2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

තෙබුවන යකා නැටූ පොලිස් සැරයන්ගේ නොඇසූ කතාව

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 395

තමා විසින් අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් උසාවියට ඉදිරිපත් නොකර සැකකාර පුද්ගලයාද සමඟ ඉහත පොලිස් නිලධාරියා විසින් නිදහස් කරන ලදැයි කියමින් තෙබුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන (4925) මහතා සිය රාජකාරි ගිනිඅවියද රැගෙන තෙබුවන නගරයේ පැය දෙකහමාරක් පමණ කාලයක් ඊට විරෝධය පළ කරමින් හැසිරුණේය. 

තෙබුවන ප්‍රදේශයම ගිනියම් කළ මේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා අල්ලා මෙල්ල කරගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු විසිනි. අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කර පසුව ඇප මත මුදාහරිනු ලැබීය.

පොලිස් සැරයන් ගුණවර්ධන මහතා කොටින්ගේ අත්අඩංගුවට පත්ව වසර 04 කට වැඩි කාලයක් ඔවුන්ගේ භූගත වධකාගාරවල දුක් විඳි අයෙකි. කොටින්ගේ දරුණු වධ හිංසාවලට ලක්වී ඇති සැරයන් ගුණවර්ධන මහතාගේ සිරුරේ ඇති සුව වූ තුවාල කැළල් ඒවාට කදිම සාක්ෂි සපයයි.

වසර 04 කට වැඩි කාලයක් කොටින්ගේ වධකාගාරවල අනේකවිධ දුක් ගැහැට විඳ නිදහස ලබා පැමිණීමට සැරයන් ගුණවර්ධනට වාසනාව හිමිවූයේ නොකා නොබී දින ගණනාවක් කළ මාරාන්තික උපවාසයක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ මාරාන්තික උපවාසය නිසා ඔහු දැඩි සේ රෝගාතුර වී මරණයේ දොරටුව අභියසට පැමිණ ජීවිතය බේරාගෙන ඇත්තේ අනූනමයෙනි.

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා සමඟ ඒ අමිහිරි මතකය හාරා අවුස්සා යමක් ලිවීමට ඔහු හා කතාබහ කළේ බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණි දිනට පසුදාය.

දේශයේ පාඨකයන් හමුවේ කොටි අඩවියේ ගත කළ ආකාරය, විඳීමට සිදු වූ දරුණු වද වේදනා ගැන වින්ද සිය මතකය අවදිකර වචනවලට පෙරළා කී කථාව මෙසේ පෙළගස්වන්නෙමි.

“මේ සිද්ධිය වනවිට එම පොලීසියට බැඳිලා මාස 11ක් විතර වෙනවා. මම පොලිස් කොස්තාපල් කෙනෙක් වනවිට මාගේ වයස අවුරුදු 18ක් විතර ඇති. පුහුණුවෙන් පස්සේ බම්බලපිටියේ පොලීසියේ රාජකාරි කරන විට යාපනය ඔඩ්ඩුසුඩාන් පොලීසියට මාරු කළා. ඔඩ්ඩුසුඩාන් පොලීසියේ ඕ.අයි.සී. ඩබ්ලිව්. වික්‍රමරත්න කියලා මහත්තයෙක්. ඔහු බොහොම හොඳ පොලිස් නිලධාරියෙක්.

මේ සිද්ධිය වුණේ 1990 වසරේ ජූනි මාසයේ 13 වැනිදා. මේ දවස මාගේ ජීවිතයට අමතක වෙන්නේ නෑ. ඒ වෙනකොට ඕ.අයි.සී. වික්‍රමරත්න මහත්තයා නිවාඩු ගිහින් හිටියේ. වැඩ බැලුවේ දෙමළ ජාතික උප පොලිස් පරීක්ෂකවරයෙක්. එයාගේ නම යෝගානන්දන්. ඒ වෙනකොට එවකට පැවති රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙන කාලයක්. 13 වැනිදා උදේ පොලීසියේ සියලු දෙනාම වැඩ බලන ඕ.අයි.සී. මහත්තයා උපදෙස් පන්ති තියෙන ශාලාවට කැ‍ඳෙව්වා. උපදෙස් පන්තියට අපි සහභාගි වෙලා ඉද්දී හතර අතට වෙඩි තියාගෙන කොටි කණ්ඩායමක් පොලීසියට කඩා වැදුණා. අපේ ආයුධ සේරම තිබුණේ අවි ගබඩාවේ. අපට යටත් වෙන්න කිව්වා. වෙන කරන්න දෙයක් නැති නිසා අපි සේරම දෙනා කොටින්ට යටත් වුණා. අයුධවත් තිබුණා නම් උන්වත් මරාගෙන අපි මැරෙනවා. 

