2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

හයක් මරාගෙන දහයක් ගස් යැවූ තංගල්ලේ මිනීමැරුම

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 372

මගේ අම්මයි, මල්ලිලා හතරදෙනයි, නංගිවයි ඝාතනය කරපු අයට සාධාරණ තීන්දුවක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම හිතනවා මේ ලබාදුන් තීන්දුව සමාජයට ආදර්ශමත් තීන්දුවක් කියලා යැයි අගුණකොළපැලැස්ස දික්වැව රදම්පළගෙදර එකම පවුලේ හය දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ වරදකරැවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පවුලේ වැඩිමහල් දියණිය වන වසන්තා සමරසිංහ (48) මහත්මිය පැවසුවාය.

මව ඇතුළු එකම පවුලේ හය දෙනකු වෙඩිතබා හා කපා කොටා 1998දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර විස්සක කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව අනුව වරදකරුවන් වූ දස දෙනෙකුට මරණීය දණ්ඩනය පැනවීමට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා බ්‍රහස්පතින්දා (11) නියෝග කළේය. 

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ මෙම නඩුවේ පළමු විත්තිකරු වූ ලියනපතිරණගේ ආරියදාස (53), හතරවැනි විත්තිකරු වූ ලියනපතිරණගේ දයානන්ද (50), අටවන විත්තිකරු වූ ලියනපතිරණගේ නන්දසේන (58), දොළොස්වැනි විත්තිකරු වූ රදම්පලගමගේ ආරියදාස (53), දහහතර වැනි විත්තිකරු වූ ගරුසිංහගේ නීල් කුමාර් (42), පහළොස්වැනි විත්තිකරු වූ කුලසේකර සතරසිංහගේ රංජිත් (48), දහසය වැනි විත්තිකරු වූ චමින්ද රෝහණ පරණමාන, දහහත්වැනි විත්තිකරු වූ ලියනපතිරණගේ රෑපසේන (52), දහනව වැනි විත්තිකරු වූ අලුත්ආරච්චිගේ සුජිත් කුමාර (46) හා විසිවැනි විත්තිකරු වූ දන්දෙණියගමගේ චන්දිමාල් (38)  නම් විත්තිකරැවන් දස දෙනෙකුටය. මොවුන් අතරින් දහසය වැනි විත්තිකරු අධිකරණය මඟහැරීම නිසා වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමටද විනිසුරැවරයා නියෝග නිකුත් කළේය.  

1998 වසරේ පෙබරවාරි 18 දින අගුණකොළපැලැස්ස පොලිස් වසමේ දික්වැව උස්වැව ප්‍රදේශයේ රදම්පලගෙදර පදිංචිව සිටි එකම පවුලේ මහන්තෙගමගේ සුමනාවතී (මව), පුතුන් වන ප්‍රියන්ත සමරසිංහ (24), පාලිත සමරසිංහ (23), අජිත් කුමාර සමරසිංහ (16), සුරංග සමරසිංහ (11) හා දියණියක වන සංජීවනී සමරසිංහ (09) නම් තැනැත්තන් සය දෙනා වෙඩිතබා හා කපා කොටා නිවස තුළදීම ඝාතනයට ලක්කර තිබිණි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් විසිතුන් දෙනෙකුට එරෙහිව අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය විසින් නඩු පවරා තිබිණි. මෙම නඩුව පළමුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේත්, හම්බන්තොට මහාධිකරණයේත්, ඉන් අනතුරුව තංගල්ල පළාත්බද මහාධිකරණයේත් විභාග කෙරිණි. 

නඩු පවරන ලද විත්තිකරුවන් විසිතුන් දෙනා අතරින් ප්‍රැන්සිස්කු බදුගේ ජයසේන, විජිනිගේ පියසේන, සුදුසිංහ ගුණසේන හා ගජනායකගේ අජිත් කුමාර යන තැනැත්තන් මියගොස් ඇත. මේ හේතුවෙන් විත්තිකරුවන් දහනව දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාග විය. මෙම විත්තිකරුවන් අතරින්ද සුදුසිංහ නිමල් පියරත්න, රංජිත් පරණමාන, නිහාල් සතරසිංහ, චමින්ද රෝහණ, දංදෙණිය ගමගේ අජිත් කුමාර, මල්දෙණිය කංකානම්ලාගේ සුජිත් ලක්මාල් හා දංදෙණිය ගමගේ කුමාරසිංහ යන විත්තිකරුවන් හත්දෙනෙක් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ට අවසන් නඩු තීන්දුවට පෙර විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.

