2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පැය ගාණකට කූඩුවට වැටුණු විජයකලා

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් පැමිණිය යුතු යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යහපාලන ආණ්ඩුවේ හිටපු කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියයි. එය ලංකා දණ්ඩනීති සංග්‍රහයේ සඳහන් වරදක් බැවින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී රුපියල් ලක්ෂ පහක ශරීරඇපයක් මත මුදාහරින්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 8 වැනිදා නියෝග කර තිබිණ.

මහේස්ත්‍රාත්වරයා විජයකලා මහත්මියට ඇප ලබාදුන්නේ පැමිණිල්ලට සම්බන්ධ විමර්ශන අවසන් වීමත්, ඇප පනතේ 14 වැනි වගන්තිය මත ඇප දීමට එරෙහි කරුණක් ඉදිරිපත් නොවීමත් නිසාය.

සිද්ධියට මූලික වූ යාපනය වීරසිංහ ශාලාවේදී ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැති පිරිසක් සහභාගි වූ රාජ්‍ය උත්සවයක් පැවැත්වුණේ ඉකුත් ජූනි 2 වැනිදාය. එදින අමාත්‍යවරිය විසින් සිදුකළ කතාවකදී ඉහත ප්‍රකාශය සිදුකර තිබුණි. ජනාධිපති ජනතා සේවය වැඩසටහනේ අටවැනි වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරිය ඉදිරිපත් කළ කතාව ආන්දෝලනාත්මකය.

ඒ පිළිබඳව ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අධිකරණයට කරුණු වාර්තා කළේය. එහිදී එම ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥාපනත, 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වැනි වගන්තිය සංශෝධනය මගින් ප්‍රකාශිත නීතිය යටතේද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 115 – 120 වගන්ති යටතේද ගැනෙන වරදක් බවට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණි. ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් 8 වැනිදා පෙරවරුවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැන්වීමේදී එහි පැමිණි මන්ත්‍රීවරියගේ ප්‍රකාශයක් සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේය. මේ සඳහා එම කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සහ එම කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ප්‍රසන්න ලියනගේ මහත්වරු අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකාර ඇමැතිනිය ඉදිරිපත් කළහ.

එහිදී පොලීසිය සඳහන් කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව නීතිපති උපදෙස් මත සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බවය. ඒ අවස්ථාවේ අධිකරණය පොලීසියෙන් විමසා තිබුණේ ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප නොදීම පිළිබඳ පොලීසියට යමක් කීමට තිබේද යන්නය. එයට පොලීසිය දක්වා තිබුණේ එවැනි හේතුවක් නොමැති බවත් අවශ්‍ය විමර්ශන අවසන් කර ඇති බවත්ය. එසේම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඉල්ලන්නේ සාම්ප්‍රදායික ඉල්ලීමක් වශයෙන් බවද කියා තිබුණි.

මෙහිදී අධිකරණය දක්වා තිබුණේ “හොඳ වෙලාවට මේ රටේ සාම්ප්‍රදායික මහේස්ත්‍රාත්වරු නැහැ. පොලීසියේ සම්ප්‍රදාය හැමකෙනාම රිමන්ඩ් කරන්න ඉල්ලන එකද? ඇපදීමට විරුද්ධයි කියලා කියන්න ඕන නෑ. එහෙම හිතන එකත් පොලීසියේ වැරැද්දක්. ඇප නොදීම සඳහා තමයි හේතු දක්වන්න ඕනෑ. ඇප නොදීම ව්‍යතිරේකයක්. ඇපදීම රීතියක්.” යනුවෙනි.

මේ සිදුවීම පිළිබඳ පැමිණිල්ල පොලිස් සහන මැදිරිව වෙත වාර්තා කර තිබුණේ සිහල රාවය ජාතික ව්‍යාපාරයේ සංවිධායක සහ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී. දොළවත්ත හා සිංහල ජාතික සංවිධානයේ සභාපති ලියනගේ අබේරත්න යන පිරිස විසිනි.

මෙය පොලිස්පතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව විමර්ශනය සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත බාරකළ එකකි.

මෙම නඩුව යළි දෙසැම්බර් 7 වැනිදා යළි කැඳවීමට නියමිතය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර