2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

දුමින්ගේ දඬුවම තහවුරු කළ තීන්දුව

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

2011 ඔක්තෝම්බර් 08 වැනිදා දහවල් මුළු කොළඹ දෙදරුම් කා ගි‍යේ ඡන්ද පොළට යමින් සිටි බොහෝ දෙනාද බිය ගන්වමිනි. එදින පළාත් පාලන මැතිවරණය පැවැත්වුණු අතර මේ සිද්ධිය එකී මැතිවරණයේ නොමැකෙන සටහනක් විය. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු මහමඟ වෙඩි තබා ඝාතනය කිරීමය. මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීව සිටි ආර් දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ සහචරයන් පිරිසකි.

මෙම සිද්ධියේදී භාරත මියගියා සේම, දුමින්ද ද බරපතළ තුවාල ලබා රොහල් ගත කරනු ලැබීය. ප්‍රථමයෙන් ජ’පුර රෝහලටත් පසුව සිංගප්පූරුවටත් දුමින්ද ප්‍රතිකාර සඳහා ගෙනයනු ලැබීය. එසේ දුමින්ද සිංගප්පූරු යනවිට මෙම ඝාතනයට සම්බන්ධ දුමින්දගේ ගෝලයන් වුණු කොළඹ පාතාලයේ කෙරුම්කරුවකු වූ දෙමටගොඩ චමින්දත් තව අයෙකුත් බෝට්ටුවෙන් ඉන්දියාවට පැන ගත්හ. එහෙත් පළක් නොවීය. හැරෙන තැපෑලෙන් ඒ දෙදෙනාම රහස් පොලීසියට ගෙන්වා ගැනීමට ඒ සමයේදීම හැකිවිය.

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට පාතාලයන් පමණක් නොව, පොලිස් නිලධාරීන්ගේ නම්ද ගෑවී තිබුණේය. ඒ දෙදෙනාගේම ආරක්ෂකයෝය. කෙසේ වෙතත් අවසානයේ සියල්ලෝම අත්අඩංගුවට ගෙන නඩු ඇසීම ආරම්භ විය. මේ අතරතුර දුමින්ද ලංකාවට පැමිණි අතර එහෙත් සම්පූර්ණයෙන් සුව වී නැති නිසා ඔහු පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ලබාගත්තේය. එසේ සිටියදී ඔහුව ද අත්අඩංගුවට පත්විය. එතනින් පසුව නඩුව ඇසීමට පටන් ගත්තේය. 
කෙසේ වෙතත් බොහෝ දෙනා කීවේ දුමින්ද එළියට එනු ඇති බවය. ඒ දුමින්ද නිවැරදි නිසා නොව දුමින්දට තිබු බලයත්, ධනයත් නිසාය. මේ නිසා බොහෝ දෙනා දුමින්ද එළියට එනු ඇතැයි සිතූහ.

එහෙත් ඒ බලාපොරොත්තු සුණුවිසිණු කරමින් 2016 සැප්තැම්බර් 08 වැනිදා දුමින්ද සිල්වාට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව මත මරණ දඬුවම නියම විය. එහෙත් එදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සිටි සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස් කරන ලෙසය. එහෙත් විනිසුරුවරු දෙදෙනකුගේ තීන්දුව නිසා දුමින්දට මරණ දඬුවම හිමිවිය. ඒ අනුව දුමින්ද සිල්වා වැලිකඩ තනිවු අතර ඔහුගේ ඇතැම් ගෝලයෝ බෝගම්බර බන්ධනාගාරය වෙත මාරැ කර යවනු ලැබූහ.

ඒ අනුව දුමින්ද සිල්වා 2017 වසරේදී නැවතත් තමාට එරෙහිව ලබා දී ඇති මරණ දඬුවම සම්බන්ධ තීන්දුව අභියෝගයකට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර එකී නඩුව මේ වසරේදී ආරම්භ විය.

මේ නඩු විභාගයේදී දුමින්දගේ පාර්ශ්වය නියෝජනය කරමින් අධිකරණයට ඉදිරිපත් වූ නීතීඥයන් පවසා සිටියේ දුමින්ද මිනීමැරීමට සම්බන්ධ නොමැති බවයි. එසේම ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති නිසා එකී අපරාධයට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පාර්ශ්වය සම්බන්ධ බව ඔවුහු කීහ. එපමණක් නොව මුල්ම වෙඩි ප්‍රහාරය භාරත පාර්ශවයෙන් එල්ල වුණු බවද ඔවුහු කීහ. 

මේ සෑම නඩුවාරයකටම දුමින්ද සිල්වා මහතාට සහභාගි වීමට හැකියාවක් නොතිබිණි. ඒ ඔහු ඒ වනවිට රෝහල් ගතවී සිටි නිසාය. ඔහු වැඩිම අවස්ථාවක් උසාවියට අවේ ගියේ ගිලන් රථයෙනි.

කෙසේ වෙතත් අවසානයේ නඩුව නිමවෙන තැනට ආවේය. නඩුවේ තීන්දුව 2018 ඔක්තෝම්බර් 11 වැනිදා ලබාදීමට තීරණය විය. හරියටම එකී සිද්ධිය වී අවුරුදු හතයි දවස් දෙකක් ගෙවීමෙන් පසුවය. දහවල් 2.30 නඩුව කැඳවීය. තීන්දුවට පෙර ජනතාව මත දෙකකට බෙදී සිටියහ. පිරිසක් දුමින්ද එළියට එනු ඇතැයි සිතූ අයය. අනෙක් පිරිස දුමින්ද නැවතත් ඇතුළට යනු ඇතැයි සිතූහ.

ඇපෑල ඉදිරිපත් කළ ආර් දුමින්ද සිල්වා, ඔහුගේ ආරක්ෂක හිටපු පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත්, සරත් බණ්ඩාර යන තිදෙනා උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ. පංච පුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවෙන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අසුන් ගත්හ.

ඉන් අනතුරුව බොහෝ දෙනා බලාසිටි තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව දුමින්ද සිල්වා, රවී ජයනාත් සහ සරත් බණ්ඩාර යන අයට ලබාදුන් මරණ දඬුවම නැවත වතාවක් තහවුරු කෙරිණි. එහෙත් පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල් යන අය සම්පූර්ණයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. නැවතත් දුමින්දට බන්ධනාගාර ගතවීමට සිදුවිය.

දුමින්දට තීන්දුව ලබාදුන් මොහොතේ ඔහුගේ පියා බාල සහෝදරයා සහ සහෝදරිය වැළඳ ගනිමින් හඬා වැටී ඇත. එසේම අනෙක් දෙදෙනාගේ බිරින්ඳෑවරුන් ද හඬා වැටී ඇත. ඒ සෑම කඳුළු බිඳුවක සදාතනික ප්‍රේමය, සෙනෙහස, කරුණාව ගැබ්ව ඇත. ඒ කඳුළු බිඳුවකම වටිනාකම දශමයක් හෝ ඔවුන්ට වැටහුණා නම් ඔවුන් මෙවැනි තැනකට පත්වන්නේ නැත. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය.

♦ ගයාන් ගාල්ලගේ
     සේයාරූ - ළහිරු හර්ෂණ