නඩුවේ සාක්ෂි විභාගය හා විත්ති පැමිණිලි දෙපාර්ශවයේ දේශන පසුගිය අගෝස්තු 07 දින අවසන් කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා, ඇපමත මුදාහැර සිටි නඩුවේ විත්තිකරුවන් දොළොස් දෙනා ඔක්තෝබර් 11 දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටද එදින නියෝග කළේය. 

පසුගියදා මරණීය දණ්ඩනය නියම වූ වරදකරුවන් වැලිකඩ බන්ධනාගාරය වෙත රුගෙන යාමට නියමිත අතර ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයකදී, වේලාවකදී හා ස්ථානයකදී වරදකරැවන් මිය යන තෙක් ගෙල සිරකර ජීවිතක්ෂයට පත්කිරීමට නියෝග කළේය.

වරදකරුවන් වූ අංක 1,4,8,12,14,15,16,17,19,20 විත්තිකරැවන්ට අධිචෝදනා අංක 1 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත මාස හයක සිරදඬුවමක්ද, අධිචෝදනා අංක 14 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්ද, අධිචෝදනා අංක 15 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර විස්සක සිරදඬුවමක්ද, අධිචෝදනා අංක 16 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර විස්සක සිරදඬුවමක් හා රුපියල් විසිදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, අධිචෝදනා අංක 19 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් හා රුපියල් දසදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් බරපතළ වැඩ සහිතව තවත් වසරක සිර දඬුවමක්ද, අධිචෝදනා අංක 23 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර පහළොවක සිර දඬුවමක් හා රුපියල් විසිදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් බරපතළ වැඩ සහිතව තවත් වසර දෙකක සිර දඬුවමක්ද නියම කළේය. 

වරදකරුවන් වූ 8,12,14,15,16,17,19,20 විත්තිකරැවන්ට ඉහත දඬුවම්වලට අමතරව අධිචෝදනා අංක 20 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර විස්සක සිර දඬුවමක් හා රුපියල් දසදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් බරපතළ වැඩ සහිතව තවත් වසරක සිර දඬුවමක්ද නියම කෙරිණි.

විත්තිකරුවන් වූ සුදුසිංහ නිමල් පියරත්න, රංජිත් පරණමාන, නිහාල් සතරසිංහ, දංදෙණිය ගමගේ අජිත් කුමාර, මල්දෙණිය කංකානම්ලාගේ සුජිත් ලක්මාල්, දංදෙණිය ගමගේ කුමාරසිංහ, වීරසිංහගේ නිමල්, තිලක් දයානන්ද හා මහින්ද ඒකනායක අයවලුන් සම්බන්ධයෙන් ගොනුකර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොතිබීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරැවරයා නියෝග කළේය. 

මෙලෙස ඝාතනයට ලක්වූ පවුලේ වැඩිමහල් සෙහොයුරිය වන වසන්තා සමරසිංහ මහත්මියගෙන් අප කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.

මගේ අම්මයි, මල්ලිලා හතරදෙනයි නංගියි තමයි 1998.02.17 දින අපේ ගෙදර ඇතුළේම ඝාතනයට ලක්වුණේ. මගේ තාත්තත් 1991 අවුරුද්දේ පෙබරවාරි 08 ඝාතනයට ලක්වුණා. මගේ තාත්තටත් පිහියෙන් ඇනලා උදැල්ලෙන් ඔළුවට ගහලයි මැරුවේ. එහෙම මරන්නත් හේතුවුණේ ඉඩම් ආරවුලක්. 1998 ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ පහළොස්වැනි විත්තිකරුවයි හතරවැනි විත්තිකරුවයි මගේ තාත්තාගේ ඝාතන නඩුවේත් විත්තිකරුවන් විදියට හිටියා. ඒ නඩුවේ විත්තිකරුවන් පහක් හිටියා. ඒ නඩුව මට මතක විදියට 2005 වසරේදීයි අවසන් වුණේ. විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කළා.

1998.02.17 දින සිදුවීම වෙනකොට අපේ ගම්වල ලයිට් තිබුණේ නැහැ. එදා අපේ ගෙදර හිටියේ සම්පත් සමරසේකර මල්ලි හැර අනිත් සියලු දෙනාමත් අපි අඳුරන තවත් මල්ලි කෙනෙකුත්. එදා කඩවුණු පොරොන්දුව ෆිල්ම් එක අපි බැලුවා. රෑ 12.30 විතර වෙනකල්. ඒත් ගාමිණි මල්ලි කලින් නිදාගත්තා. අපි එදා නිදාගන්නකොට රාත්‍රී 1.00ට වගේ වෙලාව. ඒ වෙනකොට මට වයස අවුරුදු විසිඅටයි. 

