2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ආවා කල්ලියට තමිල්නාඩුව කිරිපොවයි?

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

යාපනය කේන්ද්‍ර කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත ආවා කල්ලිය පසුපස යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මකදැයි පැහැදිලි නැත. මේ වසරේ අද දක්වා උතුරු පළාතේ ආවා කල්ලියට සම්බන්ධ සිදුවීම් 21ක් වාර්තා වූ පසුබිමක තහවුරු නොකළ ආරංචි මාර්ග වාර්තා කරන්නේ තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලන කණ්ඩායමක සහාය ඇතිව ආවා කල්ලියට ඉන්දියාවේදී අවි පුහුණුව ලබාදෙන බවකි. ඊට අදාළ බව කියන ඇතැම් ඡායාරූප මාධ්‍ය වෙත ලැබී තිබේ.

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව හෝ ප්‍රාන්ත ආණ්ඩු මේ තත්ත්වය නොදන්නවා විය හැකිය. මේ සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු වාර්තා වූ පළමු අවස්ථාව මෙය බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීම ඉන්දීය ආරක්ෂක අංශවල ප්‍රමුඛ වගකීමකි.
ප්‍රචණ්ඩකාරී සංවිධාන මගින් උතුරේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර කෙරේ නම් එය මෙරටට බාධාවක් මෙන්ම ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයටද ගැටලුවකි. ඊට ඇවැසි සාක්ෂි සාධක රැසක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ අතීත ක්‍රියාකාරකම් වලින් හමුවේ. එවකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සුරතල් කරමින් පෝෂණය කළ ඉන්දියාව ඊට අවසානයේ වන්දි ගෙවූයේද එරට අගමැතිවරයකු වූ රජීව් ගාන්ධිගේ ජීවිතය බිලිදීමෙනි. එවැනි ඉතිහාසයක් මතක ඇති ඉන්දීය රජය ප්‍රමුඛ ආරක්ෂක අංශ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යය. දිගින් දිගටම උතුරේ සිදුකෙරෙන ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා අකටයුතුකම් බැරවන්නේ ආවා කල්ලිය වෙතය. වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ එවැනි ක්‍රියාකාරකම් ගණන 21කි. එම සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරැවන් ප්‍රමාණය 57 දෙනෙකි. සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇතත් ඇප මත නිදහස් වූ ගණන 49කි. පිරිස අතරින් තවමත් 8 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.

වාර්තා වී තිබෙන අපරාධ සිද්ධි 21 අධ්‍යයනය කිරීමේදී මිනීමැරැම් හෝ බරපතළ ගණයේ අපරාධ වාර්තා නොවන බවත් දේපල අලාභහානි කිරීම් හා තුවාල සිදුකිරීම් වැනි සාමාන්‍ය අපරාධ සිද්ධීන් බහුල බව පොලීසිය වාර්තා කරයි. වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන පොලීසිය පවසන්නේ ආවා කල්ලිය පසුපස තරැණ වියේ ගැටවරයන් පිරිසකගෙන් සමන්විත බවය.

යාපනය දිස්ත්‍රික්කයේ කොකුවිල් සහ ඉනුවිල් ප්‍රදේශ වැඩිම තරුණ පිරිසක් ජීවත්වන ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම ප්‍රදේශ මූලික කරගෙන ආවා කල්ලියේ ක්‍රියාකාරකම් බහුලව සිදුවෙමින් පවතී. මේ කාරණය සමඟ ඉකුත්ව ගිය අතීතය සැසඳිය යුතුය. 1970 වසරේදී ප්‍රභාකරන් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ලංගම බස් රථයකට ගිනිතබා තිබුණි. අනතුරැව බැංකු කොල්ලකෑම, රාජ්‍ය දේපලවලට හානි කිරීම ප්‍රභාකරන් ඇතුළු කල්ලියේ මුල් ආරම්භය විය. ප්‍රභාකරන් මිතුරන් පිරිස එක්ව කුඩා ප්‍රමාණයේ බෝම්බ සාදා තිබුණේ 1972 වසරේදීය. අතපසුවීමකින් එකක් පුපුරා යාමෙන් ඔහුගේ දකුණු කකුල පිළිස්සී කළු පැහැ වී ගියේය. ඉන්පසුව ඔහු කරිකාලන් (කළු පාද ඇති මිනිසා) නමින් ප්‍රසිද්ධ විය.