දෙමළ සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් මුදාහැරලා මාත් එක්ක සිංහල ජාතික පොලිස් නිලධාරීන් 26 දෙනාම කොටි අත්අඩංගුවට ගත්තා. බාල්රාජ් කියන කොටි නායකයා තමා අපිව අල්ලාගෙන යන්න ආවේ. සිංහල ජාතික පොලිස් නිලධාරීන් සියලු දෙනා රහසිගත මාර්ග ඔස්සේ ඔඩ්ඩුසුඩාන් ස්ටේෂන් එක ළඟට අරගෙන ආවා. මාන්කුලම් පොලීසියේ හිටිය සිංහල පොලිස් නිලධාරීන් 19 දෙනෙක්ද ඒ වෙනකොට කොටි අත්අඩංගුවට අරගෙන තිබුණා. සේරම නිලධාරීන් 44 දෙනයි. සියලු දෙනාගේ අත් පිටුපසකට කර බැඳ දමා ට්‍රක් එකක පටවා ගෙන එය වෙන්කලයිකර් කලපුවෙන් එගොඩට අරගෙන ගියේ බත්තලක ආධාරයෙන්.”

සැරයන් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

“අපි දමා තිබූ ට්‍රක් එක කලපුව මැද්දේදී බත්තලත් එක්ක පෙරළෙන්න ගියා. කොටි පැය ගාණක් ඔට්ටු වෙලා බත්තල පෙරළෙන්න නොදී බේරා ගත්තා. එහෙම නොවෙන්න අපි 44 දෙනාම කොටිත් එක්ක කලපුවේ ගිලී එදා මියයන්න ඉඩ තිබුණා. ඊට පස්සේ අපිව මල්ලවි ප්‍රදේශයේ තියෙන කොටින්ගේ ලොකු කඳවුරකට අරගෙන ගියා. අපේ යුනිෆෝම් ගලවා සරම් ඇඳගන්න දුන්නා. උඩුකයට අඳින්න දෙයක් දුන්නේ නැහැ. අපේ ඇස් බැන්දා. ආයෙත් කොහේද කඳවුරකට අපිව අරගෙන ගියා. අපිව අරගෙන ගියේ තුනුක්කායි ප්‍රදේශයේ කොටි කඳවුරකට කියා පස්සේ දැනගන්නට ලැබුණා. අපි සියලු දෙනාගේම කොණ්ඩය බූ ගා දැමුවා. පැනලා ගියොත් හඳුනාගන්න පහසුවට එහෙම කළා කියලා පසුව අපි දැනගත්තා.

ඒ කඳවුරකට අරගෙන ගියාට පස්සේ අපේ ඇස් බැඳ තිබූ රෙදි පටි ලිහා දැමුවා. ලොකු ශාලාවකට තමා අපිව දැම්මේ. ඒ ශාලාවේ හැමතැනම ලොකු ලේ පැල්ලම් තිබුණා. තැන් තැන්වල මස් කැබලි විසිරී තිබෙනවා දුටුවා. ලේ තැවරුණ හමුදා නිල ඇඳුම් එම ශාලාවේ පැත්තක ගොඩගසා තිබුණා. මෙය කොටින්ගේ වධකාගාරයක් බව අපට තේරුම් ගියා. හමුදාවේ කට්ටියක් අල්ලාගෙන ඇවිත් දස වධ දී මරා දමා ඇති බව අපට පෙනී ගියා. අපිටත් හමුදාවේ අයට අත්වූ ඉරණම අත්වෙයි කියා සිතුණා. ඊට පස්සේ ආයෙත් අපේ ඇස් බැඳ දැම්මා. ඊටපස්සේ දෙදෙනා බැගින් පිටතට අරගෙන ගියා. එහිදී අරගෙන යන හැමදෙනාටම අයියෝ පිච්චෙනවෝ. ඉවසන්න බැරියෝ කියා මර ලතෝනි දෙන හඬ ඇසුණා. අපි හිතුවේ ශාලාවේ අපේ සහෝදර පොලිස් නිලධාරියෙක්ව ගිනි මැලයකට දමා පණ පිටින් පුච්චනවා කියා. 