අපි නිදාගෙන ඉන්නකොට ඉස්සරහින් ලොකු සද්දයක් ඇහුණා. පස්සේ අපි බයවෙලා ඇහැරුණා. අපි ඉස්සරහට යනකොටම වගේ ගෙදර ඉස්සරහ ජනේලය පැත්තෙන් ලොකු ශබ්දයක් ඇහුණා. බෝම්බයක් ගැහුවා වගේ. අපිට හිතාගන්නත් බැරිවුණා මොකක්ද වුණේ කියලා. ඒ බෝම්බෙන් මගේ කකුල් දෙක තුවාල වුණා. ඒ වෙලාවේ ගාමිණි මල්ලිටත් තුවාල වෙලා කියල පස්සේ දැනගත්තේ. ඊට පස්සේ ගෙදර ඉස්සරහ දොර කඩාගෙන දහදෙනෙක් විතර ගෙදරට ඇතුළු වුණා. අපිට ලොකු බයක් ඇති වුණා ඒ වෙලාවේදී. මම ජනෙල් වලින් එළිය බලද්දී එළියෙත් ගොඩක් අය ඉන්නවා දැක්කා. 

ගෙදර ඇතුළට පැනපු අයගේ ළඟ තුවක්කු, කඩු තිබුණා. ඒ අය අපි ඔක්කොම අපේ ගෙදර පිටිපස්සේ කාමරේකට තල්ලුකරලා දැම්මා. ඒ වෙනකොට මගේ නංගි කාමරේක නිදාගෙන හිටියේ. මල්ලි කෙනෙක් එයාව ගන්න යන්න හදද්දි එයාට ඒ මිනිස්සු යන්න දුන්නේ නැහැ. සුරංග මල්ලිට ඒ වෙද්දි අවුරුදු එකොළහයි. එයා කාමරේ ඇඳ යට හැංගිලා ඉඳලා ඒ මිනිස්සුන්ට අහුවෙලා එයාවත් කාමරේට ගෙනත් දැම්මා. 

ඊට පස්සේ ඒ අය මගේ මල්ලිලා එක එක්කෙනා ගානේ වෙන වෙනම සාලෙට ගෙනාවා. මල්ලිලා හතර දෙනාව ගෙනාවාට පස්සේ මාව ඇදගෙන ආවා. මගේ පපුවට පිහි පාරක් ගැහුවා වගේ මට දැනුනා. පස්සේ මාව හිරිවැටිලා යනවා වගේ දැනුනා මට. මම එහෙමම බිම වැටුණා. 

මාව කාමරෙන් එළියට ගේනකොට සාලේ බිම ලේ ගොඩක් තියෙනවා දැක්කා. ඒත් මල්ලිලාට මොකද වුණේ කියලා දැක්කේ නැහැ. සුසන්ත කියන මල්ලි අපි හිරකරල හිටිය කාමරේ අල්මාරිය අස්සේ හැංගිලා ඉඳලා පස්සේ බිත්තියට නැගලා බැම්මක් උඩ හැංගිලා ඉඳලා. එයා එදා ජීවිතය බේරගත්තා. අම්ම කාමරේ ඉඳලා වතුර බොන්න ඕන කියල කුස්සියට යන්න ගිහින්. ඒ වෙලාවේදී අම්ම කියලා තියෙනවා අම්ම මැරුවට කමක් නැහැ ළමයි ටික බේරලා දෙන්න කියලා. ටික වෙලාවකින් අම්මා බුදු අම්මෝ කියල කෑගහනවා බිත්තිය උඩ හිටිය සුසන්ත මල්ලිට ඇහිලා. 

බෝම්බය ගහපු වෙලාවේදී ගාමිණි සමරසේකර කියන ලොකු මල්ලිත් තුවාල වෙලා. ඒ වෙලාවේදී අම්ම මල්ලිට කියල දුවන්න කියලා. එයා ගෙදර පිටිපස්සේ තියන කබඩ් එකක ලාච්චුවකට නැගලා දොරට නැගලා එලියේ කුකුළු කූඩුවක් ළගට බැහැලා දුවන්න හදලා. එතකොට එක්කෙනෙක් එයාව දැකලා වෙඩි තියලා. මල්ලිගේ සරමත් ඒ වෙලාවේදී ගැලවීලා ඒත් මල්ලි දුවලා ගිහින්. පස්සේ මල්ලි කුට්ටිගල පොලිසියට ගිහින් ඒ වෙලාවේදී. මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් විදියට හිටියේ මගේ ලොකු මල්ලි. 

