
අමෙරිකාවේ උප ජනාධිපතිවරයාටත් අන්තිමේදී අපේ රටේ හම්බන්තොට මාතෘකාවක් බවට පත්විය. හම්බන්තොට වරාය වැඩිකල් නොගොස්ම චීනයේ හමුදා පෙරමුණු මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි ඔහු අනතුරු අඟවා තිබේ. චීනයේ නව රාජ්‍යතාන්ත්‍රික ණය මෙහෙයුම මගින් එරට ලෝකයම ඇල්ලීමේ ක්‍රියාන්විතය අරඹා ඇති බවට මයික් පෙන්ස් උප ජනාධිපතිවරයා චෝදනා කර තිබේ. බිලියන සිය ගණන් සල්ලි මලු ණයට දෙමින් ආසියාව, අප්‍රිකාව, යුරෝපය මෙන්ම ලතින් ඇමෙරිකානු රාජ්ජයන්ද චීනය උපක්‍රමික ලෙස සිය බලපෑමට යටත් කරගෙන ඇති බව උප ජනාධිපතිවරයා ඇමෙරිකානු හඩ්සන් ආයතනයේ පැවැති හමුවකදී කියා තිබුණි. ඒ අන්දමට ලංකාවේ වරායත් ඔවුන් සිය යුද මධ්‍යස්ථානයක් බවට හරවාගන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී ලංකාව උදාහරණයකට ගත් ඔහු පෙන්වා දුන්නේ ආර්ථිකමය වශයෙන් ගැටලු සහගත වටිනාකමක් ඇති වරායක් තැනීම සඳහා චීන රජයේ කොම්පැනිවලට බාර දුන් ලංකාව ඒ සඳහා අධික ණය මුදලක් ලබාගත් අතර. වසර දෙකක් ගතවීමටත් පෙර ණය බරින් හෙම්බත්ව චීනයේ බලපෑමට යටත්ව අලුත් වරාය චීනයටම පවරාදෙන තැනට වැඩ කටයුතු සිද්ධ කරගත් බවය. දැන් එම වරාය වර්ධනය වෙමින් දිනෙන් දින පැතිර යන චීනයේ නාවික හමුදාවේ පෙරමුණු යුද මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිතව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
යටිතල පහසුකම් සලසා ගැනීම සඳහා යැයි කියමින් අදහාගත නොහැති තරම් වූ විශාල ණය තොග රට රාජ්ජවලට ලබාදෙමින් සිය අණසක ඒවායේ පතුරුවා ලන චීනය මේ වනවිට අමෙරිකාවේ ආසන්න වටාපිටාවටද කඩාවැදි තිබේ. එලෙස චීනය වෙනිසුවේලාවේ මධුරෝ රජයට තෙල්වලින් හිලව් කිරීම සඳහා වූ ඩොලර් බිලියන 5ක ප්‍රශ්නකාරී ණයක් ලබාදීම මගින් එරට ණය උගුලේ පටලා ඇති අතරම කලාපීය වශයෙන් අමෙරිකාවටද තර්ජනයක් බවට පත්ව තිබේ.
බෙයිජිං පාලනය සමහර රට රාජ්ජයන්හි තමන්ට හිතැති පක්ෂ හා පුද්ගලයන්ට ආධාර ලබාදී ඔවුන් බලයට ගෙන ඒමේ උපක්‍රමික ක්‍රියාන්විතවල යෙදෙන බවද ඔහු පෙන්වා දුන්නේය. නමුත් චීනයේ මේ උපක්‍රමශීලී ආක්‍රමණය හමාර කිරීමට කාලය පැමිණි ඇති බවත් ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඒ සඳහා සිය රට ශක්තිමත්ව ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
අමෙරිකාව සහ චීනය අතර මෙතෙක් කල් තිරයෙන් පසුපස තිබූ සීතල යුද්ධය දැන් එළිපිටම කරළියට පැමිණ තිබේ. මයික් පෙන්ස්ගේ කතාව තුළින් මතුව එන්නේ චීනය ලෝක බලවතා බවට පත්වීමට දරන උත්සාහයට එරෙහි එදිරිවාදිකමයි. මයික් පෙන්ස් මෙවර ට්‍රම්ප්ගේ යෝධ මිලිටරි අයවැය පිළිබඳවද කතා කළේ මහ ඉහළිනි. රොනල්ඩ් රීගන් ජනාධිපතිවරයාගෙන් පසු එරට ජාතික ආරක්ෂාව සඳහා වෙන්කළ ඉහළම අයවැය ප්‍රතිපාදනය වන බිලියන 116 ගැනද ඔහු සඳහන් කළේය. නමුත් මේ වනවිට චීනය තමන්ගේ ආරක්ෂක වියදම ලෙස මුළු ආසියාකරයේම රටවල ආරක්ෂක වැයට වඩා වැඩි මුදලක් වෙන්කර තිබේ.
ලංකාව සහ හම්බන්තොට වරාය සම්බන්ධ මයික් පෙන්ස්ගේ ඉහත කී අර්ථ දැක්වීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබුණි. එම ගනුදෙනුව තුළ ණය උගුලක් ඇති බව ප්‍රතික්ෂේප කරන ඔහු පැහැදිලි කරන්නේ චීනය හම්බන්තොට වරාය මූල්‍යමය වශයෙන් ක්‍රියාකාරී තැනක් බවට පත් කරන්නට කටයුතු කරනා බවය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා ඉදිරිපත්ව තිබුණි. යුරේසියානු රටවල් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන චීනයේ සේද මාවත සහ වෙළඳ තීරය සංකල්පයට අතිශය තීරණාත්මක ලෙස බලපාන ස්ථානයක හම්බන්තොට වරාය පිහිටා තිබීම නිසාම චීනය හා සම්බන්ධ ගනුදෙනුව පිළිබඳ සැක මතුව තිබේ.
සුගත්