියේ. දුව ඇරෙනකම් මම පන්තිය ළඟ වාඩිවෙලා හිටියා. ගොඩක් අම්මලා එහෙම ඉන්නවා. කොළඹ හොඳ ඉස්කෝලෙකට හරි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට හරි දාගන්න තමයි අපි හිතාගෙන හිටියේ. ඒත් මගේ දුව ශිෂ්‍යත්වයෙන් ෆේල්. දැන් අපිට මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැහැ.”
ඇගේ කතාවෙන් ඇගේ වේදනාව කියැවේ. ඒත් නොකී බොහෝ වේදනාවක් ඒ හිතේ ගොඩගැහී ඇත. ජනප්‍රිය පාසලකට යාමට දරුවාටත් වඩා අම්මලාට උවමනාව තිබුණි. නමුත් අද ඒ බලාපොරොත්තු ඉටු වී නැත.
ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය ගත් කුලකුලසූරිය සනුජ දීමත් පෙරේරා ඉගෙනුම ලබන්නේ වේයන්ගොඩ ශාන්ත මරියා මහ විද්‍යාලයේය. සනුජ ද ලකුණු එකසිය අනූ නවයක් ලබමින් ලංකාවේ පළමු තැන ලබා ගත්තේය.
“මගේ සනුජ පුංචි කාලේ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි. වේයන්ගොඩ ශාන්ත මරියා මහ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයම දරුවන්ට හොඳට ඉගැන්වූවා. පුතා තුන වසරේ ඉඳන්ම පන්තියේ පළමුවැනියා. එයා කනිෂ්ඨ අංශයේ පාසල් ශිෂ්‍ය නායකයෙක්ද වෙනවා. පුතාගේ ඉගෙනීම්වලට මම උදව් වුණා. දන්නේ නැති දේවල් එයා ආයෙමත් ගුරුවරුන්ගෙන් පවා අහගත්තා. එයාට ඕනවුණා කොහොම හරි මේ විභාගයෙන් හොඳින්ම ජයගන්න. විභාගය ලියල ඉවර වුණ දවසේත් පුතා කිව්වේ “අම්මේ මම හොඳට විභාගය ලිව්වා” කියලයි. ඇත්තටම පුතා වෙච්චි මහන්සියේ ප්‍රතිඵල අද ලැබුණා. මට මගේ පුතා ගැන හරි ආඩම්බරයි...” යැයි සනුජගේ මව ආර්.පී. නිර්මලා පැවැසුවාය.
චමෝද්‍ය දිනෙත් රත්නායක ද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තවත් සිසුවෙකි. ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අසූ එකක් ලබාගත්තේය. ඉහළින්ම සමත් වූ චමෝද්‍ය විභාගයට මුහුණ දුන්නේ අතේ ඇඟිලි නැතිවමය. ඒ පිළිබඳව චමෝද්‍ය ගේ මව වූ දේවිකා සඳමාලි මෙසේ ප්‍රකාශ කළාය.
“මගේ පුතාගේ අතේ උත්පත්තියෙන්ම ඇඟිලි නැහැ. නමුත් පුතාට ඒක ගැටලුවක් වුණේ නැහැ. පුතාගේ තාත්තා මාළු ලෑල්ලක තමයි වැඩකළේ. ගොඩක් වෙලාවට පුතාගේ තාත්තා ගෙදර එන්නේ රෑ වෙලා. ඒ එනකන් පුතා සමහරදාට පාඩම් කරනවා. පුතා ඉගෙන ගන්නේ ඉබ්බාගමුව කිරිබමුණ කනිෂ්ඨ විද්‍යාලයේ. මට පුළුවන් විදිහට පුතාට එයාගේ අධ්‍යාපනයට උදව් කළා. ඇත්තටම පුතා ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. අපේ පුතා අපේ හීන හැබෑ කළා. මට ඒක වෙලාවකට හිතාගන්නවත් බැහැ...”
එලෙස දෙමව්පියන්ගේ හීන හැබෑ කළත් පුංචි ගයේෂාට සිදුවූයේ ඇස්වල කඳුළු පුරෝගෙන අම්මාගේ අතේ එල්ලෙන්නටය. ගුරුවරුන්ගේ බලාපොරොත්තු එක්ක ශිෂ්‍යත්ව විභාගයට බද්දේගම ප්‍රදේශයේ ගමේ පාසලකට ගිය ගයේෂාගේ ලොකුම හීනය වූයේ ගාල්ලේ ජනප්‍රිය බාලිකාවකට ඇතුළත් වන්නටය.
