2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

බොරුවට ගහන නෝ පාකිං බෝඩ්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

නීති විරෝධී, වලංගු නැති සහ අසම්පූර්ණ නැවැත්වීම තහනම් (No parking) දැන්වීම් පුවරු මෝටර් රථ රියැදුරන් මහත් අපහසුතාවයට ඇද දමා ඇත. මේ ඇතැම් පුවරු ලබාදෙන තොරතුරු අසම්පූර්ණය. පැහැදිලි නැත. එම දැන්වීම් ක්‍රියාත්මක වන දුර ප්‍රමාණය හෝ තහනම් වන සීමාව මෙවැනි පුවරුවල දකින්නට නොමැත. එසේම බොහොමයක් පුවරුවල එවැනි පුවරුවක තිබිය යුතු රථවාහන මාර්ග රීති රෙගුලාසි සඳහන් ගැසට් පත්‍රයට අනුව සකස් නොවීම හේතුවෙන් වලංගු භාවයක් නැත.


එසේම අදාළ ප්‍රාදේශීය අධිකාරියේ දැනුවත්භාවය හෝ අනුමැතිය හෝ නොමැතිව සකස් කිරීම හේතුවෙන්ද එවැනි පුවරු නීති විරෝධී වශයෙන් සැලකේ.

මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව No parking පුවරු නිකුත් කිරීම සඳහා නිසි බලධාරීත්වය හිමිවන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන අධිකාරියට යැයි හිටපු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ටී. පෙරිම්පනායගම් මහතා පවසයි. ඔහු මාර්ග නීති සම්බන්ධ ගැටලුවලදී රජයේ ප්‍රධාන උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරයි.

මෙවැනි සංඥා පුවරුවල සඳහන් විය යුතු වචන වන්නේ මීට අණ පරිදි By order.... යනුවෙනි. අනුමැතිය ලබාදුන් අධිකාරියේ නාමය ඒ සංඥා පුවරුවේ පිටුපස සඳහන් විය යුතුය. තාවකාලික නැවැත්වීමේ තහනම් සංඥා පුවරු පිහිටුවීම සඳහා පොලීසියට අවසරය ලබාදී ඇත්තේ පාපැදි සවාරි, පෙරහර, මහජන රැළි සහ පෙළපාලි සම්බන්ධයෙන් පමණි. අදාළ ඉසව් අවසන් වූ වහාම එම පුවරු ඉවත් කළ යුතුය. මේ සංඥා පුවරුවල සහකාර පොලිස් අධිකාරීවරයකුගේ (ASP) හෝ ඉන් ඉහළ පොලිස් නිලධාරියකුගේ අනුමැතිය තිබිය යුතුයි යැයි පෙරිම්පනායගම් මහතා පැවසීය.

සිදුවිය යුත්තේ එසේ වුවද රථවාහන පොලීසියේ අණ පරිදි වශයෙන් සඳහන් සංඥා පුවරු සාප්පු, කාර්යාල සහ වෙනත් ගොඩනැගිලි ඉදිරිපිට කාලසීමාවක් සඳහන් නොවන පුවරු පවතින බව දැකගන්නට ලැබුණි. මෙය නීති විරෝධීය. මෙවැනි දැන්වීම් පුවරැවල දැන්වීමට පහළින් කිසියම් සමාගමක නමක් දැන්වීමක් වශයෙන් පළවීමද දැකිය හැක. මෙය මෝටර් රථවාහන ආඥා පනතේ 224 වගන්තිය යටතේ එම පුවරු අවලංගුභාවයට පත්වීමකි.

පුවරුවකට එවැනි සමාගමක නමක් යෙදිය හැක්කේ එය ලාභ උපයන්නේ නැති සංවිධානයක් නම් පමණි.

මාර්ග ආරක්ෂාව සහ රථවාහන පරිපාලනය පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ සඳහන් කරනුයේ කිසිම අධිකාරියක නමක් සඳහන් නොවන නීති විරෝධී සංඥා පුවරැ පවතින බවය. මෙවැනි නීති විරෝධී සංඥා පුවරැ පිළිබඳව සොයා බලා ඒවා ඉවත් කිරීම ඒ අදාළ ප්‍රදේශය බාර පොලීසි‍යේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

ගොඩනැගිලි ඉදිරිපිට ඇති සහකාර පොලිස් අධිකාරී අණ පරිදි වශයෙන් සඳහන් වන සංඥා පුවරැ සම්බන්ධවද සොයා බලා ඒවා එම නිලධාරීන්ගේ අවසරය ඇතිව යොදාගත් සංඥා පුවරුද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමක් කළ යුතු බවද ඔහු කියයි.
සමහර පුද්ගලයන් පොලීසියේ කිසිම දැනුවත්භාවයකින් තොරව මෙවැනි පුවරු සවිකරනවා. මේවා සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මෙවැනි පුවරු සවිවූයේ කෙසේද යන්න සොයා බැලීම අදාළ ප්‍රදේශයේ පොලීසියට පැවරෙනවා.. හපුගොඩ මහතා පැවසීය.

ඔහු තවදුරටත් පවසන්නේ තාවකාලික වශයෙන් යොදන සංඥා පුවරු ස්ථිර වශයෙන් යෙදීමට පොලීසියට අවශ්‍ය වුවහොත් ප්‍රදේශයේ රථවාහන කමිටුව සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කළ යුතු බවය. එම කමිටුව අදාළ මාර්ගය අයත්වන අධිකාරිය නියෝජනය කරයි. එම අධිකාරියට තාවකාලික අණක් ස්ථිර අණක් බවට පත්කළ හැක. 19 වැනි වගන්තියට අනුව මෙවැනි නාමපුවරැවක් නොමැති ස්ථානයක වුවද වාහන නැවැත්වීම වැළැක්වීමට පොලීසියට බලය පවතී. 

කිසියම් ස්ථානයක වාහන නවතා තැබීමෙන් රථවාහන ගමනාගමනයට බාධාවක් හෝ සෙසු රියැදුරන් අපහසුතාවයට ලක්වන්නේ නම් පොලිස් නිලධාරීන්ට ඒවා වැළැක්විය හැකියි. හපුගොඩ මහතා පැවසීය.

අසම්පූර්ණ තොරතුරු රැගත් සංඥා පුවරු ගැටලු ඇතිකරයි. මීට පෙර ගමන් කළ යුතු දිශාව සහ නිශ්චිත කාලසීමාවක් සඳහන් නොවුණු පුවරු අවලංගු පුවරු ලෙස හැඳින්විය. නමුත් 2015 වසරේ දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව එවැනි දැනුවත් කිරීමක් නොමැති පුවරැ වුවද වලංගු බව සඳහන් කර තිබුණි.

පෞද්ගලික මාර්ගවල No parking පුවරැ තැබීමට වුවද අදාළ ප්‍රදේශයේ බල අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතු බවද පෙරිම්පනායගම් මහතා පැවසීය. එවැනි පුවරු මෙන්ම No parking සලකුණ නොමැතිව රථවාහන කෝන් තැබීමද නීති විරෝධී යැයි ඒ මහතා සඳහන් කරයි.

The Sunday times හි
පළවූ ලිපියක් ඇසුරෙනි. 

 දිශානි ජයමාලි කරුණාරත්න