මේ අතර කාලයේ සිදුවීම් රැසකට පාර කපන ප්‍රභාකරන් මූලික වී 1975 වසරේ ජූලි 27 වැනිදා යාපනය නගරාධිපතිව සිටි දොරේ අප්පා ඝාතනය කළේය. තවත් වසරක් ගතවූ පසුව 1976 මැයි 5 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහිකිරීමට ප්‍රභාකරන්, උමා මහේෂ්වරන් ඇතුළු එවකට තරුණ පිරිසක් ක්‍රියාකර තිබුණි. මේ අනුව යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කිරීමේ වගකීම එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් බාරගෙන තිබුණේ 1978 වර්ෂයේදීය.

ඒ පළමු වතාවට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමිනි. පසු කලෙක අනාවරණය වී ඇත්තේ එම ප්‍රවෘත්ති නිවේදනය එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය දැරූ අමිර්තලිංගම් මහතාගේ කාර්යාලයේ සිට යතුරැලියනය කර සැකසූ බවය. එවකට තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් ගොඩනැංවුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරටට දශක තුනක කුරිරු යුද්ධයක් දායාද කළේය. එහි මුල් අවදියේ එතරම් ගැටලුකාරී ස්වභාවයක් පෙන්නුම් නොකළද අවසානයේ ඇතිව තිබුණේ ජාතික ගැටලුවකි. වර්තමානයේ තරුණ පිරිසක් විසින් ගොඩනංවන ආවා කල්ලිය එසේ වනු ඇතැයි කිව නොහැකි වුවද නිදහසේ සිය ප්‍රචණ්ඩත්වය හසුරුවන්නට ඉඩදී බලා සිටීම හෙට දවසේ අමිහිරි අත්දැකීමක් උරැම කිරීමක්ද යන්න ගැන මහජනතාව සැකපහළ කරනු ඇත. එය ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකෙක් කනාමැදිරි එළියට බියවීම හා සමානය.

දැනට වාර්තාවන ආවා කල්ලියේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පොලීසියට හෝ ආරක්ෂක අංශවලට අතසෝදා ගැනීමට හැකියාවක් නැත. එහෙත් තවමත් පොලීසිය පවසන්නේ මෙකී සිදුවීම් සියල්ල සුළු සිද්ධීන් බවය. එසේ නමුත් ඉකුත් දිනෙක යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කර තිබුණේ යාපනයේ ක්‍රියාත්මක වෙමින් ඇති ආවා ඇතුළු මැර කණ්ඩායම් මැඩපැවැත්වීමට රජයෙන් අවසර ලැබේ නම් යුද හමුදාවට ඊට දින දෙකක් ප්‍රමාණවත් බවය. එසේ වුවද උතුරැ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසන්නේ යාපනය ප්‍රදේශය ආශ්‍රිතව මිනීමැරුම් හෝ බරපතළ ගණයේ අපරාධ වාර්තා නොවූ බවත් සාමාන්‍ය අපරාධ සිද්ධි 21 වාර්තා වී තිබෙන බවත්ය. ඊට එරෙහිව පොලීසිය සාර්ථකව මුහුණ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියාකර ඇති බවය.

උතුරු පළාතේ ස්ථාපිත පොලිස් කොට්ඨාස 53කි. ඉන් යාපනය කෝපායි, චුන්නාකම් සහ මනිපායි යන පොලිස් වසම්වලට අයත් ප්‍රදේශවල පමණක් ආවා කල්ලියට අදාළ සිදුවීම් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. මේ අතුරින් වැඩිපුර තරුණ පිරිසක් ගැවසෙන යාපනය පොලිස් වසමේ කොකුවිල් සහ චුන්නාකම් පොලිස් වසමේ ඉනුවිල් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අපරාධ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ආවා කල්ලියේ ප්‍රචණ්ඩත්වකාරී ක්‍රියාවන්ට එරෙහිව පොලීසියට අනුබද්ධිත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවාව හා විශේෂ කාර්යාංශ ඒකකයන්හි සහය ලැබෙන බවත් අවශ්‍ය විටෙක විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගත හැකි බවද පොලීසිය සඳහන් කරයි.

දින කීපයකට ඉහතදී වව්නියාව ප්‍රදේශයේදී ආවා අපි ඔබ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක - අපට දන්වන්න යැයි පැවසෙන වැකියක් සහිත දෙමළ බසින් මුද්‍රිත අත් පත්‍රිකාවක් බෙදාහැර තිබුණි. ස්ථාන තුනකදී පත්‍රිකා 11ක් බෙදාහැර ඇති බවට වාර්තා විය. මේ සම්බන්ධයෙන් උතුරැ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එය ආවා කල්ලියට සම්බන්ධයක් නැති බව විශ්වාස කරන බවත් වෙනත් පාර්ශ්වයක වුවමනාවට සිදුකළ එකක් යැයි සිතන බවත්ය. කෙසේ වෙතත් ඒ පිළිබඳව බුද්ධි අංශ විමර්ශනයක් සිදුකෙරෙන බවද කීය.

පෙර සඳහන් කළ පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගී සිටීමට එවකට දේශපාලන අධිකාරියේ සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල නොසලකා හැරීම ප්‍රධාන හේතුවකි. එහි ප්‍රතිඵලය තිස් වසරක කුරිරැ යුද්ධයකට ඇද දමා රට අරාජික වීමය. එහි බිහිසුණු මතකය හා අත්දැකීම තවමත් මේ රටේ ජනතාවට තිගැස්මක් ඇති කරවන අමිහිරි මතකයකි. එබැවින් ආවා කල්ලියේ පවතින ප්‍රචණ්ඩත්වයට තවදුරටත් ඉඩදිය යුතු නැත. පොලීසිය, බුද්ධි අංශ, යුද හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශවල මෙන්ම වාර්තමාන දේශපාලන අධිකාරියේද ප්‍රමුඛ අවධානය මේ සඳහා යොමුකළ යුතු බව අවධාරණය කරමු.

මේක ත්‍රස්තවාදයක් නොවෙයි

රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර

උතුරු පළාතේ ත්‍රස්තවාදයක් නෑ. ඒ නිසා හමුදාව යෙදවීමට අවශ්‍යතාවයක් නෑ. මිනීමැරීමේ සිදුවීම් නෑ. යම් යම් සිදුවීම් පොලීසිය විසින් පාලනය කරලා සාමකාමීව පවත්වාගෙන යනවා. අදාළ සිදුවීම්වල විත්තිකරැවන් අධිකරණයට යොමුකරලා තිබෙනවා. දැන් අලුත්ම තත්ත්වය තමයි ආවා කල්ලිය කණ්ඩායම්වලට කැඩිලා ඔවුන්ම ගහ ගැනීම. මම නිලධාරීන්ගෙන් මුලින්ම ඇහුවා ආවා කල්ලිය නිසා ජීවිත හානි කීයක් වුණාද කියලා. එකක්වත් නොවූ බවයි මට පැවසුවේ. දකුණු ඉන්දීය චිත්‍රපට බලපු තරුණයන්ගේ නොමනා හැසිරීම නිසා මේ සිදුවීම් වෙනවා කියලයි වාර්තා වෙන්නේ. පොලීසියේ නිලධාරීන්ගේ මතයත් එයයි. නමුත් මේ සිද්ධි පිළිබඳ සුළුවට තකන්නේ නෑ. සුපරික්ෂාවෙන් ඉන්නවා. උතුරේ පොලීසිය වගේම හමුදාවත් සීරුවෙන් ඉන්නවා.

උතුරේ අපරාධ විසඳීමේ ප්‍රගතිය ඉහළයි

උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු

ආවා කල්ලියේ ක්‍රියාකාරකම්වලට එරෙහිව පොලීසිය මේ වනතෙක් සාර්ථකව මූණදීලා තියෙනවා. 2018 වසරේ මේ දක්වාම උතුරේ මිනීමැරැම් දෙකයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ දෙකම මේ කල්ලියට සම්බන්ධ නෑ. ඒ සිද්ධි දෙකත් අපි පරීක්ෂණ පවත්වලා විසඳලා අවසන්. සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු පළාතේ අපරාධ වාර්තා වීම හා විසඳීම ලංකාවේ සෙසු පළාත් 9 එක්ක ගත්තම ඉහළ අගයක තියෙනවා. එය 2017 වර්ෂයේ 83%ක ප්‍රතිශතයක් පෙන්වනවා. මේ තත්ත්වය 2018 වසරේ මුල් මාස දහයට 77%ක මට්ටමේ තියෙනවා. මෑත කාලය තුළ උතුරේ කිසිම පොලීසියකට ප්‍රධාන ගණයේ ලා සැලකෙන මිනීමැරුම්, කොල්ලකෑම් කිසිවක් වාර්තා වෙලා නෑ. උතුරේ පැවැති යුද්ධය අවසන් වෙලා දැන් ජනතාව නිදහසේ ඉන්නවා. ඔවුන් නැගී සිටින්නට උත්සාහ ගන්නවා. රැකීරක්ෂා නොමැති අඩුපාඩුවක් දකිනවා. ඒ නිසා තරුණ පිරිස මෙවැනි ක්‍රියාවන්ට යොමුවෙනවා.

යුද සමයේ විදේශගත වූ මේ අයගේ ඥාතීන් ඉන්නවා. ඔවුන්ගේ ආධාර උපකාර මොවුන්ට ලැබෙනවා. මුදල් හොඳින් ලැබෙනවා. මේ අය කරන්නේ ඉන්දීය චිත්‍රපට නරඹලා ඒවායේ දකින දේ අත්හදා බලන එක. මේ සිදුවීම්වලට ප්‍රධාන හේතුවත් ඒක. පොලීසියේ නිලධාරීන් 6000ක් උතුරේ ඉන්නවා. අවශ්‍ය ඕනෑම මොහොතක ඔවුන් සේවයට කැපවෙනවා. ගැටුමක් හෝ අර්බුදයක් ඇත්නම් ඒ නිලධාරීන් යොදවනවා. මෙතෙක් සිදුකළ කාර්ය සාර්ථක වෙලා තියෙනවා. අවශ්‍ය කරුණු අධිකරණයට දන්වලා තිබෙනවා. මේවා ලංකාව පුරාම සිදුවෙන සාමාන්‍ය සිද්ධි. කඩු කිණිසි භාවිතය තහනම් වුණත් ඒවා භාවිතාවෙන් වාර්තා වෙලා තිබෙන්නේ සුළු තුවාල පමණයි. මේවාට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගන්නවා. අධිකරණයට යොමු කරනවා. අධිකරණ බල සීමාවෙන් ඇප ලැබෙනවා. නැවත එළියට ඇවිත් ඔවුන් මේ ක්‍රියාවල නියැලෙනවා. ඒ එකම පිරිසක්. අපට නීතිය අභිබවා යන්න බැ. අපේ සීමාවේ නියමිත නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ හැර යුද හමුදාව සමඟ අපේ මත ගැටුමක් නෑ.

මත්පැන් බොන තරුණ කල්ලියක වැඩක්

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්

විශේෂ කාර්ය බලකායේ කඳවුරු දෙකක් යාපනය පොලිස් කොට්ඨාසය තුළ තිබෙනවා. උතුරු පළාතේ කඳවුරු අටක් ස්ථාපිත කර තිබෙනවා. පොලීසියේ කාර්යභාරය නිවැරදිව ඉටුකරගෙන යාමට විශේෂ කාර්ය බළකායේ සහය නිරතුරුවම ලබාදෙනවා. ආවා කල්ලියේ සිදුවීම් අපි දකින්නේ සාමාන්‍ය සිදුවීම් හැටියට. දකුණෙත් අපේ කඳවුරු තිබෙනවා. ඒ ප්‍රදේශවලත් අපරාධ වාර්තා වෙනවා. ඒත් අවශ්‍ය විටෙක අපේ සහාය ලබාදෙනවා. විශේෂයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ආවා කල්ලිය පිළිබඳ අපි නිරීක්ෂණය කළා. ඔවුන් ප්‍රධාන වශයෙන් මත්පැන් පානයට ඇබ්බැහි වූ පිරිසක්. ඔවුන්ගෙන් දැකපු විශේෂම කරුණක් ඒ. මේ අය රටට හානියක් විදිහට දැකලා නෑ. නමුත් සාහසික ප්‍රවර්ධනයක් විදිහට දකිනවා. නමුත් එය පොලීසියේ පාලනය මත තිබෙන බව දකිනවා. 

 සමන්ත ප්‍රදීප් විල්තෙර