“අපි හරි දුප්පත්. ආර්ථික අපහසුතා ගොඩක් තිබුණා. ඒ හැම එකක්ම මගේ දූ දන්නවා. එයා ඉගෙන ගන්න දක්ෂයි. තේ දළු නෙළලා තමයි දුවලා දෙන්නයි මමයි ජීවත් වෙන්නේ. මම එච්චර ඉගෙන ගත්තේ නැහැ. ඉස්කෝලේ ඇරිලා දුව ඇවිත් පාඩම් වැඩ කරනවා. අමතර පන්ති කියලා ගියේ නැහැ. ශිෂ්‍යත්ව විභාගයෙන් දුව අසමත් වෙලා දුව අඬාගෙන ඇවිත් මට කිව්වා. මොනව කරන්නද? දැන් ඉතින් දිගටම ගමේ ඉස්කෝලෙටම යනවා.”
ගයේෂාගේ මව වන පී. නන්දා දුවගේ අසමත්වීම ගැන එසේ පැවසුවාය.
ලක්ඛික වසත් විජේවර්ධන ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුවෙකි. ලක්ඛික මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අසූ දෙකක් ලබා ගත්තේය. ඔහුගේ මව ගුරුවරියකි. තම ආදරණීය වැඩිමහල් පුතණුවන්ගේ ජයග්‍රහණය ගැන ලක්ඛිකගේ මව වන හෙලන්ති මුහන්දිරම් මෙසේ අදහස් දැක්වූවාය.
“ලක්ඛික කියන්නේ මගේ වැඩිමහල් පුතා. පුතා පුංචි කාලේ ඉඳන් බුද්ධිමත් දරුවෙක්. අවුරුදු දෙකේ තුනේ ඉඳන් පුතා අකුරු හඳුනාගෙන තනියම කියවන්න උත්සාහ කළා. ඒ නිසා අපි එයාට උදව් කළා. පුංචි කාලේ ඉඳන් පුතා හරියට පොත්පත් කියෙව්වා. ඉස්කෝලේ ගියාම සතියකට දවස් තුන හතරක් පාසලේම හවස් වෙනකම් නොමිලේ පන්ති තිබුණා. ඒ හැරුණාම ගෙදරත් එක අමතර පන්තියක් කළා. දොම්පේ පාසලෙන් දරුවාගේ ඉගෙනීමට ලොකු හයියක් දුන්නා. ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ පුතා කළා. කවදාවත් අපි ගෙදරදී ප්‍රශ්න පත්‍ර කට්ටල කළේ නැහැ. හැබැයි පුතා පරිසරය පොත්, පුරාවිද්‍යා පොත් බොහෝ කියෙව්වා. රූපවාහිනිය බැලුවා. මල්ලිලා එක්ක හොඳට සෙල්ලම් කරලා උපරිම නිදහසේ හිටියා. පුතා මුල ඉඳන්ම පන්තියේ හොඳම ලකුණු ගත්තා. ඒ නිසා අපි දිගින් දිගටම පුතාට වද දුන්නේ නැහැ.” යැයි හෙලන්ති පැවසීය.
අවසානයේදී ලක්ඛික ද ශිෂ්‍යත්වයෙන් හොඳ ප්‍රතිඵල ගත්තේය. බුමිත්, සනුජ, ලක්ඛික වැනි දරුවන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිසාම අද සතුටු වෙද්දී තව දරු පිරිසක් විභාගයෙන් අසමත් වීමෙන් දුක් වෙති. මෙය සෑම වසරකදීම සිදුවන සිදුවීමකි. දරුවන්ගේ අම්මලාගේ විභාගය වන ශිෂ්‍යත්ව විභාගයට ලබන වසරේදීද තවත් පිරිසක් මුහුණ දෙති. ඒ වෙනුවෙන් මේ අවුරුද්දේ සිටම අම්මලා දරුවන් ඇදගෙන අමතර පන්ති යති. ශිෂ්‍යත්වය යනු දරුවන් ලියන, අම්මලා ඉගෙනගන්නා වසරක් පාසා තියෙනා විභාගයකි.
►දිශානි ජයමාලි කරුණාරත්න
(පසුබිම් වාර්තා: වැල්ලව ශිවා බණ්ඩාර)