සිද්ධිය වුණාට පස්සේ අපේ ගෙදර පිටිපස්සේ තිබුණු මඩුවකටත් ඒ මිනිස්සු ගිනි තියලා. ඒක දැකලා අත්තම්මයි, මුත්තයි දෙන්නා ඇවිත්. මුත්තා ගෙදර ගින්න නිවලා. අපිට පහර දීපු මගේ පවුලේ අය මරලා දාපු මිනිස්සු ආයේ ගිහින් තියෙන්නේ හූ කිය කියා අත්පුඩි ගහ ගහා. සුසන්ත මල්ලි ඒ ඔක්කොම දැකලා. බිත්තිය උඩ නැගලා හැංගිලා හිටිය සුසන්ත මල්ලි ගිනි කූරු ගහගෙන කළුවරේ අපිව හොයලා. ඒ වෙද්දි මල්ලිට අවුරුදු දහතුනයි. මල්ලි කෙලින්ම ගිහින් තියෙන්නේ අගුණකොළපැලැස්ස පොලීසියට. පොලීසියෙන් ඇවිත් අපිව ඉස්පිරිතාලේ අරන් ගිහින්. ඒ වෙද්දි මටයි අපි අඳුරන මල්ලි කෙනෙක් හිටියේ ගෙදර. එයාටයි විතරයි පණ තිබිලා තියෙන්නේ. අපිව පදලංගල රෝහලටයි පස්සේ රත්නපුර රෝහලටයි අරන් ගිහින්. 

අම්මගෙයි මල්ලිලාගෙයි මගේ නංගිගෙයි අවසන් කටයුතුවලටවත් මට එන්න බැරිවුණා. මාස තුනකට පස්සෙයි මට ගෙදර එන්න පුළුවන් වුණේ. මගේ නංගිගේ එක අතක වළලුකර ළඟින් කපලා. අනිත් අතේ උඩින්ම කපලා දාලා. නංගිගේ කටට කඩුවකින් ගහලා ඒ නිසා දිවත් කැපිලා තිබුණා කියලා සුසන්ත මල්ලි කිව්වා. එදා අපේ ගෙදර ආපු අය ඔක්කොම අයව අපි අඳුරනවා. මේ අය අපේ නෑදෑ වෙන අය නෙවෙයි. ඝාතනය කරනකොට පාලිත මල්ලි පොලීසියට බැදෙන්න හිටියේ. ගාමිණි මල්ලි ගොවිතැන් කළේ. නංගියි, සුරංග මල්ලියි, අජිත් මල්ලියි ඒ දවස් වල ඉස්කෝලෙ යනවා. අපිට කුඹුරැ තිබුණා. කුකුල්ලු, හරක් හිටියා අපිට. අපි ජීවත් වුණේ ඒ ආදායම් වලින්. 

මල්ලියි, සුසන්ත මල්ලියි දෙන්න හිටියේ. ගාමිණි මල්ලි හිතේ අමාරුවටම නැති වුණා. සුසන්ත මල්ලියි, සම්පත් මල්ලියි දෙන්නා 2006 අවුරැද්දේ ජනවාරි 18 වෙනිදා ඉඳලා ආගිය අතක් නැහැ. තවමත් ඒ අයට වෙච්ච දෙයක් දන්නේ නැහැ අපි. මොන දේ වුණත් අපිට ලබා දුන් තීන්දුව සාධාරණයි. මගේ අම්මගෙයි මල්ලිලාගෙයි නංගිගෙයි මරණයට සාධාරණ තීන්දුවක් ලබා දුන්නා. 

මරණීය දණ්ඩනයට නියම වූ ලියනපතිරණගේ ආරියදාස (53) මහතාගේ බිරිඳ වන කල්‍යාණි එදිරිසිංහ (47) මහත්මිය අප සමඟ මෙසේ පැවසුවාය. 

මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි. දුවලා දෙන්නයි. පුතාලා දෙන්නා මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ. අවුරුදු 25ක් වෙන දුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. පොඩි දුවත් විවාහවෙලා ඉන්නේ. මගේ මහත්තයා මේ ඝාතනයට සම්බන්ධ නැහැ කියලා මම හොඳටම දන්නවා. ඒ දවසවල මේ අය අත්අඩංගුවට ගත්තා සැකපිට. හැමදාම ඔය රදම්පල ගෙදර එක එක සද්ද ඇහෙනවා. අපි බලන්නේ නෑ මොනවද කියලා. අපිට පාන්දරත් සද්ද ඇහුණා. නමුත් අපි ගණන් ගත්තේ නැහැ. මගේ මහත්තයා ඊට පස්සේ දවසේ උදේම ගියා ගොයම් කපන්න කුඹුරට. මහත්තයට කුඹුරේ ඉඳලා ගෙදර එන්න වුණේ නැහැ පොලිසියෙන් ඇවිත් ගේ වටකරගත්තා මහත්තයා කෝ කියල අහලා. එතකොටයි අපි දන්නේ රදම්පලගෙදර කට්ටිය මරලා කියලා. 

එදා සිද්ධිය වුණු දවසේ මහත්තයා එළිවෙනකල්ම ගෙදර හිටියේ. මම දන්නවා මහත්තය ගියා නම්. මගේ මහත්තයා බන්ධනාගාර ගත වුණු දවස්වලත් අපි බොහොම අමාරැවෙන් ජීවත් වුණේ. මගේ මහත්තයා කාටවත් වරදක් කරලා නැහැ. ගොඩක් දුක් විඳලා ජීවත් වුණු අය. අපි බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ තීන්දුවක් ලැබෙයි කියලා. අපි හිතුවේ අපිට ලිහිල් තීන්දුවක් දෙයි කියලා. අපි ඉල්ලන්නේ අපිට වුණු අසාධාරණයට සාධාරණයක් ලබා දෙන්න කියලයි. ටික කාලයකට හරි ඒ අයට ඒ අයගේ දඬුවම ලිහිල් කරල දෙන්න කියලා. එකම පවුලේ දරුවෝ හතරදෙනක් මේ විදියට දුක් විඳිනවා. මරණීය දණ්ඩනය නියම වූ ලියනපතිරණගේ දයානන්ද මහතාගේ බිරිඳ වන ආර්.එම්. නන්දාවතී (47) මහත්මිය මෙසේ පැවසූවාය. 

මට ගැහැනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුට උසස්පෙළ කරල ඉන්නේ. පොඩි දුව තාම ඉස්කෝලේ යනවා. අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. 1998 පෙබරවාරි මාසේ ලොකු දුව හම්බවෙන්න බණ්ඩාරවෙල ගිහින් හිටියේ. මහත්තයාත් ගියා මාව බලන්න. 19 වෙනිදා ආයේ අපි ආවා. එන මඟදී මහත්තයා අල්ලගත්තා සැකපිට. එයාට ගහලා තිබුණා ගොඩක්.  රිමාන්ඩ් වෙලා හිටියා ගොඩක් කාලයක්. 

ඊයේ නඩු තීන්දුවෙදී අපි හිතුවේ සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා. දැන් මම දරුවෝ දෙන්නෙක් එක්ක තනි වෙලා. අපිට කූලි වැඩ කරලා තමයි ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා තාමත් අපිට සාධාරණයක් ඉෂ්ට වේවි කියලා. 
රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබීය. අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ටී.ඩී. ආරියරත්න මහතා එවකට අධිකරණ කටයුතු මෙහෙයවූ අතර පොලිස් සැරයන් පී. වීරසේකර (28013), පොලිස් කොස්තාපල්වරුන් වන චන්දිමාල් (33798), ආර්.පී.එස්.ආර්. ගුණරත්න (78576) කාන්තා පොලිස් කොස්තාපල් නාමලී (3608) නිලධාරින් විසින් පසුව අධිකරණ කටයුතු මෙහෙයවූහ.

ශාබ්දික වෙල්ලප්පිලි මහතා, ඉරෝෂිණි රාමසිංහ මෙනවිය හා ප්‍රදීප් රාජපක්ෂ මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ. 

වසර විස්සක පමණ කාලයක් තිස්සේ මෙම නඩුව විභාග වීමට හේතු දැක්වීම තමා සතු වගකීමක් හා මෙය සමස්ත නීති පද්ධතියටම බලපාන කරුණක් බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා, මෙවන් බරපතල ගණයේ අපරාධයක් සම්බන්ධයෙන් සිද්ධිය වූ දිනයේ සිට නඩුව විභාග කළ ආකාරය විස්තරාත්මකව හා පැහැදිලිව ඉදිරිපත් කිරීමටද කටයුතු කළේය. 

 


 කතාව හා සේයාරූ - 
     සිටිනාමළුව - අනීෂා මානගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05