ටික වෙලාවකින් මාවයි තවත් එක්කෙනෙක්වයි අරගෙන ගියා. අපි දෙදෙනා පුදුමයට පත්වුණා. අපිට කළින් අරගෙන ගිය නිලධාරීන් සියලුදෙනා පණපිටින් ඉන්නවා දැක්කම. කොටි අපි දෙන්නාගේ කකුල් දෙකට යකඩ දම්වැලක් දැම්මා. ඊට පස්සේ වෑල්ඩිං කළා. වෑල්ඩිං කරද්දී කකුල් පිච්චුණා. ඉවසාගන්න බැරි වේදනාවක් ඇතිවුණා. අපි ඒ වේදනාවට කෑ ගැසුවා. අපේ අනෙක් කට්ටියත් කෑ ගසා තියෙන්නේ ඒ පිළිස්සුම් වේදනාවට. යකඩ දම්වැලක් දමා වෑල්ඩිං කළාට පස්සේ දෙදෙනා අතර පරතරය අඟල් පහක් විතර තියෙන්නට ඇති.” 

ඊටපස්සේ මොකද වුණේ යැයි කියා ඇසූ පැනයට සැරයන් ගුණවර්ධන මහතා පිළිතුරු දුන්නේ මේ අයුරින්.

“තුනුක්කායි කොටි ක‍ඳවුර පිහිටි ඉඩමේ භූගත ෂෙල් එකක් තිබුණා. යකඩ පෑස්සූ දොරවල් දමා තිබුණේ. අපිව ඒ ෂෙල් එකට දැම්මා. මේ ෂෙල් එකේ දිග අඩි 20 ක් පමණ වෙනවා. අඩි 15 ක් පමණ ගැඹුරුයි. අපට හැරෙන්න පෙරළෙන්නවත් ඉඩකඩ මදි. පොළොව යට තිබුණේ. හරිහැටි වාතාශ්‍රයක් ලැබෙන්නේ තැනිව ඉවසගන්න බැරි රස්නයක්. ඒ සෙල් එකට දැම්මාට පස්සේ එකපාරම අපිව මරලා දැම්මානම් හොඳයි කියා සිතුණු වාර අනන්තයි, අප්‍රමාණයි. කට්ට කරුවලේ අපි හිටියේ.”

මාස 09 කට ආසන්න කාලයක් සැරයන් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරී 44 දෙනා ඒ භූගත සිර මැදිරියේ ගතකර තිබෙන අතර, ඒ ගැන තොරතුරු හෙළිකරමින් ඔහු කිව්වේ මෙවැනි කතාවක්. 

“අපි නිදාගත්තේ සිරි මැදිරියේ බිත්තිවලට හේත්තුවෙලා. ඒ නිසා හරියට නින්ද යන්නේ නැහැ. මුල් කාලයේ අපේ මුරට හිටිය කොටි මහ රෑට දෙතුන් පාරක් උඩ ඉඳලා සිර මැදිරිය ඇතුළට වතුර හලනවා. සමහර දවස්වලට උන් කාලා ඉවරවෙලා පිඟන් හෝදලා ඉවර වෙලා ඉඳුල් වතුර එකතු කරලා අපේ සිර මැදිරිය ඇතුළට දැමූ අවස්ථා ඕනෑ තරම් තිබුණා. වතුර හලපු දවස්වලට අපි සීතලේ ගැහෙමින් රැය පහන් කරනවා. මේ නිසා හුඟදෙනෙක් අසනීප වුණා. අපි ඇසුවා ඇයි මේ විදියට කරන්නේ කියා. උඹලව මුර කරන්න ඉන්න අපිට රෑ එළිවෙනකම් නින්දක් නෑ. ඒ නිසා උඹලට නිදාගන්න බැරිවෙන්න තමා එහෙම කරන්නේ කියා උන් අපිත් එක්ක කිව්වා. කොටි කියන්නේ තිරිසන් ජාතියක්.

