
හිටිහැටියේ කාලගුණය වෙනස් වී පසුගිය සතියේ මහවැසි ඇද හැලෙන්නට විය. ආපදාවන් අනතුරු මරණ දිවයිනේ නන්දෙසින් වාර්තා වන්නට පටන් ගැනුණි. එහෙත් මීට සති කිහිපයකට පෙර රටේ බොහෝදෙනා කතාකරමින් සිටියේ නියඟය ගැන හා පෑවිල්ල ගැනය. ලෝකයේ කාලගුණය සම්බන්ධවද විවිධ අනපේක්ෂිත තොරතුරු වාර්තා විය. සූනාමි, සුළි කුණාටු, ගංවතුර ආදිය ඒ අතරින් කිහිපයකි. මෙම ලෝක කාලගුණ විපර්යාසයට හේතුව කුමක්ද? එය එක් විශේෂිත හේතුවක් නිසාවෙන් සිදුවූවක්ද? නැතිනම් සාමාන්‍ය කාලගුණයේ හැසිරීමේ ප්‍රතිඵලයක්ද? අප විමසා බලමු.
මෙරට ප්‍රකට තාරාකා විද්‍යාඥයකු වන අනුර සී. පෙරේරා මහතා සිදුවෙමින් පවතින කාලගුණ විපර්යාස පිළිබඳව වෙනස්ම මතයක් ජනතාවට ඉදිරිපත් කරන ලදී. ඊට අනුව කියවුණේ මේ දිනවල සිදුව ඇති කාලගුණ වෙනසට හේතුව ඉහළ අහසේ දිස්වෙන ග්‍රහයින් පස් දෙනෙකුගේ පෙළගැස්ම බවය. අප ඒ පිළිබඳව දැනගැනීමට ඒ මහතා විමසුවෙමු. අනුර සී. පෙරේරා මහතා මෙම මතය පළ කරන්නේ 1980 දශකයේ ඒ මහතා සිදුකරනු ලබන පරීක්ෂණයකට අනුවය.
“කාලගුණය වෙනස් වෙන්න හේතුවන මූලික කරුණු කිහිපයක් තියෙනවා. පෘතුවි වායුගෝලයේ ආර්ද්‍රතාව, වායුපීඩනය වගේම උෂ්ණත්වයත් ඊට බලපානවා. ඊට අමතරව සූර්යයා මතුපිටින් ඈත අවකාශයට විහිදී යන සූර්ය සුළං. මේ සූර්ය සුළං කියන්නේ විද්‍යුත් ආරෝපණය ලැබූ සූර්යයාගෙන් නිකුත්වන අණු සහ පරමාණු අංශු. ඊට අමතරව ග්‍රහලෝකවලිනුත් නිකුත් කරනවා තරංග. ඒ තරංග තමයි ගුරුත්ව තරංග. මේවා අපේ පොළොව වටේ තියෙන වෑන් ඇලන් විකිරණ වළලු දෙක කෙරෙහි බලපානවා. පෙර කිව්ව සූර්ය සුළං ගුරැත්ව තරංග එහිදී ආරෝපණයක් කෙරෙනවා. මේ කාරණාව අපේ ඉහළ වායුගෝලයට බලපානවා. ඒ හරහා අපේ පහළ වායුගෝලයේ කැළඹීම් ඇති කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි කාලගුණය හිටිහැටියේ වෙනස්වෙලා මහා විශාල විපර්යාස ඇති කරන්නේ.”
අනුර සී. පෙරේරා මහතාට අනුව පියවි ඇසට පෙනෙන බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති සෙනසුරු මේ දිනවල ක්‍රමයෙන් රාශීන් දෙකක් අතරට පැමිණ ඇත. ඒවායින් ඇතිවන තරංග බලපෑම කාලගුණයේ වෙනසට හේතුවී තිබේ. මේ සඳහා ඒ මහතා නිදර්ශනයක් ඉදිරිපත් කරයි. වඩදිය බාදිය ඇතිවන්නේ සඳේ බලපෑම මතය. සූර්යයා සහ සඳ එක එල්ලේ පිහිටීමෙන් මහා වඩදිය හා මහා බාදිය ඇතිවෙයි. ඒ අනුව ග්‍රහයින් එකට ළංවීම හරහාද පෘතුවිය කාලගුණයේ වෙනසක් ඇතිවෙන බව අවබෝධ කරගැනීම හැකිය. අනුර සී. පෙරේරා මහතා මෙම පරීක්ෂණට සිදුකර ඇත්තේ ඒ අනුවය. ඔහු පවසන පරිදි මීට පෙර අවස්ථාවලදීද කාලගුණ විපර්යාස පිළිබඳව ඔහු විසින් අනාවැකි පළකර ඒවා යථාර්ථයක් බවට පත්ව තිබේ.
මෙම පැහැදිලි කිරීම ජනතාව තුළ තරමක් විශ්මය දනවන්නක් වූ බව පසුගිය සතිය තුළදී අපට වැටහින. එක් පසෙකින් එය අරුමයක් නොවේ. කාලගුණය මානවයා බිහිවූ මුල් යුගයේ පටන් මිනිසා තුළ ඇතිකරනු ලැබුවේ විශ්මයක් බියක් සහ කුතුහලයකි. ඒ නිසාම කාලගුණය ගුප්ත ලෙස අර්ථකථනය කරගත් අවස්ථා ඉතිහාසය පුරා හමුවේ. අකුණු වැසි, සුළි කුණාටු, භූ කම්පන ආදිය දෙවියන් හෝ වෙනත් බලවේග මගින් අතිකරන බවට එදා විශ්වාසයන් ගොඩනැගුණේ එබැවිනි.
අනුර සී. පෙරේරා මහතා ඉදිරිපත් කරන තාරකා විද්‍යාත්මක මතය අපට නුහුරු වුවත් ජ්‍යෝතීර්වේදීන්ගේ කාලගුණ අනාවැකි ලාංකිකයන්ට හොඳහැටි හුරුය. ඒවාද ග්‍රහ තාරකා ඇසුරින් ඉදිරිපත් වන බව සත්‍යයකි. මේ මත දෙක අතර අන්තර් සම්බන්ධයක් පවතිනවාය යන්න සාධනය කිරීමට අපි උත්සුක නොවෙමු. මන්ද බටහිර තාරකා විද්‍යාව හා පෙරදිග තාරකා විද්‍යාව අතර එකින් එකට නොපෑහෙන ඉගැන්වීම් බොහෝමයක් වන නිසාවෙනි. එහෙත් සම්බන්ධයක් නොතිබේ යැයිද අපි නොකියමු.
මෙම කාලගුණ විපර්යාසයන්ට ග්‍රහයන්ගේ බලපෑමක් සිදුවූයේද කියා දැනගැනීමට අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇමතුවෙමු. එහිදී අප සමඟ සම්බන්ධ වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවේ දැනට කාලගුණ අනාවැකිකරණයට ග්‍රහලෝක සම්බන්ධ කර නොගන්නා බවයි. අන්තර්ජාතික තොරතුරු විමසා බලා එම තොරතුරුද උපයෝගී කරගනිමින් වර්තමානයේදී මෙරට කාලගුණ අනාවැකි නිකුත් කරනු ලබයි. එහෙත් ඒවාට තවමත් ග්‍රහලෝක තාරකා පරාමිතියක් නොවන බව අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කරයි.
පසුගිය අටවනදා බෙංගාල බොක්කේ නැගෙනහිර පැත්තෙන් මතු වූ කැළඹිලි තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී බෙංගාල බොක්කේ ඉහළට ගොස් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙන් ඇතුළු වී තිබේ. එයින් සෘජු බලපෑමක් මෙරටට නොවූවත් වක්‍ර බලපෑමක් එල්ල විය. ලංකාව හරහා සුළං හමායාම ඊට හේතුවයි. මේ ආදී සාධක කිහිපයක් ගෙවුණු සතියේ වර්ෂා අධික කාලගුණ තත්ත්වයට හේතුවිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවසන විද්‍යාත්මක අති සංකීර්ණ කාරණාවන් සරලව පහදා ගත්විට පසුගිය කාලගුණ විපර්යාසයට අපට පිළිතුර ලෙස ලැබෙන්නේ එයයි.
මීළඟට ඔබට නැගෙන ප්‍රශ්නය වනුයේ ලෝකයේ නන්දෙසින් වාර්තා වූ කාලගුණික විපර්යාසය අතර සම්බන්ධයක් පවතිනවාද යන්නයි. අනුර සී. පෙරේරා මහතා මතුකරන කාරණාවට අනුව නම් එය එසේය. කාලගුණ විද්‍යාත්මකවද ඒ සියල්ල අතර සම්බන්ධයක් ඇත. කාලගුණය හරහා සිදුවන්නේ සමකය ආසන්නයේ ගොනු වන ශක්තිය කළමනාකරණය කිරීමයි. ඒ අනුව හිරුගෙන් ලැබෙන ශක්තිය ලෝකය තුළ පාලනයකින් යුතුව හසුරුවන්නේ කාලගුණය මගිනි. එසේ නම් ලොව නන් දෙසින් වාර්තාවන සිදුවීම් අතර යම් සබඳතාවක් පවතින බව පැහැදිලි වෙයි. එහෙත් නැවත අප අවධාරණය කළයුත්තේ තවමත් ග්‍රහ තාරකා ඇසුරින් කාලගුණ අනාවැකි කීම විධිමත්ව ලෝකයේ අරඹා නොමැති බවයි. ඒ පිළිබඳව විවිධ පරීක්ෂණ ලෝකයේ සිදුවන බව කියවේ.
ඉන්දුනීසියාවට බලපෑ භූමිකම්පාව හා සුනාමි තත්ත්වය ඇසුරින්ද යමක් පැහැදිලි කරගත හැකිය. ග්‍රහ තාරකා බලපෑම මෙන්ම භූකම්පනවල බලපෑමද කාලගුණ විපර්යාසවලට හේතුවන බව කියවෙයි. එහෙත් එය පරීක්ෂණවලින් සනාථ කර ඒ හරහා අනාවැකි කීමට ලෝකය තවම සූදානම් නැත. එහෙත් ග්‍රහ තාරකාවල බලපෑම මෙන්ම භූ කම්පන බලපෑමෙන්ද කාලගුණික වෙනස්කම් සිදුනොවන බවට මේ දක්වා සෘජු මතයක් ද නැත. ඊය හේතුව තවමත් ස්වභාවධර්මයේ නියමයන් පිළිබඳව මිනිසා නිරීක්ෂණ පරීක්ෂණ කරනවා මිසක සම්පූර්ණ අවබෝධක් ලබා නොතිබීමයි.
සමස්ත ලෝකයම විවිධ ශක්තීන් මත රඳා පවතින බවත්, ඒවායේ වෙනස්කම් මත බොහෝ දෑ සිදුවන බවත් නූතන ලෝකය පිළිගනිමින් සිටී. එනිසාම ඉදිරිපත් වන මත හා සංකල්ප විචාරාත්මකව භාරගැනීම ජනතාවගේ පාර්ශ්වයෙන් වඩාත් සුදුසු යැයි අවසානයේ අපි සටහන් කර තබමු.
චමිඳු නිසල් ද සිල්වා