පොළොව යට තියෙන සිර මැදිරියේ ඉඳලා එළියට යන්නේ කඹයක ආධාරයෙන්. සෑම දවසකම උදේට විතරක් අපිට පැය දෙක තුනකට එළියට ගන්නවා. ඒ පොළොවට කඹයක් ගැට ගසනවා අපිට එල්ලිලා උඩට එන්න. කකුල්වලට විලංගු දමා තිබෙන නිසා එකවර දෙන්නෙකුට උඩට එන්න හරිම අමාරුයි. වැසිකිළි, කැසිකිළි යාමට උදේට මේ විදියට පිටතට ගන්නේ. මුහුණ හෝදගන්නයි, වැසිකිළි යන්නයි එක කුඩා වතුර පනිට්ටුවක් විතරක් එක්කෙනෙකුට දෙනවා. ඒ වතුර පනිට්ටුවෙන් වැඩ දෙකම කරගන්න කොහෙත්ම සෑහෙන්නේ නෑ. නාන්න දෙන්නේ දවස් පහකට සැරයක් විතරයි. දෙන්නෙකු එකට දමා කකුල් වෑල්ඩින් කර තිබෙන නිසා මේ සේරම දේවල් එකට කරන්න ඕනෑ. උදේට එළියට අරගෙන ආපසු සිර මැදිරිය ඇතුළට දැම්මාම මොන දේකටවත් ආයෙත් එළියට ගන්නේ නෑ. ඊටපස්සේ ආයෙත් වැසිකිළි යන්න වුණොත් මුත්‍රාකරන්න වුණොත් ප්ලාස්ටික් කෑන් දීලා තිබෙනවා. හරිහැටි වාතාශ්‍රයක් නොලැබෙන නිසා ඒ ස්ථානයෙන් තදබල ගඳක් ඉවසාගෙන තමා ඉතිං පහුවදා උදේ වෙනකම් ඉන්න ඕනෑ. 

උදේට එළියට ගත්තට පස්සේ කොටි සමහර දවස්වලට නිරුවතින් වැල්ලේ මුනින් අතට නිදාගන්න සලස්වා අපිට තල් පිතිවලින් දිගට හරහට පහර දෙනවා. ඒ වගේම දම්වැල්වලට අපේ සිරැර තුවාල වෙලා ලේ ගලනවා. තල් පිති කැඩුණම තමා පහරදීම නවත්වන්නේ. යටි පතුල්වලටත් පොලුවලින් ගහනවා. ඒ වේදනාව කියන්න වචන නැහැ. ආයෙත් දවසක ඒ විදියට ගහද්දී සුව වේගෙන එන තුවාල ආයෙත් පෑරෙනවා” යැයි සාජන් ගුණවර්ධන මහතා කීය. 

“සිර මැදිරිය ඇතුළත ඉද්දී පිපාසය දැනුණම වතුර ඉල්ලා කෑ ගසනවා. වතුර පොදක්වත් දුන්නේ නැහැ. සමහර නිලධාරීන් පිපාසට දරා ගැනීමට නොහැකිව තමගේම මුත්‍රා බිව්වා. තමිල් සෙල්වම් කියන කොටි දේශපාලන නායකයාද අපෙන් ප්‍රශ්න කරන්න ඇවිත් තියෙනවා. තමිල් සෙල්වම් කියනවා උන්ගේ ගෝලයන්ට මුන්ට හොඳටම ගහපල්ලා කියා. එතකොට උන් අපිට ගස්වල එල්ලා පහර දෙනවා. අපේ ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා ඇවිත් කොටි කඳවුරුවලට බෝම්බ දානවා. එහෙම දවස්වලට උන් අපිට හොඳටම ගහලා වද දෙනවා. අපේ හමුදාවේ අය උන්ගේ අයට වඩා මැරුණම එදාට උන් පාටි දාලා ඇවිත් වෙනදාට වඩා වැඩියෙන් ටිකක් කන්න බොන්න දෙනවා.

මම කෑම කාලා හරියට පිඟාන හේදුවේ නෑ කියලා කොටි මගේ මහපට ඇඟිල්ලෙන් වහලයක බාල්කයක එල්ලා හොඳටම පහර දුන්නා. මගේ ඇඟ ළඟින් නොගෑවී යන ලෙස පිස්තෝලයෙන් වෙඩි තිබ්බා. තව පොඩ්ඩෙන් මම ඉවරයි.

තව දවසක් අපිත් එක්ක සිර මැදිරියේ හිටිය සාජන් ධර්මසිරි කියා කෙනෙක් විලංගු ගලවාගෙන පැනලා ගියා. පැනලා යද්දි දවස් දෙකකට විතර පස්සේ ආයෙත් කොටින්ට අසුවෙලා හොඳටම ගහලා අරගෙන ආවා. එයාට ඇවිදගන්න බැරිව හිටියේ. ධර්මසිරි අල්ලගෙන ආපු දවසේ අපේ අනෙක් අය සේරම දෙනා එළියට අරගෙන යකඩ පොලුවලින් ගැහැව්වා. දණහිස්වලට පවා පහර දුන්නා. ඒ පහරදීම්වල තත්ත්වය කොච්චර දරුණු ද කියනවනම් මාස හතරක් විතර යනකම් අපිටම දෙපයින් ඇවිද ගන්න බැරිව ගියා. ඒ කාලයේ අපි පස්ස පැත්තෙන් රූටාගෙන තමා එහාට මෙහාට ගියේ.”

ඒ සැරයන් ගුණවර්ධන මහතාගේ හඬයි.

මාස අටක පමණ කාලයකට පසු ඔවුන්ව සිර මැදිරියෙන් පිටතට ගෙන වරින් වර නිවාස කිහිපයකම රඳවා තබා ඇත. මෙම පොලිස් නිලධාරීන් රඳවා සිටි එක් නිවෙසක් අයත්ව තිබුණේ දමිළ ජාතික වෛද්‍යවරයකුටය. කොටි සංවිධානයට එරෙහිව කතාකිරීම නිසා එම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ, දරුවන්ද කොටින් විසින් කෘර ලෙස ඝාතනය කර එම සුවිසල් නිවෙස අත්පත් කරගෙන තිබුණ බව පසුව දැන ගැනීමට ලැබුණු බව සැරයන්වරයා පවසයි.

පොලිස් සැරයන්වරයා පවසනුයේ කොටින් අත්අඩංගුවට ගෙන වෙනත් ස්ථානයක රඳවා සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු වන ගෝපාල ක්‍රිෂ්ණ මහතාව ඝාතනය කළ බවය. රහස් පොලියේ සේවය කරන වකවානුවේ කොටින් ඔවුන්ගේ අවි ආයුධ තොග ද සමඟ අත්අඩංගුවට ගත් නිසා සහකාර පොලිස් අධිකාරිවරයා ඝාතනය කිරීමට හේතු වූ බව පසුව පොලිස් සැරයන්වරයාට දැන ගැනීමට ලැබී ඇත.

සැරයන්වරයා සමඟ කොටි අත්අඩංගුවට පත්වූ පොලිස් නිලධාරින් පස්දෙනකු වරින් වර රෝගාතුර වී මියගොස් ඇති අතර ඉන් හතර දෙනකුගේ සිරුරු ජාත්‍යන්තර රතු කුරැස සංවිධානය හරහා ඔවුන්ගේ පවුල්වලට බාරදී ඇත. අනෙක් පොලිස් නිලධාරියාගේ සිරුර පුළුස්සා එහි අළු ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මඟින් එම නිලධාරියාගේ පවුලේ අයට බාර දී තිබේ.

කොටින්ගේ අත්අඩංගුවේ සිටි තවත් පොලිස් නිලධාරීන් පිරිසක් විවිධ හේතු මත පසු කාලයක වරින් වර නිදහස් කර ඇති අතර සැරයන් ගුණවර්ධන මහතා සහ තවත් නිලධාරියෙක් 1995 වසරේ මාරාන්තික උපවාසයක් කිරීමෙන් පසු මුදාහැර තිබිණි. ත්‍රිකුණාමලයේ සිට කොළඹට තමන් දෙදෙනාව රැගෙන ආවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් පීරිස් මහතාගේ ප්‍රධාන පොලිස් කාර්යාලයට බව ඔහු පවසයි.

කොටින්ගේ අත්අඩංගුවට පත් වූ 1990 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ගුණවර්ධන මහතා සැරයන් තනතුරට උසස් කර ඇති අතර 2003 වසරේ විවාහ දිවියට ඇතුළත් වී ඇති ඔහු මේ වනවිට දියණියන් දෙදෙනකුගේ සහ පුතුණුවකුගේ දයාබර පියෙකි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය